ඉදිරියේ ශ්‍රී ලංකාව රඳා පවතින්නේ අධි තාක්ෂණය මතයි | සිළුමිණ

ඉදිරියේ ශ්‍රී ලංකාව රඳා පවතින්නේ අධි තාක්ෂණය මතයි

නිදහස ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාව පසුගිය 71 වසර පුරා ලබාගත්තේ අඩු ආර්ථික වර්ධනවේගයකි. ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ වර්ධන වේගය 4.4% විය. එක් පරම්පරාවක් ඇතුළත දී දියුණු රටක් බවට පත්වීම සඳහා විය යුතු ආර්ථික වර්ධන වේගය වනුයේ 8% - 10% අතර මට්ටමකි. මේ ආර්ථික මට්ටමට පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වූ අතර අප හා සමාන මට්ටමක සිටි සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය වැනි රටවල් නොකඩවා වසර 25ක පමණ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පැවත විත් අද 9-10% අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන තිබේ. මෙනිසා එක් පරම්පරාවක් තුළ දී ඉතා ම දියුණු රටවල් බවට පත්වීමට එ් රටවල්වලට හැකිව තිබේ. මෙකී කාලසීමාව තුළ වර්ධන වේගය අඩු වීමට මූලික හේතුව වූයේ වෙනස් වන ලෝකයත් සමඟ ඊට අනුකූල ව රටෙහි ආර්ථික උපාය මාර්ග සකස් කරගැනීමට අසමත් වූ බැවිනි. පසුගිය වසර 06ක් ඇතුළත ආර්ථික වර්ධන වේගය වේගයෙන් පිරිහීමට ලක් ව ඇති අතර, 2018 වසරේ වර්ධන වේගය 3.2%ක් විය. ලෝක බැංකුව පුරෝකථනය කර ඇති ආකාරයට ඉදිරි වසර හතර තුළ අපට ළඟා කරගත හැකි අර්ථික වර්ධන වේගය 04%ට වඩා අඩු මට්ටමක පවතිනු ඇත.

මින් අදහස් වනුයේ මෙතෙක් ශ්‍රී ලංකාව අනුගමනය කළ ආර්ථික උපාය මාර්ග වෙනස් කර නව ආර්ථික උපාය මාර්ගවලට එළැඹිය යුතු බව ය. ශ්‍රී ලංකාව වසර 3000ක පමණ කාලයක් තිස්සේ වෙළෙඳාම මත පදනම් වූ ආර්ථික රටාවක් සහිත ජාතියක් වශයෙන් ලොව පුරා ප්‍රචලිත ව පැවතිණි. ඉතාම වැදගත් නාවික ගමන් මාර්ගයක මෙරට පිහිටි නිසා නැගෙනහිරත් බටහිරත් යා කරන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට ශ්‍රීලංකාව පත්ව තිබිණ. මේ නිසා ලොව පුරා වෙළෙඳුන් අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක් ව පැවති අප රටට පැමිණි අතර, ලෝකයේ කවර රටක වුව නිෂ්පාදනය වූ භාණ්ඩ මෙරට තුළ දී පහසුවෙන් ලබාගත හැකි විය.

මේ නමුත් අද අප දකින්නේ අතීතයේ දී ශ්‍රී ලංකාව ක්‍රියා කළ ආකාරයට වර්තමානයේ සිංගප්පූරුව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථායක් වශයෙන් ක්‍රියා කරමින් සිය සෞභාග්‍ය ළඟා කරගෙන ඇති බව ය. මෙය ‘අන්තරාළ’වෙළෙඳාම වශයෙන් හැඳින්වේ. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජතුමා මේ වෙළෙඳ කටයුතු ඉතාමත් පුළුල් වශයෙන් ක්‍රියාවට නංවා ඇත. එතුමාගේ රජ්‍ය කාලයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම අපනයන සැකසුම් කලාපය ‘අන්තරාංගදූර’ යන නමින් කළු ගඟත්, බෙන්තර ගඟත්, සිංහරාජ අඩවියත් මායිම් කොට කළුතර පිහිටි වරායෙන් දේශීය භාණ්ඩ විදේශ රටවලට අපනයනය කර ඇත. මේ කාලයේදී ලෝකයේ සෑම රටක ම පාහේ භාවිත වූ කාසි විදේශ විනිමය වශයෙන් භාවිත කර තිබේ. ඕනෑම භාණ්ඩයක් වෙළෙඳුනට මිලදී ගත හැකි වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කර ඇත. ප්‍රධාන වශයෙන් මෙරටින් අපනයනය කර ඇත්තේ අලි - ඇතුන්, ඇත් දළ, දැව, දැව භාණ්ඩ, කුළුබඩු, මැණික් සහ මුතු වැනි භාණ්ඩ ය. මීට අමතරව වෙනත් රටවල නිෂ්පාදනය කරන ලද සහල් (බොහෝදෙනා විශ්වාස කරන්නේ අපම සහල් නිෂ්පාදනය කර පිට රටවලට යැවූ බව ය.

නමුත් සත්‍ය නම් තායිලන්තය, බුරුමය, බෙංගාලය වැනි රටවලින් සහල් මිලදීගෙන ගබඩා කර තබාගෙන අපනයනය කිරීම ය. ඒ අනුව කවර රටකට හෝ හාල් අවශ්‍ය නම් අප රටින් ඒවා මිලදී ගැනීමට සිදු විය.) රෙදි - පිළි වැනි භාණ්ඩ ගබඩා කර තිබූ අතර ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හඳුන්වා ඇත්තේ ඒ කරුණ නිසා ය. මෙනිසා ශ්‍රී ලංකාව වෙළෙඳ දේශයක් වශයෙන් සෞභාග්‍යවත් ව ධනය උපයා ගැනීමෙහි කාර්යයෙහි නිරත ව සිටියේ ය. මින් අදහස් වනුයේ ස්වාභාවික සම්පත්වලින් අවම රටක් ලෙස ශ්‍රී ලංකාව තම ආර්ථික සෞභාග්‍ය ළඟා කරගත යුතු වන්නේ වෙළෙඳාම මත ආර්ථිකය හැඩගස්වා ගැනීම මඟින් බව ය.

ලෝක වෙළෙඳ රටාව අනුව වර්තමාන ලෝකයේ කිසිම රටක් තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරන රටක් ලෙස හැඳින් විය නොහැකිය. ඊට හේතුව වනුයේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන සියලු ම උපාංග එක රටක නිෂ්පාදනය නොවන බැවිණි; එ් උපාංග විවිධ රටවල නිෂ්පාදනය කර එක් කර්මාන්ත ශාලාවකට රැගෙනවිත් එකලස් කිරීමට කටයුතු කරන නිසා ය. පසුව ඒවා නිමි භාණ්ඩ ලෙස ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීම සිදු කරයි. මෙනිසා කිසිදු භාණ්ඩයක තනි අයිතියක් රටකට නොලැබේ. උදාහරණයකට ඇපල් සමාගම මඟින් නිෂ්පාදනය කරන ජංගම දුරකථනය (iphon) චීනයේ සොක්ෂ්කොන් (soxconn) කර්මාන්ත ශාලාවේදී එකලස් කර නිමි භාණ්ඩයක් බවට පත් වේ.

එසේ වුවද රටවල් 48ක පිහිටි කර්මාන්ත ශාලා 400ක වැඩි ප්‍රමාණයක නිපදවනු ලබන උපාංගවලින් එය සමන්විත ය. මේ උපාංග වැඩි වශයෙන් නිපදවන්නේ ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය වැනි රටවල ය.

මේ නිෂ්පාදන ක්‍රියාදාමය හඳුන්වනුයේ ගෝලීය නිෂ්පාදන හුවමාරු සේවා ජාලය (Global Production Sharing Network) වේ. මේ නිසා ශ්‍රී ලංකාවත් අද ලෝකයේ වෙනත් රටවල එකලස් කරනු ලබන අධි තාක්ෂණයෙන් යුතු භාණ්ඩ උපාංග නිෂ්පාදනය කර විදේශයට අපනයනය කිරීමේ ක්‍රමයකට යා යුතුය. දැනටමත් ලංකා හර්නීෂ් (lanka Harness) සමාගම ලෝකයේ සියලු ම මෝටර් රථවලට අවශ්‍ය වායුබෑගය (airbags) ක්‍රියා කරවීමට අවශ්‍ය සෙන්සරය මෙරට තුළ නිපදවා අපනයනය කරයි. ඒ අනුව ලෝකයේ නිෂ්පාදිත ඕනෑ ම මාදිලියක මෝටර් රථයකට යොදාගන්නා සෙන්සරය නිපදවනු ලබන්නේ අප රට ය. අනාගත ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය විය යුත්තේ මෙවැනි නිෂ්පාදන වැඩි දියුණු කොට ලෝක වෙළෙඳපොළට අවතීර්ණ වීම ය.

මෑත කාලීන ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බෙහෙවින් ඉවහල් වූ ඇඟලුම් කර්මාන්තය අද අවදානම් සහිත කර්මාන්තයක් බවට පත්ව තිබේ. 1977 දී ආරම්භ කරන ලද විවෘත ආර්ථික ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ බහුල ව පැවති අඩු පිරිවැයකින් යුතු ශ්‍රමය යොදා ගෙන ඇඟලුම් නිෂ්පාදනය ආර්ම්භ විය. එමඟින් දශක තුනක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් විය.

එසේ වුවත් අද වන විට කරුණු දෙකක් නිසා ඇඟලුම් ක්ෂේත්‍රය මත යැපීම අයෝග්‍ය බව පෙනී යයි. ඉන් පළමු කාරණය වන්නේ අද වන විට ලංකාවේ වැටුප් ශ්‍රමය ඉහළ යෑම නිසා අඩු පිරිවැයෙන් යුතු ශ්‍රමය නොපැවතීම ය. මෙනිසා අඩු ශ්‍රමය සහිත රටවල් වන බංගලාදේශය, මියන්මාරය, කාම්බෝජය වැනි රටවලට ඇඟලුම් කර්මාන්තය ක්‍රමක්‍රමයෙන් මාරුවෙමින් පවතී. දෙවන කරුණ වන්නේ ප්‍රධාන වශයෙන් ඇඟලුම් පාරිභෝජනය කරන යුරෝපා හා උතුරු ඇමරිකානු රටවල ඇඟලුම් නිෂ්පාදනය පිළිබඳ අලුත් නිෂ්පාදන මාදිලියක් ගොඩනැඟෙමින් පැවතීම ය. මේ නව මාදිලියට අනුව දින තුනක් වැනි සුළු කාලයක දී නිෂ්පාදිත ඇඟලුම් වෙළෙඳපළට පැමිණීම අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ, බංගලාදේශයේ,මියෙන්මාරයේ හෝ වෙනත් රටවල ඇඟලුම් නිමි ඇඳුම් ලෙස වෙළෙඳපොළට පැමිණීමට දින 30ක පමණ කාලයක් ගත වේ.

මේ නිසා නව නිෂ්පාදන මාදිලිය මඟින් ස්වයංක්‍රීය ව ඇගලුම් නිෂ්පාදනට ඔවුන් පිවිස සිටිති. එසේම ඒ ඇඟලුම්, ඒ රටවල ම නිමවීමට කටයුතු කර ඇති අතර, විශාල ඉල්ලුම පියවා ගැනීම සඳහා ඒවා කෙටි කාලයකින් වෙළෙඳපොළට ලබාගත හැකි ආසන්න රටවල කර්මාන්තශාලා ඇති කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව අතුරු ඇමෙරිකාවට ඇඟලුම් නිෂ්පාදන රටවල් වනුයේ මෙක්ෂිකෝව, හොණ්ඩ්‍යුරාෂ් වැනි රටවල් ය. යුරෝපයට ඇඟලුම් සපයන ප්‍රධාන රටවල් වනුයේ තුර්කිය සහ මොරොක්කෝව ය. දැනට ගණනය කර ඇති පරිදි 2025වන විට ලෝක ඇඟලුම් වෙළෙඳාමෙන් 65%ක් පමණ මේ මාදිලිය ඔස්සේ නිමැවීමට නියමිත ය.

මේ නිසා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි අවදානමකට මුහුණ පා තිබේ. අද මේ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැඳී නොසිට වෙනත් කර්මාන්තවලට යොමු වීම නුවණට හුරු ය. ඒ සඳහා සුදුසු උපක්‍රම කල්තියා සැලසුම් කළ යුතුය.

මෙනිසා ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික අභිවෘද්ධිය රඳා පවතිනුයේ අධි තාක්ෂණයෙන් යුතු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොමුවීම තුළ ය.

මේ සඳහා තාක්ෂණය මත කෙරෙන වියදම් රජය විසින් විශාල වශයෙන් වැඩි කළ යුතුය. මෙයට පසුබිමක් වශයෙන් මෙගාපොලිස් ව්‍යාපෘතිය යටතේ මාලබේ සිට පිටිපන දක්වා තීරුව තාක්ෂණික කලාපයක් වශයෙන් සංවර්ධනය කළ යුතුය.

ඒ අනුව පිටිපන ප්‍රදේශය තාක්ෂණික පුරවරයක් වශයෙන් ගොඩනැඟිමට සැලසුම් දියත් කර ඇත. දැනටමත් මේ කටයුතු විධිමත් ව සිදුවෙමින් පවතින අතර, ඒ අනුව නැනෝ තාක්ෂණ ආයතනය පිහිටුවා ඇත. එසේම පෞද්ගලික සමාගම්වන ජේ.එල් මොරිසන් සහ සී.අයි.සී සමාගම්වල කර්මාන්තශාලා ඉදිකිරීම මේවන විට ආරම්භ වී තිබේ.

මෙයට අමතරව තාක්ෂණික පර්යේෂණ සිදු කර ඒ පර්යේෂණවල ප්‍රතිඵල පෞද්ගලික අංශයට ලබාදීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි තාක්ෂණ පීඨය මේ පුරවරයෙහි පිහිටුවීමට සැලසුම් කර ඇත. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන නවයක ණය මුදලක් ඒ විශ්වවිද්‍යාලයට ලබාදී තිබේ. මෙයට අමතරව තාක්ෂණික කටයුතුවල නිරතවීම සඳහා තරුණ පරම්පරාව පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුව ඇත.

වර්තමාන අයවැය ලේඛනය මඟින් එලෙස තරුණයන්ට පුහුණුව ලබාදෙන පුද්ගලික ආයතනවලට දීමනාවක් ලබාදීමට ද යෝජනා කර ඇත.

රටක් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍යයෙන් ම තිබිය යුතු නව තාක්ෂණික ශ්‍රම හමුදාවක් ශ්‍රී ලංකාව නිර්මාණය කරගත යුතුය.

ඒ සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ කාර්මික විද්‍යාල අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ. විශේෂයෙන් ම ලක්ෂ හතරක් පමණ උසස් පෙළ සඳහා සිසුන් පෙනී සිටිය ද එයින් විශ්වවිද්‍යාල පුරප්පාඩු ඇත්තේ 30000ක් පමණ ය. ඉතිරි කොටසට කාර්මික අධ්‍යාපනයක් ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබේ.

මීට අමතරව තොරතුරු හා තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කිරීම මඟින් භාණ්ඩ නිපදවා ඒවා අපනයනය කොට ධනය ඉපයීමේ ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකාව අවතීර්ණ විය යුතුව තිබේ. මින් හැඟෙනුයේ ශ්‍රී ලංකාවේ ඉදිරියේ රඳා පවතිනුයේ අධි තාක්ෂණය මත බව ය. එබැවින් ඒ තාක්ෂණය ගොඩනැඟීම සඳහා අවශ්‍ය සම්පත් ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.

අදහස්