සිළුමිණ ජනතාවගේ සරසවියයි | සිළුමිණ

සිළුමිණ ජනතාවගේ සරසවියයි

එඩ්මන්ඩ් රණසිංහ වනාහී ලංකාවේ පුවත්පත් කලාව බැබළවූ මිණිපහනකි. හෙතෙම 'සිළුමිණ' පුවත් පතේ සිටි ‍ෙජ්‍ය‍ෂ්ඨ කතුවරුන් අතරින් ජීවත් ව සිටින වයෝවෘද්ධතම කර්තෘවරයා ය. අනූවන විය එළිපත්තේ හිඳ අප ඔහු හා සංවාදයකට මුලපිරුවේ වටිනා ඉතිහාසයක අක් මුල් සෙවීම උදෙසාය.

අපි ඒ 1973 පෙරළිකාර අතීතයෙන් ම මේ කතාව ආරම්භ කළොත්?

සන්ධාන රජය බලයට ආවට පස්සේ ස්වාධීනව මාධ්‍ය කෙරුවාව කරන් යන්න බැහැ කියලා මට තේරුණා. ඒ නිසා මම ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වුණා. හැබැයි මම නිකන් හිටියේ නැහැ. හැඩිගල්ලේ පඤ්ඤාසීහ හාමුදුරුවන්ගේ මාර්ගයෙන් ‘සිංහල බෞද්ධයා’ පුවත් පතට සම්බන්ධ වුණා. ඒ අතර තුර තමයි එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයා මට ‘ජර්නල්’ පුවත්පතට එන්න කිව්වේ. මම ඒකට සම්බන්ධවෙලා වැඩ කරගෙන ඉන්දෙද්දි තමයි එක්සත් ජාතික පක්‍ෂය විසින් කළ ‘සියරට’ පත්තරයට සම්බන්ධ වුණේ. එහෙම වැඩ කරන් යද්දි 1977 ආණ්ඩුව පෙරළුණා. ඊට පස්සෙ ආයිත් වතාවක් ‘දිණමිණ’ පත්තරේ කර්තෘ විදියට ලේක්හවුස් එකට ගියා. ඒ ගිහිල්ල ටික කාලෙකින් මම ඇමරිකාවේ සංචාරයකට සහභාගි වුණා. ඒක මාසයක පමණ ටිකක් දිග නිවාඩුවක්. පස්සේ මම ලංකාවට ආවම දැන ගත්තා මාව ‘සිළුමිණ’ පත්තරේ කර්තෘ හැටියට පත් කළා කියලා. මට ලොකු සතුටක් දැනුණා. පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ, ශ්‍රී ලාල් හික්කඩුව, ඩෙන්සිල් පීරිස්, මීමණ ප්‍රේමතිලක, එස්. සුබසිංහ, විමලසිරි පෙරේරා, ධර්මපාල වෙත්තසිංහ ඊට පස්සේ මම. මම දයාට (දයාසේන ගුණසිංහ)ත් ‘සිළුමිණ’ ට කතා කළා. විශේෂාංග කර්තෘ හැටියට ඔහුව පත් කළා. ගාමිණී සුමනසේකර, ඩබලිව්. කේ. වී. ගුණවර්ධන, ගුණපාල හේමචන්ද්‍ර, නන්දසේන සූරියආරච්චි,... වගේ දක්ෂ පත්තරකාරයෝ කිහිප දෙනෙක් මාත් එක්ක වැඩ කළා. අද මාධ්‍යවේදියො කියලනේ හැමෝම පොදුවේ අමතන්නේ. ඒ කාලේ පත්තරකාරයා කිව්වාම ඉතින් ඊට වඩා දෙයක් නැහැ. අැඟට පුදුම ජවයක් එන්නේ. නමුත් මාධ්‍යවේදියා කිව්වාම මොන මාධ්‍යයේද? කියල ආයි අහන්න වෙනවා. පත්තරකාරයා කිව්වම කෙලින් ම අපිව පුවත්පතට සම්බන්ධ කෙනෙක් විදියට නාමකරණයවෙලා ඉවරයි. එහෙම ආරම්භ කරලා අපි මාසෙකට පත්තර ලක්ෂ තුනකට වැඩිය විකිණෙන තැනට ‘සිළුමිණ’ ගෙනාවා.

 

එහෙම සාර්ථක වෙන්න බලපාපු හේතුව මොකක්ද?

පළවෙනි කාරණාව තමයි පත්තරේ අන්තර්ගතය. ඕනම පත්තරයක් සාර්ථක වෙන්න නම් අවංකව ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඔවුන් එදිනෙදා මුහුණ දෙන ගැටලු සාකච්ඡා කරන්න ඕන. ඔවුන්ට වෙන අසාධාරණකම් වෙනුවෙන් පෙනී ඉන්න ඕන. කිසියම් හෝ පුද්ගලයෙක් සමාජ විරෝධී ක්‍රියාවක් කරනව නම් ඔහු හෝ ඇය කුමන තරාතිරමක, කුමන ආගමක, කුමන ජාතියක කුමන තරාතිරමක කෙනෙක් වුණත් අප ඒ ක්‍රියාව විවේචනය කරන්න ඕන. එහි තිබෙන වැරැද්ද පෙන්වා දෙන්න ඕන. නමුත් ඒ දේ කරන්නේ ඒ තැනැත්තා පිළිබඳව ද්වේෂ සහගතව නෙවෙයි. ඔහු නිවැරදි මාවතට ගැනීමේ අරමුණින්. අනෙක් කාරණාව අපිට ලබාදීපු නිදහස. විශේෂයෙන්ම 60-70 ව කියන්නේ ලේක්හවුස් ජීවිතයේ ඉතාම ප්‍රීතිමත් කාලපරිච්ඡේදයක්. රංජිත් විජේවර්ධන මහතා තමයි එතකොට හිටියේ. ඔහු අපට උපරිම නිදහස දුන්නා. කිසිම දේකට ඇඟිලි ගහන්න ආවේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපට ඕනදෙයක් කරන්න නිදහස තිබුණා. ඒකාලේ අපි දිනමිණ ලක්ෂය ඉක්මවා අලෙවි කළා. ඩී.ආර් විජේවර්ධන මහත්තයා අපිට ස්තූතිය පළ කරල ලියුම් එව්වා. අපිට ඒ විදියේ දෙයක් කරන්න පුළුවන් වුණේ නිදහස තිබුණ නිසයි. ඒ වගේම රණපාල බෝධිනාගොඩ මහත්තයාත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන. ඔහුත් අපට අපේ කටයුතු කරන් යන්න නිදහස දුන්නා. ආණ්ඩුව සාධනීයව විවේචනය කරන්න, ඇමතිවරු මන්ත්‍රීවරු විතරක් නෙමෙයි අපි ජනාධිපති අගමැතිවගේ අයත් විවේචනය කළා. ඒ විවේචන ඒ අය සාධනීය ව බාර ගත්තා. එහෙම නොවුණු අවස්ථාවල මම පත්තරේ දාලා ගෙදර ගියා. පත්තරකාරයෙක්ගේ අතපය බැඳලා පත්තරයක් නැඟිට්ටවන්න බැහැ. එහෙම හිතනම නම් ඒක විහිලුවක්; ඒක වළපල්ලටම යනවා. පත්තරයක් නැඟිට්ටවන්න නම් පත්තරකාරයට එයාගේ ස්වාධීන මතය ප්‍රකාශ කරන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඉඩදෙන්න ඕන. නිදහස තියෙනව නම් ඕන පත්තරකාරයෙක් කැමතියි. අදත් නිදහස තියෙනව නම් පත්තරයක් ජනප්‍රිය කරන්න ලේසියෙන් පුළුවන්.

 

එදා සිළුමිණේ වැඩ කරපු අය තුළ මොන වගේ ආකල්පයක් ද තිබුණේ ?

ඒකාලේ හැමෝම සිළුමිණට ගෞරව කළා. අපේ ස්වාධීන මතය ජනතාවට ගෙනයන පත්තරය කිය අදහස මේ සියලු දෙනා තුළ තිබුණා. අද ඔවුන්ගේ ස්වාධීන අදහස් පළ නොවන නිසා ඒහෙම ආකල්පයක් තියෙනවද කියන්න මම දන්නේ නැහැ. නමුත් එදා මේ අපේ පත්තරේ අපට මේකෙන් මේ රටේ ජනතාවට සේවය කරන්න පුළුවන්. ඔවුන්ගේ සුබ සිද්ධිය රැකවරණය සලසන්න පුළුවන් කියල විතරක් නෙමෙයි; අපි එහෙම කළා කියන අවංක හැඟීම අපට තිබුණා. මිනිස්සු අපිට ගෞරව කළා. ගිය තැන ඉතාම සුහදව අපිව පිළිගත්තා. කොටින්ම එදා ජනතාවගේ මතයට බලපෑම් කරන්න අපට හැකි වුණා. එහෙම වුණේ අප පිළිබඳව ඔවුන්ට විශ්වාසයක් පිළිගැනීමක් තිබුණ නිසයි. දැන් වුණත් නිදහස්ව වැඩ කරන්න ඉඩ දෙනව නම් ඒ තත්ත්වය ඇති කරන්න පුළුවන්. මේ 90 වෙනි වසරට පා තබන මොහොතේ අලුත් ආරම්භයක් ගන්න පුළුවන් නම් ‘සිළුමිණ’ නැවතත් ජනතාවගේ පුවත්පතක් බවට පත් කළ හැකියි. ඒ සඳහා කර්තෘ මණ්ඩලය තුළ ආකල්පමය වෙනසක් ඇති කරගන්නව වගේම ආයතනික පරිසරයත් වෙනස් වෙන්න ඕන. මන්දන්නවා සමහරු මෙතන තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් පෙනී ඉන්න උත්සාහ කරනවා. ඒක නෙමෙයි පත්තරකාරයකුගේ ස්වාධීන මතය කියන්නේ. ඔහු පාක්ෂිකයකු නොවෙයි. ඔහු මානව හිතවාදියකු විය යුතුයි. ඔහු පෑන හසුරුවන්න ඕන ඒ වෙනුවෙනුයි. සමාජයට ජනතාවට මොක වුණත් මොකෝ මට වාසියක් වෙනව නම් කියන පටු ආකල්පය පත්තරකාරයකුට නෙමෙයි කාටවත් හොඳ දෙයක් නොමෙයි. ඒ නිසා ඔහු තුළ පරාර්ථකාමී හැඟීම් ඇතිවෙන්න ඕන. තමන් ජනතාව වෙනුවෙන් සේවය සලසන්නෙක් කියන ආකල්පය ඔහු තුළ තිබෙන්නට ඕන. ඒවගේම පත්තරකාරයෙක් කියන්නේ අතපය බැඳල වැඩ ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා ආයතනය දැනගන්න ඕන. එහෙම කළොත් ඔවුන්ගේ දක්ෂතා මියැදෙනවා. එහෙම අයගෙන් ජනතාවටවත්, පත්තරේටවත් ආයතනයටවත් වැඩක් වෙන්නේ නැහැ.

 

සිළුමිණෙන් රටට ලැබුණු බුද්ධිමය දායකත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මේකට කිව්වේ සත දහයේ විශ්වවිද්‍යාලය කියලා. ඒකට හේතුව අපි ජනතාවගේ බුද්ධිය ඉහළ නැංවීම ගැන හිතල අන්තර්ගතය සකස් කර තිබීමයි. භාෂා ඥානය ලබාදීම එහි මූලික කාර්යයක් වුණා. ඒවගේම උසස් රසවින්දන ශක්තියක් ඇති කිරීම. පියසේන නිශ්ශංක මහත්තයගේ කාලේ ඉඳල මාර්ටින් වික්‍රමසිංහ, මීමන ප්‍රේමතිලක වැනි සාහිත්‍ය ක්ෂේත්‍රයේ කීර්තියක් හිමිකරගෙන සිටි අය මේ තත්ත්වය ඇති කිරීමට මහත් වෙහෙසක් අරන් තිබුණා. අප එය තවතවත් ශක්තිමත් කර විවිධ නවතාව ඊට එක් කිරීමට කටයුතු කළා. දයාසේන ගුණසිංහ ඒ වෙනුවෙන් විශාල කාර්යයක් ඉෂ්ඨ කළා. මම කියන්නේ නැහැ අද ඒ කාර්යයෙන් සිළුමිණ බැහැර වුණා කියලා තවමත් ඒ කාර්ය සිදු වෙන බව පේනවා. නමුත් සාහිත්‍ය අතිරේකය තුළ බොහෝවිට එකම විද්වතුන් පිරිසකගේ ලිපි පමණයි පළ වන්නේ. නමුත් පැතිරුණු දැනුම ගන්න නම් තවතවත් නවතාවයෙන් යුතු අදහස්වලට ඉඩදිය යුතුයි. කෙසේ වුවත් අනෙක් පුවත්පත් සමඟ සසඳා බලද්දී තවම එහි ජීව ගුණය කිසියම් ආකාරකට රඳවා තබා ගැනීමට සිළුමිණ සමත් ව තිබෙනවා.

Comments