සිළු­මිණ සෙවණේ තිස් වස­රක් | සිළුමිණ

සිළු­මිණ සෙවණේ තිස් වස­රක්

අප ආයතනයේ මා දුටු සුවිශේෂත්වයක් වන්නේ සේවකයන් අතර සිය ආයතනය පිළිබඳ වූ ගෞරවය, බැඳීම හා ළෙන්ගතුකමය. ජේවීපී කලබල සමයේ තුණ්ඩු කැබලි මඟින් තර්ජන පැමිණෙද්දී කොතරම් තර්ජන තිබුණද පුවත්පත කෙසේ හෝ මුද්‍රණය කර බෙදාහැරීමට සේවකයෝ නොපැකිළව ඉදිරිපත් වූහ. එය සේවක එකමුතුකම හොඳින් කැපී පෙනුණු අවස්ථාවක් විය.

මා ප්‍රථම වරට ලේක්හවුසියේ පියගැටපෙළ නැග්ගේ අදින් වසර තිස්පහකට පමණ පෙරය. ඒ එවකට මේ ආයතනයේ පුවත්පත් කලාවේදියකු ලෙස සේවය කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදි කපිතාන් චන්ද්‍ර ශ්‍රී කුලරත්න මපියාණන් හමු වීමටය. එදවස මම එතුමා එන තෙක් සුළු වේලාවක් අමුත්තන් පිළිගන්නා ශාලාවේ රැඳී සිටි සිටියෙමි. ඒ කාලය තුළ එතැනින් ආ-ගිය පුද්ගලයෝ බොහෝය. රටේ නමගිය පුද්ගලයන් මෙන්ම එකල ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදීහු කීපදෙනෙක්ද ඒ අතර වූහ. රටම පිළිගත් මෙවන් තැනක් තවත් වේද? මා සිතේ ඇතිවූ හැඟීම එබන්දකි. ලේක්හවුස් මන්දිරය, එහි ඉදිරිපස අමුත්තන් පිළිගන්නා ශාලාව, ඒ පසෙකින් ඉහළට ඇදෙන පියගැටපෙළ කොතරම් ගෙම්භීරද? මෙවන් තැනක සේවය කරන මපියාණන් ගැන එදා මසිත ඇති වූයේ ආඩම්බරයකි. ‘මටත් කවරදා හෝ මෙතැන සේවයට ඒමට ඇත් නම්...’ මගේ සිතේ ඇති වූයේ පුංචි බලාපොරොත්තුවකි. පසුකලෙක ඒ බලාපොරොත්තුව සපල වීමට තරම් සැබැවින්ම මම වාසනාවන්ත වීමි. එතැන් පටන් මේ දක්වාම මගේ ජීවිතය ‘සිළුමිණ’ නමැති මේ මහා මිණි පහන නිසා බැබළිණි.

සිළුමිණට මා එක් වන යුගයේ ප්‍රධාන කතුකම දැරුවේ ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.සී. කරුණාරත්න මහතාය. මාත් සමඟම එදා සිළුමිණට තවත් එක් අයෙක් අලුතින් එක් විය. ඒ වත්මනෙහි කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය සමන්ත හේරත් මහතාය. එදවස අප දෙදෙනාටම පුවත්පතේ යම්-යම් කාර්ය පැවරූ කරුණාරත්න මහතා විශේෂාංග රචනය කෙරෙහි මා සිත වූ කැමැත්ත අසා, එවක විශේෂාංග සංස්කාරක ධුරය දැරූ ඉඳුනිල් කහවිට මහත්මිය වෙත මා බාර කළේය. එතැන් පටන් සිළුමිණේ විශේෂාංග රචනයේ සිට ලිපි සංස්කරණය හා පිටු සැකසුම ආදි වූ සියලු කුදු-මහත් කටයුතු පිළිබඳ මනා පුහුණුවක් සමඟ අත්දැකීම්ද ලදිමි. එදා සිළුමිණ යනු සියයට සියයක්ම ව්‍යාකරණය, අක්ෂර වින්‍යාසය හා සැමවිටම නිවැරැදි තොරතුරුම සැපයූ, කාගේත් ඉහළම පිළිගැනීමට පත් සති අන්ත එකම සිංහල පුවත්පත කිව හොත් මා නිවැරැදිය.

මා සිළුමිණට එක් වන අවධියේ එහි සේවය කළෝ එවකට රටේ නමගිය ප්‍රවීණ මාධ්‍යකරුවෝය. නියෝජ්‍ය කර්තෘ ධුරය දැරූ බ්‍රයන් ගෝමස් මහතා විදෙස් ලිපි සම්පාදනයේ ප්‍රවීණයෙකි. සිනාමුසු මුහුණෙන් කා සමඟත් නිහතමානිව කතා-බහ කළ හෙතෙම අප නොදන්නා දෙයක් ඇසූ පමණින් පහදා දෙන්නට සැදී-පැහැදී සිටියේය. එකල නම ඇසූ පමණින් කවුරුත් දන්නා-හඳුනන ධර්මසිරි ගමගේ මහතා සිළුමිණේ සුවිශේෂ පුද්ගලයෙකි. එතුමා හමුවීමට නිතර පැමිණෙන ගායක-ගායිකාවන් හා නළු-නිළියන් දෙස හොරැහින් හෝ නොබලා සිටීමට අපි අපොහොසත් වීමු. සිළුමිණ සඳහා ‘ටැබ්ලොයිඩ්’ ප්‍රමාණයේ අතිරේකයක් එකතු කිරීමේ යෝජනාව පැමිණි කල ‘රසඳුන’ නමින් ආරම්භ වූ එහි පළමු සංස්කාරකවරයා වූයේ ධර්මසිරි ගමගේ මහතාය.

සිළුමිණ ‘සත දහයේ විශ්වවිද්‍යාලය’ ලෙස හැඳින්වූ දා සිටම එහි ශාස්ත්‍රීය අතිරේකය සාහිත්‍යධරයන් උසස් අධ්‍යාපනය හදාරන්නන් හා විද්වතුන් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව තිබිණි. විශේෂයෙන්ම පාසල් හා විහාරස්ථානයන්හි සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය සතිපතා එකතු කර වෙළුම් වශයෙන් තබාගනු ලැබිණි. මේ අවදියේ ශාස්ත්‍රීය අතිරේකයේ සංස්කාරක වශයෙන් කටයුතු කළේ දො.ඩ. ඩයස් මහතාය. භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ඉතා පුළුල් පරිණත දැනුමකින් යුතු වූ ඩයස් මහතා සිළුමිණේ භාෂාව හා අක්ෂර වින්‍යාසය ගැන නිතර විමසිලිමත් විය.

එකල සිළුමිණේ උදවිය භාෂාව පිළිබඳ ගැටලු පැමිණි සැමවිටම ඩයස් මහතා විමසන්නට පුරුදුව සිටියහ. දැනුදු භාෂාව පිළිබඳ ගැටලුවක් පැමිණි සැණින් අපගේ භාෂා විශාරද ජයත් පියදසුන් මහතා විමසන්නේ එදා ලද පුරුද්ද අනුව යමිනි. දයා සිරිවර්ධන, නන්දා විතාරණ මහත්මිය, ඥානතිලක ලියනගේ, සරත් පෙරේරා, කිරම පියසෝම හා ඩී.කේ.ජී. නිමල්සිරි මහත්වරුද එදා සිළුමිණ බැබළවීමට සහයෝගය දුන් අය අතර වූහ. එකල සිළුමිණේ සිතුවම් නිර්මාණය කළේ චිත්‍ර ශිල්පී හේම පෙරමුණ මහතාය. කර්තෘ මණ්ඩලයේ නිවාඩු, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා කරන ගෙවීම් ඇතුළු සියලු කුදු-මහත් කටයුතු කෙරුණේ ශාන්ති ප්‍රනාන්දු මෙ‍ණෙවිය අතිනි.

මේ අය අතරින් සරත් පෙරේරා මහතා ප්‍රකටව සිටියේ දක්ෂ ප්‍රවෘත්ති ගවේෂකයකු ලෙසය. කාලීන දේශපාලනය ගැන හසළ දැනුමකින් යුතු වූ ඒ මහතා ඕනෑම අවස්ථාවකදී රටේ කුමන තරාතිරමේ දේශපාලනඥයකු හෝ වෙතින් සිළුමිණට අවශ්‍ය තොරතුර හෝ සම්මුඛසාකච්ජාව ලබාගැනීමට සමත් වූයේය.

ඩී.සී. කරුණාරත්න මහතාගෙන් පසු සිළුමිණ ප්‍රධාන කතුකමට පත් වූයේ කවුඩානේ පියදාස පෙරේරා මහතාය. ඔහු සිළුමිණ සැම අතින්ම නව මුහුණුවරකට ලක් කරමින් නව විශේෂාංග හඳුන්වාදෙමින් ඉදිරියට ගෙන ගියේය. ළමා උයන, සඳැල්ල, විශ්ව දැනුම, කවි පිටුව, කාන්තා හමුව, කෙළි බිමෙන්, වේදිකාව, එතෙර සතිය, වෛද්‍ය මතය, ජනමතය, කරුණාදාසගේ බහුරූ කෝලම, ගැමි රසකතා හා සමාජ සටහන් යනාදි විශේෂාංග එදා සිළුමිණේ දැඩි පාඨක ප්‍රසාදයට ලක් විය.

‘විශ්ව දැනුම’ විශේෂාංගය සංස්කරණය කළ දයා සිරිවර්ධන මහතා සතිපතා එයට එක් කළ විශ්ව කලා නිර්මාණ කොලම නිරන්තර පාඨක හද දිනාගත්තේය. අද මෙන් අන්තර්ජාල පහසුකම් හෝ ‍ලොව තොරතුරු ගවේෂණය කළ හැකි මෙවලම් නොතිබූ එකල දයා සිරිවර්ධන මහතා ලෝකයේ විශිෂ්ට කලා නිර්මාණ පිළිබඳ දැනුම පාඨකයන්ට දුන්නේ විශ්වකෝෂය ඇසුරෙනි. විශ්වකෝෂයෙන් තොරතුරු සොයන ආකාරය මට කියා දුන්නේ ඒ මහතාය.

‘අනේ අපොයි’ලෙස නම් කළ, රටේ සිදු වන හද කම්පා කරවන සංවේගජනක සිද්ධියක් ඇතුළත් විශේෂාංගය රචනා කළ කිරම පියසෝම පොලීස් පුවත් හා යුද හමුදා වාර්තාකරණයෙහිද පෙරමුණේ සි‍ටියේය. මානුෂීය කතා සොයමින් රට වටා යෑමට ඔහු කවරදාත් කැමැත්තේය. ‘කෙළිබිමෙන්’ විශේෂාංගය භාරව කටයුතු කළ ඩී.කේ.ජී. නිමල්සිරි මහතා නිතරම සිළුමිණ හා ක්‍රීඩා පිටිය සම්බන්ධ කළේය. ‘විපරම් දෑසින්’ යනු කවුඩානේ මහතා එකල සිළුමිණට අලුතෙන් හඳුන්වාදුන් තවත් විශේෂාංගයකි. රටේ ප්‍රධාන නගරවල අඩු-පාඩු සොයා යන ඒ විශේෂාංගය ලිවීම මුල සිටම පවරා තිබුණේ මා වෙතය. ප්‍රධාන නගරවල අඩු-පාඩු සිළුමිණෙන් පැවසෙද්දී ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයෝ කුපිත වූහ. එහෙත් සිළුමිණ ඒ කිසිවකින් සැලුණේ නැත. එසේම එවකට පැවැති රජයද ඒ ගැන වගපල අසා පුවත්පතෙන් නිදහසට කරුණු විමසුවේද නැත. එනිසා ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීමට අපි පෙලඹීමු. ‘සඳැල්ල’ විශේෂාංගය සංස්කරණය කරමින් විද්වතුන් හා විවිධ සම්මුඛ සාකච්ඡා පවත්වමින් සමන්ත හේරත් මහතා සිළුමිණට ලියූ ලිපි සාරගර්භය. මා හා සමන්ත සිළුමිණට එක් වෙද්දී කතුමඬුල්ලේ දහදෙනෙක් පමණ වූහ. අප දෙදෙනා එකොළොස් හා දොළොස් වැනියන් ලෙස සිළුමිණට එක් වූ බව මට මතකය. අද මෙන් නවීන තාක්ෂණය නොතිබූ ඒ අවදියේ සිංහල සති අන්ත පුවත්පත් අතරින් සිළුමිණ ප්‍රමුඛත්වයේ බැබළිණි.

සිකුරාදාව සිළුමිණට මහ සිකුරාදාවක්ම වූයේ ප්‍රධාන කොටසේ සියලු පිටු උදෑසන සිට සැකසෙන නිසාය. කර්තෘ මණ්ඩල සාමාජිකයන් පමණක් නොව, අනෙකුත් සහායක කාර්ය මණ්ඩලද එදින සිළුමිණ වෙනුවෙන්ම කැපව සිටියහ. ඇතැම් දිනවල පත්තරය සම්පූර්ණයෙන් නිම වී අප කාර්යාලයෙන් පිට වෙද්දී මධ්‍යම රාත්‍රිය වීය. එහෙත් පමාවක් නැත. නියම වේලාවට මුද්‍රණය සිදු වේ.

එකල සිළුමිණ මුද්‍රණ වාර දෙකකින් නිකුත් විය. සිකුරාදා මහරැයේ පිටු සැකසුම අවසන්ව පාන්දර පත්‍රය මුද්‍රණය කර පළමු මුද්‍රණය ලෙස ඈත-එපිට පළාත්වලට බෙදාහැරිණි. පසුදා - එනම්: සෙනසුරාදා - පස්වරු දෙකට පමණ පිටු කීපයක් වෙනස් කර දෙවැනි මුද්‍රණය නිකුත් කෙරිණි. ‍මේ සියලු කටයුත්තක්ම නිසි ලෙස අපට ඉගැන්වීමට එකල සිටි ප්‍රවීණ මාධ්‍යවේදීහු කටයුතු කළහ.

අප ආයතනයේ මා දුටු තවත් සුවිශේෂත්වයක් වන්නේ එකල සේවකයන් අතර සිය ආයතනය පිළිබඳ වූ ගෞරවය, බැඳීම හා ළෙන්ගතුකමය. ජේවීපී කලබල සමයේ තුණ්ඩු කැබලි මඟින් තර්ජන පැමිණෙද්දී කොතරම් තර්ජන තිබුණද පුවත්පත කෙසේ හෝ මුද්‍රණය කර බෙදාහැරීමට සේවකයෝ නොපැකිළව ඉදිරිපත් වූහ. එය සේවක එකමුතුකම හොඳින් කැපී පෙනුණු අවස්ථාවක් විය.

කිසියම් විශේෂාංගයක් ලිවීම සඳහා බැහැර යද්දී වාහන සැපයීම ආයතනයෙන් සිදු වේ. එහෙත් නියමිත වෙලාවට යෑමට වාහනයක් නැති අවස්ථාද ඉඳ-හිට වෙයි.

“ලොරියක් දෙන්නද යන්න?” ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයෙක් මගෙන් විමසීය. මට ප්‍රශ්නයක් වූයේ ලොරියේ යෑම නොව, ලොරියට නැඟගැනීමය. අද මෙන් සාරි ඔසරි නොව ගවුම් කොටයකින් සැරසී පැමිණි එකල මම පත්තර බෙදාහරින ලොරියක නැඟී එම ගමන ගියෙමි.

කවුඩානේ මහතාගෙන් පසු සිළුමිණේ කතුපුටුවට පැමිණියේ තිලකරත්න කුරුවිටබණ්ඩාර මහතාය. කවදත් සිළුමිණට ආභරණයක් බඳු වූ එතුමා තෙවරක්ම සිළුමිණ කතු පදවිය හෙබවූයේය. ඒ තෙවරම එතුමා යටතේ සේවය කිරීමට මම වාසනාව ලදිමි. අප ‘තිලක් අයියා’ යන ආදරණීය නාමයෙන් හඳුන්වන එතුමා අපට ගුරු-හරුකම් දෙමින් පුවත්පත් කලාවේ සෑම ඉසවුවක්ම හොඳින් වටහා දුන්නේය. එතුමා අපට කිසියම් හෝ විශේෂාංග ලිපියක් ලිවීම පවරන්නේ ලිපියට අදාළ තොරතුරු සොයාගන්නා අන්දමද, ලිපියේ අන්තර්ගතය මෙලෙස විය යුතුයැයිද යනාදි වශයෙන් මාර්ගෝපදේශද සපයනි. ඇතැම් අවස්ථාවලදී ලිපියට අවශ්‍ය කරුණු ඇතුළත් පොතක්-පතක් සිය පෞද්ගලික පොත්ගුලෙන් හෝ ගෙනැවිත් දීමට එතුමා නොපැකිළෙන්නේය.

පැවරූ කිසියම් ලිපියක් ලියා එය කතුතුමාගේ මේසය මත තබන මා එතැන් පටන් විමසිලිමත් වන්නේ එතුමා රතු පෑන අතට ගෙන ලිපිය සංස්කරණය අරඹන තෙක්ය. එතුමා අතින් කැපී-කෙටී හරි වැරැදි සැකසී අතට පත් වන ලිපිය නැවත වරක් කියවීම මම පුරුද්දක් ලෙස කරමි; වරක් කළ වරද යළිත් නොකිරීමට වගබලාගනිමි. එතුමා වෙතින් ලද ගුරු-හරුකම් මට මේ තාක් දුර පුවත්පත් කලා ලොවේ රැඳී සිටීමට මනා අත්වැලක් වූයේය. වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම එතුමා අපට ගුරුවරයෙක් වූයේය.

සිළුමිණෙහි කෙටිකලක් ප්‍රධාන කර්තෘධුරය හෙබවූ කරුණාරත්න අමරතුංග මහතාද පුවත්පත නිදහසේ කරගෙන යෑමට අප මෙහෙයවූ කතුතුමෙකි. එතුමා කිසිම විටෙක තමාට අවශ්‍ය දේ පුවත්පත්කලාවේදීන් ලවා කරවීමට උත්සාහ නොගත්තේය. පසුකාලීනව දේශපාලනීකරණයට ලක් වන්නට පටන්ගත් සිළුමිණේ හැකි තාක් නිදහස්ව පෑන මෙහෙයවීමට එතුමා පුවත්පත් කලාවේදීන්ට පළිහක් සේ රැකවරණය සැපයීය.

කතුමඬුල්ලේ සැමගේ ස‍හයෝගය ඇතිව සිළුමිණ ඉදිරියට ගෙනයෑමට උත්සාහ දැරූ කතුවරුන් අතර සුන්දර නිහතමානි ද මැල් මහතාද වෙයි. සැබැවින්ම සුන්දර මිනිසකු වූ එතුමා කතුමඬුල්ලේ සැමගේම මිතුරෙක් වූයේය. මා මෙහිදී සිහිපත් කළේ එදා සිළුමිණේ කතුකම් කළ, දැන් අප ආයතනයේ නැති කතුවරුන් ගැනය. ඒ හැරුණුකොට සිළුමිණ බැබළවීමට උත්සාහ දැරූ කතුවරු බොහෝය.

සිළුමිණේ ළාබාලම කතුවරයා වූයේ චාමර ලක්ෂාන් මහතාය. සිළුමිණ මෑත කාලීනව වෙනස්කම් රැසකට ලක් කරමින් ඉදිරියට ගෙනයෑමට හෙතෙම පියවර ගත්තේය. එසේ තිබියදී එතුමාගේ අකල්වියොව සිළුමිණේ සැමට බලවත් කම්පනයක් විය. එහෙත් ඔහු හඳුන්වාදුන් වෙනස්කම් ඔස්සේ පුවත්පත ඉදිරියට ගෙනයෑමට සිළුමිණේ සැවොම උත්සාහ දරති. ලේක්හවුසියේ සේවකයන් ඒ කාලයේ නිතර කියූ දෙයක් මේ අවස්ථාවේ මගේ මතකයට නැඟේ: ‘අපට පඩි ගෙවන්නේ සිළුමිණේ ආදායමෙන්...’ මේ කතාවේ සත්‍ය-අසත්‍යතාව නොදත්තත් එය ඇත්තක් ලෙස අප ඇදහූයේ සිළුමිණ එකල ඉහළ ආදායම් වාර්තා තැබූ නිසාය.

සිළුමිණෙහි තිස් වසරක කාලයක් පුරා ලද අත්දැකීම් රාශියක් අතර මා සිත කම්පාවට පත් කළ සිදුවීමක් තවමත් මා මතකය අවදි කරයි. ඒ එල්ටීටීඊ ක්‍රියාකාරකම් බහුල අවදියකි. ගුවන් හමුදා ඇව්රෝ යානයක් ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වෙද්දී ඒ ගැන සොයා බලා ලිපියක් සැකසීමට යෑමට කිරම පියසෝම මහතා කෙසේ හෝ මඟ පාදාගත්තේය. මගේ මතකයේ හැටියට එදින සිළුමිණේ ප්‍රධාන කොටස සෑදෙන සිකුරාදාවකි. කිරම මහතා සමඟ යෑමට ඒ අවධියේ සිළුමිණේ සමකතුවරයකු වූ කරුණාරත්න සපුතන්ත්‍රි මහතා සහ ඡායාරූප ශිල්පී එඩ්වින් වීරසිංහ මහතාද එක් වූහ. තිදෙනාම ගමන පිටත් වූයේ සිළුමිණෙනි.

“ගිහින් එන්නම්” කියමින් කිරම සිළුමිණෙන් නික්ම යනු මට තාමත් මතකය.

පසුදා සෙනසුරාදාය. එකල සෙනසුරාදා සිළුමිණට වැඩ දිනයකි. නිවාඩු දින වූයේ ඉරිදා හා සඳුදාය. අප පසුදා කාර්යාලයට පැමිණෙද්දී අසන්නට ලැබුණේ ශෝකජනක ප්‍රවෘත්තියකි. කිරම පියසෝම මහතා ඇතුළු පිරිස යාපනය බලා ගිය දෙවැනි ඇව්රෝ ගුවන් යානයද එල්ටීටීඊ ප්‍රහාරයකට ලක්ව තිබිණි. ඒ පුවත අසා අප සැම හඬාවැටුණු අන්දම මට අදද මතකය. එදා අපට අහිමි වූ ඒ පුවත්පත් කලාවේදීන් තිදෙනාගේ දූ-දරුවන් පාසල් අධ්‍යාපනය හමාර වන තුරුම ලේක්හවුසිය ඒ පවුල්වලට සවියක් වූයේය.

සිළුමිණ ‍දේශපාලන සාකච්ඡා සඳහා වැඩි ඉඩ-කඩක් වෙන් කිරීම ඇරඹුණේ 1990න් පසු බව මගේ හැඟීමය. ඒ ලිපිද බොහෝ කෙටියෙන් සරලව ලියැවිණි. කාලීන හා වැදගත් මාතෘකා මතු වෙද්දී ඒ අනුව ලිපියේ ප්‍රමාණය වෙනස් විය. දේශපාලන සාකච්ඡා ලිවීමට එතරම් මනාපයක් නොදැක්වුවද කතුතුමා පවරන ඕනෑම රාජකාරියක් නොවරදවාම ඉටු කළෙමි. ඇතැම් ඉහළපෙළේ දේශපාලනඥයන් සම්බන්ධ කරගැනීමට නොහැකි වෙද්දී මා කළේ ප්‍රශ්න ටික ලියා ඒ දේශපාලනඥයාගේ පෞද්ගලික ලේකම් හෝ ආරක්ෂක නිලධාරියා හෝ අතට පත් කිරීමය. විවේකයක් ලද විට දේශපාලනඥයා දූරකථන මාර්ගයෙන් මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙද්දී ඒවා සටහන් කරගනිමින් තවත් ප්‍රශ්න මතු කළෙමි. මා කිසිම දිනෙක පටිගත කිරීමේ යන්ත්‍ර භාවිත නොකළේ ඒ ගැන විශ්වාසයක් නොතිබීම නිසාය. ‘කිසියම් ලෙසකින් එය ක්‍රියාත්මක නොවුව හොත් මා කුමක් කරන්නද?’ යන බිය මා කෙරෙහි කවරදාත් පැවතිණි. ඒ නිසා කියන සැම දෙයක්ම අත වේදනා ගෙනදෙද්දීම වේගයෙන් සටහන් කරගැනීම මාගේ පුරුද්ද විය.

වසරෙන් වසර කාලය ගෙවී යද්දී කතුවරුන් වෙනස් වෙද්දී, සිළුමිණට තව-තවත් සාමාජිකයෝ එකතු වූහ.

සිළුමිණ වත්මන් ප්‍රධාන කර්තෘ චාමින්ද වාරියගොඩ මහතාද ඇතුළුව සිළුමිණ හෙබවූ කතුවරුන් පසළොස් දෙනකු යටතේ සේවය කිරීමට තරම් මම භාග්‍යවන්ත වීමි. මේ සැම කතුවරයෙක්ම පාහේ සිළුමිණෙන් බැබ‍ළෙන්නට උත්සාහ නොදරා, සිළුමිණ බැබැළවීමට උත්සාහ දැරුවෝ වෙති. ඒ සැම කතුවරයකුම තමන්ට අනන්‍ය වූ ක්‍රමවේද අනුගමනය කළේ සිළුමිණේ යහපත උදෙසා බව මම විශ්වාස කරමි. ඉන් ඇතැම් දේ සාර්ථක වෙද්දී ඇතැම් දේ ප්‍රායෝගික නොවන බවක් දැනුණද, අත්දැකීමෙන් ඒ බව තහවුරු වන තෙක් ඉවසා සිටීමට පසුව මම පුරුදු වීමි. එසේම, සිළුමිණේ ගත කරන අන්තිම දවස දක්වා මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් අවංකව සේවය කිරීම මගේ අරමුණය. ‘සිළුමිණ තව-තවත් බැබළේවා!’ යන්න මගේ පැතුමයි.

 

අදහස්