මල් පහ | සිළුමිණ

මල් පහ

පී.බී. අල්විස් පෙරේරා

1981 සැප්තැම්බර් 13

 

තෙත මිහි කිරුළ ඇමිණී රිවි කිරණ කෙඳී

සියොතුන් නඟන පෙම් රස ගී හඬට රිදී

මීමැසි බමර දැල් මල් ගොමු අතර බැඳී

මඳ නල වසත් පිනි බිඳු සනසවන ලදී

හෙළසර අසෝකා නිලුපුල් සිසිල බිමේ‍

අඹමල් දෑසමන් මල් පහ පැලඳ ළැමේ‍

සමනල දඩයමට නිල් දිය නගින ගමේ

නික්මිණි ආලයට අදිපති කුමර තෙමේ

නොපුබුදු රෝස කැකුළෙන් සෑදුණු දුන්න

වනමල් රේණු වරපොට හඬවා ගන්න

කැනරි කුරුල්ලකු පෙඳ මුදුනට පැන්න

එකුමරු ගමට වනි සමනලයන් ඉන්න

මල් පෙති තුඩුවලින් ඇඟ අත පය සීරී

පිනි කැටවල හැපී දහඩිය බිඳු බේරී

හත් අට දෙනකු අල්ලා සමනල කූරී

වෙහෙසව තදින් කුමරා මල් පස දාරී

නිල් දිය නගින පියසෙහි අදිපතියා ගේ

මැදුරට වැටුණු මඟ කොයි අතකද නෑ ගේ

සඳරැස් සමඟ කොඳමල් යන විට දී ගේ

ඔහු එහි පැමුණුණා මග දැනගන වා ගේ

පිළිගෙන කුමරුවා සමනල ගමෙහි පතී

පලතුරු අලුත් මිදි යුෂ කිරි ඉරිඟු පෙතී

මී වැළඳ වී යහනක් සුව පහසු ඇතී

පැන වී ඔහු ගෙ දුව රූපත් තරුණ රතී

කුමරු ගෙ නුවන් සර වැද ඇය මුහුණ කරා

හදවත අලුත් ලේ කම්මුල්වලට පුරා

විළිකුන් ඇපල් බඳු විය රත් ඔපය දරා

‍චෙරි පැහැ දෙතොල නැටවුණි රස හැඳින නුරා

සඳ කුමරුගෙ යහන රැස් වතුරෙන් සේදූ

උනුනුන් සිතින් පියැඹී රන්වන් හාදූ

ඉටිපන්දම නිවිණි මඳ සුළඟින් වීදූ

කුමරිය ගියා රල පහරක් මෙන් මූදූ

රන් මල ගැන සිතා පුද දුන් නෙත් පඬුරු

ඇය ඒවා ළඟට සිහිනයකින් සොඳුරු

පතමින් මලක් මෙන් රෑ හැකිලෙන කුමරු

උණුසුම් වුණා නිදි දෙව් දුව කර ඇසුරු

කුමරිය සිටි නමුත් වැද ඇගෙ යහන මත

නිදිමත කියන එක අද අසලකද නැත

සුවඳට ඇදෙන වන බමරකු පරිදි සිත

පුදුමයි ඇදෙන හැටි නිදියෙන කුමරු වෙත

සුරතල් රතී නිදියෙන්නට බැරිම තැන

ඉටිපන්දමක් දල්වා එය අතට ගෙන

දිය පහරක් සෙයින් කඳු බෑවුමට යන

ආවා නිදා ගත් කුමරා දකින මෙන

ඔහු ළය උස් පහත් වෙයි රැලි විලස ග‍ඟේ

කුමරා නිදයි පෙරවූ සළු නොමැත ඇඟේ

සළු පොට නැවත පොරවා යන කුමරිය ගේ

හදවත කලබලය මී පෙට්ටියක වගේ

ළය ආලයෙන් උතුරන ඈ යහන වැද

ඒ මේ අතට නොනිදා පෙරළෙමින් ඉඳ

නැවතත් සොයා යයි කුමරා නිදන ඇඳ

අසරණ කුමරියට මොනවා විණිද අද?

මෙවරද කුමරු ඇඟ කිසිවක් නැතිව ඉඳී

යන්තම් සිනාවකි ‍මුව - ඔහු හොඳට නිදී

නුපුරුදු හැඟීමක රහසක් ළයට වැදී

කුමරිය සැලෙයි ඉටිපන්දම එළිය විදී

මල්පහ කුමරුගේ ‍යහනෙහි පසක තිබී

එකිනෙක අතට නටුවෙන් ගෙන කුමරි සිඹී

මල්වල සුවඳ නාසෙන් ගොස් සිතට එබී

එහි කැලඹීම තව දුර කලඹවනු ලැබී

රූ සඳ ගඳයි රස පහසැයි අප දන්නා

පස් කරුණටම ඒ මල් පහ තුඩු දුන්නා

අසරණ කුමරියගෙ හද කැලඹුම පෙන්නා

පුන් පියයුරු මඬල වේගෙන් උඩ පැන්නා

දිගු නිල් වරල ගොතමින් පිට දිගට හෙළා

කුමරිය සෙරක විලසින් ඇඳ ළඟට වෙලා

රසවත් වන ස‍ඳෙහි කුමරුගෙ සිරුර බලා

ඉටිපන්දම අතේ ‍හොඳ හැටි එළිය කළා

ඉවසිලි නැති රතී සොම්නස පහළ කොට

ඇසි පිය නොහෙළමින් ඔහු රුව බලන විට ඉටිපන්දමේ කිරි උණුවී - කුමරිය ට

නොදැනෙන පරිදි වැටුණා ඔහු ළමැද පිට

කුමරා අවදි වී සිදුවුණු පුවත දිටී

තව තව වැටුණි ඉටිපන්දම දැවෙන ඉටී

ඔහු වේදනාවෙන් දැන් සළු ඇතිව සිටී

මෙලෙසයි පැළ දිග මල් සර දැවුණු හැටී


ගහලයා

වැලපෙයි

වතුරේගම විමලඛන්ති හිමි

1960 අගෝස්තු 07

 

නෙළුම් කැකුළක් වගේ පිබිදෙන

සුරත් පැහැයෙන් දෙතොල පොපියන

බිලිඳු පුතු කිසිවක් නොදන්නා‍

මවු තනේ කිරි බිබී උන්නා

ළපටි කෙකටිය කුසුම් පෙති වැනි

සිඟිති අතැඟිලි දිගැර බලමිනි

බිලිඳු පුතු කිසිවක් නොදන්නා

මවු තෙනේ කිරි බිබී උන්නා

කුඩා රන් තැටියකට අරගත්

මසුන් යුවළක් වගේ පැහැපත්

නුවන් පොඩි මවු ළැමෙහි ගන්නා

බිලිඳු පුතු කිරි බිබී උන්නා

රජ අණ ලැබී මොහොතක් නොසිටියෙමි කෙළින්

හලවා කඳුළු දලු ඇගෙ නිල් නුවණ තුළින්

උදුරා බිලිඳු පුතු ඇදගෙන දෙපය මුලින්

මොළකැටි ළපටි හිස මම වෙන් කෙළෙමි ගෙලෙන්

අදෙමින් සිටිය කිරි - බිලිඳුගෙ උගුර වෙත

ලෙය සහ මුසුව ගැලුවා දංගෙඩිය මත

දෙ අතින් වසාගෙන කඳුළැලි පිරුණ වත

අම්මා කෙනෙකු බිම හැපුණා මතක ඇත

කඩුව බිලිඳුගෙ ගෙලෙහි වැදුණා

නෙළුම් අලයක් දෙකට බෙදුණා

වගේ වෙන්වුණ ළපටි හිස කඳ

දමා වනයක කොටන ලෙස එද

මොහොල අම්මා අතට දෙද්දී

ඇයට සිහිසන් නැතිව යද්දී

මමත් පපුවක් ඇතිව උන්නෙමි

මිනිස් නමට ද නිගා දුන්නෙමි

වැඩිමල් පුතා හඬමින් මරණයට බියේ‍

මවගේ තුරුල්ලට ගිය සැටි මතක තියේ

ඔහු ගෙල මුලින් ගන්නට මා පෙරට ගියේ

නැතිවය කිසිම තෙත ගතියක් දරුණු ළයේ

මද්දුම පුතා තම අයියා ළඟම සිටී

පනිමින් ඉදිරියට පෙන්විය මැරෙන සැටී

ඔහුගේ හිසින් කඳ වෙන්වී බිමට වැටී

දැඟලූ අයුරු මට දිවි තෙක් මතක හිටී

පිරිමි දරුවන් තිදෙන එක තැන

හිස් ගසා පරලොවට යවමින

ගැහැනු දරුවන් සමඟ අම්මා‍

ඉදිරියෙහි වූ වැවට දැම්මා

හඬද්දී ගෙල මුලින් අල්වා

‍ඔවුන් මැරුවෙමි වැවෙහි ගිල්වා

අහෝ අදමිටු පවිටු රජ අණ!

අහෝ අදමිටු පවිටු රජ අණ!

පුතුන්ගේ හිස් සිඳින වේලේ

මවක් මොරදී හැඬූ තාලේ

දැනෙයි සිහිවෙයි පෙනෙයි නිතරම

මගේ බැරිකම - මගේ නොදැනුම

කිරි බොන බිලිඳු දරුවෙකු මවු ඇකෙන් ඇ ද

ගෙල සිඳ මරා දැමුවෙමි රජ අණින් ල ද

මෙම රැකියාව තවදුරටත් කරන්න ද

මගෙ හිස මේ කගින් සිඳගෙන මැරෙන්න ද

මුළු රට පුරා වැලපෙන හඬන රාවය

වනසයි මගේ හද තුළ නිසල තාවය

වැඩියෙන් පවිටු රජෙකුට කරන සේවය‍

හිඟමන අගෙයි රැකගනු පිණිස ජීවය

නිවරද මවක් සහ දරු පවුලක් මැරුව

වරදට පැලේවිද ළය ඉවසනු බැරුව

‍ඉන්නට ඉඩ නොදී රජයෙහි වද කරුව

මා යම ලොවට ගෙන යනු හිතවත් මරුව

ටිකකට කලින් කිරි බී සිය ඇකෙහි වැද

බිලිඳා වණක ලා ඔහු හිස කොටන ලෙද

අම්මා කෙනෙකු අණ ලැබ හෙළු කඳුළු කඳ

මගෙ මුළු පවුල යට කරගෙන ගලන වද

බිලිඳුගෙ ලෙයත් ඇගෙ කඳුළුත් එකට ඇනී

ඇය දුන් මොහොල් පහරක් ලැබ උඩට පනී

මට මේ දැකුම දිව රෑ සිහිනෙනුදු පෙනී

ලොමු ද‍ෑ ගනී - සියොළඟ ගිනි ඇවිල ගනී

අදමිටු රජෙකු දුන් අණ ඉටු කළ හෙයිනි

දෙවියනි, මගේ අත තෙත් වී ඇත ලෙයිනි

නිවරද පවුල් වනසා උපයන දෙයිනි

මගෙ දූ පුතුන් නොකරමි - මිය යමි සයිනී


බර

විමලරත්න කුමාරගම

1960 අගෝස්තු 14

 

දොයිසොට එදා යන්තම් අවුරුදු සයකි

ඉපදුණු සෙවණ දුක්බර ගනඳුරු පැලකි

කුරුමිණි පලාගිරවුන් නද රස බණකි

ඇයහට බරක් නොදැනුම මහ ලොකු පිනකි

රියන් හතරයි

රියන් හතරයි

ගෙදර දිග හා

පළල ඇත්තේ

මිදුල රියනයි

කානුවකි කුණු

වතුර දිව යන

ඉදිරි පැත්තේ

දවල් වරුවේ

මවුපියන් ඇයි

පැලේ මිදුලේ

පෙනෙනු නැත්තේ...?

ඔවුන් බර

ඇයට නොදැනේ

තවම නැත බර

කරට ගත්තේ

පළමුවෙන් ඈ

දැරූ බර මේ

එය බරක් යයි

ඇය නොදන්නී

වියළි කොළයෙන්

ඔරු තනා කුණු...

කාණුවේ පා කර හරින්නී

දැනුණ විට බඩගින්න

ළඟ ඇති කඩේ දොරකට

අරක් ගන්නී

දුටුව දා සිට

මටත් කාටත්

මිහිරි මදහස

උතුරවන්නී

ඇය හට බරක් නැත

බරක හැඟුමක් සිත නැත

පැල්පතේ ඉදිරියෙන් දිව යන කානුවේ කුණු වතුර මත්තේ

පාවී මතුවී ඇදෙන කුරුකුහුඹියන් කුරුමිණි ගොඩට ගත්තේ‍

ඇයයි - ඒ පින නිසා ඉඩ ඇත ඇයට ඉන්නට නිවන පැත්තේ

ඇයට ඇති හිත හොඳම හිත බව මාය හොඳ හැටි යටම දත්තේ

ඇයහට බරක් නැත

බරක හැඟුමක් සිත නැත

ඉන්පසු දුටිමි ගමනක් යන විටදී දුර

ඒ ඇගෙ ගෙදර පසු කර යන අතර තුර

ඈ ඉසිලුවා නම් එදවස යමෙක බර

ඒ පැනි දොඩම් ගෙඩි යුවළෙක තිබුණු බර

ඇය හට බරක් නැත‍

බරක හැඟුමක් සිත නැත

මෝරයි ඇගේ ගත

එහෙත් නොදැනේ ඇයට ගත සිත

නොදැනුණ නමුදු රුපියල්වල ඇති එඩිය

දුටුවෙමි ඉබේ මෙන් ඉදිමෙනු ඇගෙ මඩිය

ඇය හට තිබේ පෙර නොතිබුණු අඩු වැඩිය

දොයිසෝ ලස්සනයි ඉස්සරටත් වැඩිය

ඇය හට බරක් නැත

බරක හැඟුමක් වත් නැත

මෝරයි ඇගේ ගත

එහෙත් නොදැනේ ඇයගෙ ගත සිත

අවුරුද්දක් පමණ ඉන්පසුව ගත වුණා

ඈ ගැබ්බරව සතුටින් සුවෙන් පසු වුණා

‘සැමියා කවුද’ යන පැන මගෙන් මතු වුණා

උඩ බිම බලා ඈ මා ළඟදි හිනැ හුණා

කුඩාවුව ඈ ‘සඳුන් ගසෙකැයි මා හැරෙන්නට කවුද දත්තේ

සඳුන් ගස මොන උමතු මිනිහද ගිනි තපින්නට දරට ගත්තේ

මහා බරකින් බරව සිටියෙමි කඳුළු සහිතව කපොල මත්තේ

සිනාසෙයි ඈ සිනාසෙති පළඟැටිහු ඇගෙ පැල ඉදිරි පැත්තේ

ඇය හට බරක් නැත

බරක හැඟුමක්වත් නැත

අවුරුද්දක් පමණ ඉන්පසුව ගත වුණා

අත පය විකල දරුවකු ඇයට බිහි වුණා

දරුවා වඩා විත් මා ළඟම හිනැ හුණා

මගෙ ඇස් ඉබේ ඉතිරි උවන රතු වුණා

ඇය හට බරක් නැත

බරක් දැනුමක්වත් නැත

පෙම්බර තිසර යුවළක් සිහියට ගන්නා

මා ඉදිරියෙ ඈ දරුවට කිරි දුන්නා

ඇගෙ සොම්නස අමොද ඇස් දෙක වෙත ගන්නා

පෙන්වුවාය මට දුක සැප බර දන්නා

ඇය හට බරක් නැත

බරක දැනුමක් වත් නැත

ගැබක් ඇති වූ විටදී මවකට එයත් මහ ලොකු බරක් වේදෝ

මවක් දරුවකු වදන විට මහ වේදනාවක් දුකක් දේදෝ

සිතන විට මේ ගැනම සැකයෙකි අමුතු බර හද නගන්නාදෝ

බරක ඇති බර දන්න කවියෙක් අතරමංවී තැවෙන්නේදෝ


මම ඇගේ සිරකරුවෙක්මි

එච්.ඇම්. කුඩලිගම

1960 අගෝස්තු 28

 

ඕ ගී ගයයි, ඒ ලෝකය උමතු කොට

ගී ගය ගයා රඟදෙයි රිත්මයක සිට

එපමණ මිහිරිතායෙන් මුණ ගැහෙන මට

ගී හෝ රැඟුම් හෝ නැත, මහපොළොව පිට

දෙතොලින් හේලි හුරතල් රස දහර පෙරා

හදවත මගේ බැ‍ඳගෙන ඇත මටම හොරා

ඈ අග රැජන වී එහි මිනි කිරුළු දරා

අණසක පිහිටුවයි අප රජ දහන පුරා

අහසේ පියාඹා ගිය - වැහි ලිහිණි වගේ

සිතුවිලි රෑන අසුවී ඇත දැලට ඇගේ

ඇදගෙන යනු ලබා සුරඟන සිහින දිගේ

බැඳි බැමි පිටම ගතවෙයි, මුළු දවස මගේ

ලොව ඇතිතාක් සුන්දර රස එකට හොවා

හුරතල, ලලිත බව සියුමැලි ගුණය කවා

සීතල දුරුත්තේ හඳ එළියකදී මවා

ඇය ඇත සොබාදම් දෙව් මව මටම එවා

මුලදිම හදාරන්නට ඇය දොඩන බස

ඒ බස් වහර දැන ගන්නට සරල රස

ඇය සතු සිහින ලොවටම ඇය සමඟ බැස

මම වෙහෙසුණෙමි අතපසු කොට සියලු කිස

නෑකම් කිය කියා ඉඳහිට අඬ ගැසුව

හඳ - තරු වලාකුළු කොඳුරන කසු කුසුව

සැඟවී අසා සිට රහසින් එය පසුව

පැහැදිලි කරන්නී ඈ මට රස මුසුව

නිතරම රහස් කෙඳිරිලි වල යෙදෙන්නී

මට වෙන වැඩක් වෙනුවෙන් ඉඩ නොදෙන්නී

කොක් හඬ දිදී වරෙකදී උඩ පනින්නී

තව මොහොතකදී ඉකි බිඳ බිඳ අඬන්නී

කොපමණ ලියන්නට හිතතත් වෙහෙස දරා

කිසිවක් ලියා ගන්නට බැහැ ඇයට හොරා

උදුරාගෙන බලා දෑසෙහි සැකය පෙරා

පැදි වැල් සිය ගණන් ඈත අමු අමුවෙ ඉරා

ඇයගෙ අණසකට අවනත නොවන විට

දිය යුතු බරපතළ දඬුවම විනිස කොට

දෑසෙහි කඩා පෙන්වයි උණු කඳුළු කැට

‍එපමණ දඬුවමක් නැත මුළු ලොවම මට

සුරඟන ලොවේ රස සම්පත් අපරි මිත

හවුලේ විඳින්නට වෙයි ඇය දරන තැත

රඟදෙන කුරුල්ලන් සේ අතු රිකිලි මත

ඇය සහ මාත් ජීවත් විය යුතුව ඇත

සුළඟට - විදිලියට - ගෙරවිල්ලට රෑට

බිය ඇත සැකය ඇත, මා නැති තැන ඈට

ඈ කවි කියයි, දියවැල් ගැන ගුරු පාට

රඟදෙයි මොණර කිකිළිය මෙන් වැහි දාට

ඇයගේ කුරුලු කටහඬ අග පැමිණි රසේ

නොඇසී දවසකුදු ගතකළ හැකිද කෙසේ

මට එය රෙදෙවු ම‍ඟෙකින් මෙන් යෙදුණු හිසේ

කොපමණ ඈතකදි හො පැහැදිලිව ඇසේ

එක දවසකුදු උනුනුන් හමු නොවී මෙන්

වියොවක් වුණොත් රැය තුන් යම ඇවෑ මෙන්

පාළුව, කාන්සිය ඉවසිය නොහී මෙන්

වැටහෙයි, සිත්සතන් ඔත්පළ වුණා මෙන්

මා එන වෙලාවට දවසේ වෙහෙස දැනී

දුරදීම ඉව වැටී ඈ පෙර මඟට පනී

සලිතව, විදාගෙන දහ අක්බමරු තුනී‍

උඩ පැන මිදුල මැදදීම සිප වැලැඳ ගනී

සුන්දර සොබාවික රසයක ඉව ඔස්සේ

ගෙමිදුල හාත්පස හෝපලු වැටි අස්සේ

කණමැදිරියන් - සමනලයන් පසු පස්සේ

දුව පැන නටයි ඈ රැය දහවල තිස්සේ

ළා රතු රෝස කැකුළින් බර ළපටි දඬූ

රිදවූ වග කියා ලේවන් ඇඟිලි තුඩූ

සමහරදාට ඈ කඳුළින් යුතුව ඇඬූ

පැමිණිලි කරයි මා විසඳිය යුතුය නඩූ

ඈ මුකුළුවෙන් දෙ ඇසෙහි රැදි ඉනාවෙන්

සඳරැස් වමාරන්නා වැනි සිනාවෙන්

මා හුරතලකු කරවන වුවමනාවෙන්

දඟලයි බරක් නොඇඟෙන වාසනාවෙන්

උගතුන්, පැහුණු මිනිසුන් කල් ගෙවන ලොවේ

තැන්පත් දිවිය මට අද හිත පිණිස නොවේ

ඇය සතු සිහින ලොව මැද ඒ මිහිරි බවේ

සිර මැදිරියක සුවසේ කල දවස ගෙවේ

මා සතු මිනිස් දිවි කෙත සරු කරනු ලබා

හදවත පුරා සිව් බඹ විහරණය තබා

යටැසින් බල බලා ළය මැද මුහුණ ඔබා

ඈ මා වෙළාගන්නී කිසිවකට නොබා

ඒ සුවදායි පරිසරයෙහි ඇය දුන්න

නොදැනෙයි දිය පවස - නොදැනෙයි කුස ගින්න

ඇය හැමදාම දෙන අවවාදය මෙන්න

‘ඇයියෝ! තාත්ති! අද ගෙදෙයිම ඉන්න!

අදහස්