මාධ්‍ය හමුව දිගුවීමෙන් දිවි බේරාගත් බෙංගාලී කොටි | සිළුමිණ

මාධ්‍ය හමුව දිගුවීමෙන් දිවි බේරාගත් බෙංගාලී කොටි

නවසීලන්තයේ ක්‍රයිස්ට්වර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා නවසීලන්තය ලෝකයේ අවධානයට පාත්‍රවිය. ඒ හේතු දෙකක් නිසාම මෙකී ප්‍රහාර හමුවේ නවසීලන්ත අගමැතිවරිය ක්‍රියා කළ ආකාරය දේශපාලනික නායකත්වය සහ එරට ජනතාවගේ චින්තනය පිළිබඳ ලෝකයම අදටත් කතා කරති.

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය සමඟ ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරගවලට සහභාගී වුයේය. මෙම සංචාරය 2019 පෙබරවාරි මස 10 සිට මාර්තු 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි. එක්දින තරගමාලාව නවසීලන්තය ජය ගත්තේ 3-0 කිනි. තරග 03කින් සමන්විත ටෙස්ට් තරගමාලාවත් කිච්දේශය 2-0 ක් ලෙස ජය ගෙන සිටියේය. දෙරට අතර තෙවන සහ අවසන් ටෙස්ට් තරගය මාර්තු 16 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදීය.

නවසීලන්තය බිහි වී තිබෙන්නේ ප්‍රධාන දූපත් දෙකකින් සහ පරිවාර දූපත් 600කින් පමණ සමන්විතවයි. උතුරු සහ දකුණු දූපත් ලෙසට මෙම ප්‍රධාන දූපත් ද්විත්වය හැඳින්වෙයි.

ක්‍රයිස්ට්චර්ච් යනු දකුණු දූප‍තේ විශාලතම නගරයයි. එය කැන්ටබරී කලාපයේ නගරයකි. එහි පදිංචිකරුවන් 404, 500 ක් පමණ සිටිති. ඒ අනුව නවසීලන්තයේ තෙවන ජනාකීර්ණතම නගරය ලෙසටත් ක්‍රයිස්ට්චර්ච් සැළකෙයි. එහි මුල් ස්ථානය උතුරු දුපතේ ඕක්ලන්ඩ් නුවරට හිමිය. 2018 වසර වන විට එහි ජනගහනය 1,628,900කි. දෙවන ස්ථානය 418,500 ක් සිටින වෙලිංග්ටන් නගරයටයි. උතුරු දූපතේ පිහිටි වෙලිංග්ටන් නවසීලන්තයේ අගනුවරත් වේ.

දිනය මාර්තු 15 වැනිදාය. බංග්ලාදේශය සහ නවසීලන්තය අතර තෙවන ටෙස්ට් තරගය ඇරඹීමට පෙර දිනයයි. හැග්ලි ඕවල් ක්‍රීඩාංගණය පිහිටියේ හැග්ලි උද්‍යානයේය. හැග්ලි උද්‍යානය (හැග්ලි පාර්ක්) ක්‍රයිස්ට්චර්ච් නුවර පිහිටි විශාලතම නාගරික විවෘත අවකාශය ලෙසටත් සැළකෙයි. එහි ප්‍රමාණය හෙක්ටයාර 164.637 කි. මෙම උද්‍යානය 1855 – 56 අතර කාලයේදී නිර්මාණය කර ඇත.

හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී ප්‍රථම වරට අන්තර්ජාතිකව තරග පැවැත්වෙන්නේ 2014 වසරේ සිටයි. ටෙස්ට් සහ එක්දින තරග එම වසරේ සිට පැවැත්වෙයි.

නවසීලන්ත නූතන ඉතිහාසයේ ඉතා කණගාටුදායක දිනය බවට මාර්තු 15 සහ ස්ථානය බවට ක්‍රයිස්ට්චර්ච් පත්වනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැත. එහෙත් එය එසේම විය. ඒ සඳහා 28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික සුදු අන්තවාදියකු වග බලා ගත්තේය.

ක්‍රයිස්ට්චර්ච් නුවර පිහිටි මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වූ මෙම සුදු ජාතික අන්තවාදි ත්‍රස්ත ප්‍රහාරයෙන් 50 ක් පමණ මිය ගියහ. මෙම පිරිස සිකුරාදා යාච්ඤාවන්ට සහභාගි වෙමින් සිටියහ.

මින් ප්‍රධානතම ප්‍රහාරය එල්ල වූයේ අල් නූර් පල්ලි‍යටයි. එය 1977 වසරේදී ආරම්භ කර ඇත. අනෙක් ප්‍රහාරය එල්ල වූයේ ලින්වුඩ් ඉස්ලාමීය මධ්‍යස්ථානයටයි. අල් නූර් පල්ලියට ප්‍රහාරය එල්ල වූයේ පස්වරු 1.40 ට පමණය. ලින්වුඩ් ප්‍රහාරය පස්වරු 1.55ටය. අල් නූර් ප්‍රහාරය වෙතට වැඩි අවධානයක් යොමු වීමට ප්‍රධාන හේතු දෙකක් බලපෑවේය. ඒ මෙම ප්‍රහාරවලින් වැඩිම පිරිසක් මිය යාමයි. අනෙක බංග්ලාදේශ ජාතික කණ්ඩායම අනුනවයෙන් ජීවිත බේරා ගැනීමයි.

එදින සැළසුම් කළ පරිදි ගත වුයේ නම් ප්‍රහාරය එල්ල වන විට බංග්ලාදේශ ක්‍රීඩකයන් අල් නූර් පල්ලිය ඇතුළත සිටිය යුතුව තිබිණි. එසේ වුයේ නම් අනිවාර්යයෙන්ම ඔවුන‍්ගේ කිහිප දෙනෙකුටවත් ජීවිත අහිමි වනු ඇත.

මෙම ප්‍රහාර සිදුවන විට බංග්ලාදේශ කණ්ඩායම ඔවුන් ගමන් ගත් බස් රථයට වී සිටියහ. ඔවුනට වෙඩි හඬක් ඇසුණාහ. නමුත් ඔවුන් වෙඩික්කරුවා දුටුවේ නැත. ඒ ඔවුන් රථය තුළ බිම දිගා වී සිටි බැවිනි.

සමහර විට වෙඩික්කරු මෙම බස් රථය දකින්නටත් ඇත. එහෙත් එහි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෝ සිටින බවට ඔහුට අවබෝධයක් තිබෙන්නට නැත. එසේ වූයේ නම් හෙතෙම සිය ත්‍රස්ත ප්‍රහාරය මෙම රථයටත් යොමු කරනු නියතය.

“අල්ලා දෙවියන් අද අපිව බේරා ගත්තා. ඒ ක්‍රයිස්ට්චර්ච් නුවර පල්ලියට එල්ල වූ වෙඩි ප්‍රහාරයේදී අපි ඉතා වාසනාවන්තයි. මෙවැනි දෙයක් නැවතත් කිසිම විටකදී දකින්න අවශ්‍ය නැහැ. අපි වෙනුවෙන් යාච්ඤා කරන්න” මෙසේ පැවසුවේ හිටපු නායකයකු සහ වත්මන් ප්‍රබලතම ක්‍රීඩකයකු වන මුෂ්ෆිකර් රහිම් (උපත 1987 ජුනි 09 ) විසිනි.

සත්‍ය වශයෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ දිවි බේරුණේ නායක මහ්මුදුල්ලාගේ මාධ්‍ය හමුව නිසාවෙනි. සාමාන්‍යයෙන් ඕනෑම අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් ඇරඹීමට පෙර දිනයේ නායකයන් සහභාගි වන ම‍ාධ්‍ය හමුවක් පැවැත්වේ.

එදින එනම් මාර්තු මස 15 වැනිදාත් එවැනි මාධ්‍ය හමුවක් පැවැත්විණි. බංග්ලාදේශ කණ්ඩායමේ එදින සැළසුම වූයේ හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවට සහභාගි වීමෙන් අනතුරුව අල් නූර් පල්ලියේ දී සිකුරාදා යාච්ඤාවන් සිදු කිරීමයි. පසුව පුහුණු කටයුතු සඳහා හැග්ලි ඕවල් ක්‍රීඩාංගණ‍යට යළි යාමයි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම හැග්ලි ඕවල් ක්‍රීඩාංගණය වෙතට පැමිණියේ පස්වරු 1 පමණ වන විටය. එවිට වැසිබර ගතියකුත් තිබිණි. ඔවුනගේ පුහුණුවීම් සඳහා ලින්කන් විශ්ව විද්‍යාලයේ ගෘහස්ථ පහසුකම් භාවිතා කිරීමටත් සැළසුමක් තිබුණි. එහෙත් දුර ප්‍රමාණය සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් එම තීරණය වෙනස් කර ගත්හ. ලින්කන් නුවර ක්‍රයිස්ට්චර්ච් සිට කිලෝමීටර 15ක දුරකින් පිහිටා තිබීම ඊට බලපෑවේය.

පස්වරු 1.27 වන විට නායක මහ්මුදුල්ලා (උපත 1986 පෙබරවාරි 04) සිය මාධ්‍ය හමුව අවසන් කළේය. එය කෙටි වේලාවකට සැළසුම් කර තිබුණේය. එහෙත් එය විනාඩි 09 ක් දක්වා දීර්ඝ විය. එසේ වැඩි වේලාවක් ගතවීම නිසාම බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබිණි.

විදෙස් පුහුණුකරුවන් සහ බංග්ලාදේශ ක්‍රීඩකයන් දෙදෙනෙක් හැරුණු විට 17 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් කණ්ඩායම් බස් රථයට ගොඩ වුහ. එවිට වේලාව පස්වරු 1.35 ට පමණ ඇත. ඔවුන් ගමන් කරමින් සිටියේ අල් නූර් පල්ලිය වෙතටයි.

බංග්ලාදේශ කණ්ඩායමේ කළමනාකරු වූයේ කාලිඩ් මෂුඩ්ය. “ලෝකේ කිසිම තැනක කිසිම විටක මේ වගේ අනතුරක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ වගේම සිදුවිය යුතු නැහැ. හෝටලයේ නතරවෙලා හිටියේ ක්‍රීඩකයන් දෙදෙනෙක් විතරයි. ඒ ලිටන් දාස් (උපත 1994 ඔක්තෝබර් 13) සහ නායීම් හසන් (උපත 2000 දෙසැම්බර් 02) යන ක්‍රීඩකයන්” මෂුඩ් පවසයි. මෂුඩ් (උපත 1976 පෙබරවාරි 08) හිටපු බංග්ලාදේශ නායකයෙක් වගේම කඩුලු රකින්නෙකි. හෙතෙම 1995 සිට 2007 දක්වා අන්තර්ජාතිකව ක්‍රීඩා කළේය.

මෂුඩ් මෙම බිහිසුණු අත්දැකීම තවදුරටත් මෙසේ හෙළි ක‍ෙළ්ය. “අපි පල්ලිය ඉතා ආසන්නයටම ගොස් සිටියා. අපේ බස් රථයත් පල්ලියත් අතර දුර ප්‍රමාණය යාර 50 ක් විතර තියෙන්න ඇති. බස් රථයට පල්ලිය පෙනෙනවා. ඇත්තටම අපි ඉතාම වාසනාවන්ත වුණා. ඊ‍ට විනාඩි 03ක් හෝ 04ක් විතර කලින් ආවානම් සමහර විට අපි පල්ලිය තුළ සිටින්න ඉඩ තිබුණා. මෙම වෙඩි ‍හුවමාරුවට අපි අහුවුණේ නැති එක‍ට ඉතාම ස්තූතිවන්ත වෙනවා. ඒ වුණත් අපි දැකපු දේ හරියට චිත්‍රපටියක දර්ශනයක් වගේ. පල්ලියේ ඇතුළේ සිට එළියට එන ලේ තැවරුණු මිනිසුන් අපි දැක්කා.”

බංග්ලාදේශ කණ්ඩායමේ ඉහළ කාර්ය සාධන විශ්ලේෂක ශ්‍රිනිවාස් චන්ද්‍රසේකරන් ද මෙම බියකරු දසුන දුටුවේය. හෙතෙම ඉන්දියානුවෙකි. “වෙඩි තබන්නන්ගෙන් යන්තමින් බේරුණා. හැම තැනම භීතියක් ඇතිවෙලා.”

බංග්ලාදේශ කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවකු වන ශ්‍රී ලංකාවේ මාරියෝ විල්ලවරායන් පසුව නවසීලන්ත මාධ්‍ය වෙත සිදුවීම ගැන මෙසේ අදහස් දැක්වුයේය. “ක්‍රීඩකයන් වෙඩික්කරුව දැක්කේ නැහැ. ඒ වුණත් වෙඩි හඬ ඇසුණා. ඔවුන් (ක්‍රීඩකයින්) තුවාල ලැබුවේ නැති වුණත් සලිත වෙලා සිටින්නේ.” මාරියෝ (උපත 1973 අගෝස්තු 22) හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

මෙම දිනවලම ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායමත් නවසීලන්ත සංචාරයක නිරත වෙමින් සිටියහ. ඔවුන් නැවතී සිටියේත් බංග්ලාදේශ කණ්ඩායම සිටිය හෝටලයේම ය. කෙසේ වෙතත් ඔවුනට මෙම සිදුවීමෙන් ගැටළුවක් මතු වුයේ නැත.

ප්‍රහාරය සිදු වී කෙටි කාලයක් තුළදීම තමන් ආරක්ෂිත බව ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලොවට දැන්වුයේ ට්විටර් පණිවිඩයක් මගින්ය. “වෙඩික්කරුවන්ගෙන් මුළු කණ්ඩායමම බේරුණා. හරිම භයානක අත්දැකීමක්. කරුණාකර අප වෙනුවෙන් යාච්ඤා කරන්න.”

සුප්‍රකට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියේ බංග්ලාදේශ මාධ්‍යවේදි මොහමඩ් ඉෂාම් මෙම තරග සංචාරය ආවරණය කිරීමට නවසීලන්තයට ගොස් සිටියේය. ඔහුත් ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රහාරය ගැන දැනුවත් කළේය. “හැග්ලි පාර්ක් අසල පිහිටි පල්ලියේදී සිදු වූ වෙඩි තැබීමෙන් බංග්ලාදේශ කණ්ඩායම බේරුණා. ඔවුන් (ක්‍රීඩකයන්) හැග්ලි පාර්ක් හරහා දුවමින් ආපසු ඕවල් ක්‍රීඩාංගණයට ගියා.”

ඉෂාම් නවසීලන්ත හෙරල්ඩ් පුවත්පතට තවදුරටත් පසුව සිදුවීම පිළිබඳ මෙසේ අදහස් දැක්වුයේය. “සිකුරාදා යාච්ඤා කිරීමට කණ්ඩායම පල්ලිය අසලට පැමිණියා විතරයි ඔවුනට වෙඩිහඬවල් ඇසුණා. ඒ වන විට ඔවුන් පල්ලියට යාම සඳහා බස් රථයෙන් පිටතට පැමිණීමට සූදානමින් හිටියේ. වෙඩිහඬවල් සමගම මිනිසුන් පල්ලියෙන් පිටතට දුවගෙන පැමිණියා. ඒ වගේම තුවාල ලැබූ අයත් මෙම ක්‍රීඩකයන් දුටුවා.”

ඉෂාම් පසුව අදාළ සිදුවීම ගැන දීර්ඝ වශයෙන් ක්‍රික්ඉන්ෆෝ තුළින් අනාවරණය කළේය. “මගේ දවස එදා (මාර්තු 15) ඇරඹුණේ එක් පුවතක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින්. ඒ තමයි කණ්ඩාය‍ම් දෙකේම සිටිය ආබාධයන්ට ලක් වූ ක්‍රීඩකයන් සිවුදෙනෙක්ගේ නවතම සෞඛ්‍යය මට්ටම ගැන දැන ගැනීමටයි. ඒ වන විට නවසීලන්ත නායක කේන් විලියම්සන් (උපත 1990 අගෝස්තු 08), බි.ජේ. වොට්ලිංග් (උපත 1985 ජුලි 09 ), තමිම් ඉක්බාල් (උපත 1989 මාර්තු 20) සහ මුෂ්ෆිකර් රහිම් ආබාධවලට ලක් වී සිටියා. එහෙත් ඊට පැය 08 කට පසුව මට මිතුරෙකුගේ නිවසට වී නවසීලන්ත ඉතිහාසයේ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සිතීමට සිදුවුවා.”

බංග්ලාදේශ නායකයාගේ මාධ්‍ය හමුව නිමා වීමෙන් අනතුරුව ක්‍රීඩකයන් රැගත් බස් රථය අල් නූර් පල්ලිය වෙතට ගමන් කරමින් සිටියේය. සුළු කාලයක් ගත විය. ඉෂාම් හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයෙන් පිටතට යමින් සිටියේය. එක්වරම ඔහුගේ ජංගම දුරකථනය නාද විය. “මට කතා කළේ තමිම් ඉක්බාල් ඔහු මගෙන් උදව් ඉල්ලුවා. මෙහි වෙඩි තියනවා. අනේ කරුණාකරලා අපිව බේරා ගන්න කිව්වා. මම මුලින්ම හිතුවේ ඔහු විහිළුවක් කරනවා කියලයි. ඒ වුණත් ඔහු දුරකථනය විසන්ධි කරලා නැවතත් මට කතා කළා. ඒ ගමන ඔහුගේ කටහඬ බිඳෙන්න වගේ පටන් ගත්තා. ඔවුන් ඇතුළු වීමට සිටිය පල්ලියේ ඇතුළේ වෙඩි තියනවා. මට පොලිසියට දැනුම් දෙන්න කියලා ඔහු කිව්වා.”

එහිදී ඉෂාම් මුලින්ම සිතුවේ පල්ලිය කරා යාමටයි. පසුව ඒ තීරණය වෙනස් කර හෙතෙම ප්‍රධාන මාර්ගය වෙතට දිවීමට පටන් ගත්තේය. එවිටම පිටතට මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය කාන්තාවක් ඉෂාම් දුටුවේය.

“ඇය මගෙන් ඇහුවා උදව්වක් ඕනෑ ද කියලා. තමිම් මට කිව්ව දේවල් මම ඇයට පැවසුවා. ඇය මට කාරයට නගින්න කිව්වා.” එම අවස්ථාවේදී ඉෂාම් සමඟ තවත් බංග්ලාදේශ මාධ්‍යවේදින් දෙපළක් වන මෂාර් යුඩින් සහ උට්පාල් ෂුව්රෝද එම රථයට ගොඩ වුහ. “පස්වරු 1.56 වන විට මම පල්ලිය කරා ළඟා වුණා. එවිට බංග්ලාදේශ කණ්ඩායම් බස් රථය දැක්කා. ඒකෙ වටේ පොලිස් රථ කිහිපයකුත් තිබුණා. ඒ වගේම ගිලන් රථ, තුවාල ලබා සිටිය අය වගේම මැරුණ අයත් මම දුටුවා.” ඉෂාම් වැඩිදුරටත් පවසයි.

ඉෂාම් පසුව බස් රථය වෙතට ගියේය. ඒ සමගම ක්‍රීඩකයන් බස් රථයෙන් පිටතට පැමිණ දුවන ආකාරයත් හෙතෙම දුටුවේය. “රථය ළඟට යන විට නවක ක්‍රීඩක ඊබාඩොට් හොසෙයින් (උපත 1994 ජනවාරි 07) මාව අතින් ඇල්ලුවා. ඒ සමඟම ඔවුන් සමඟ දුවන්න කිව්වා. ඒ වන විටත් මට කිසිම අදහසක් තිබුණේ නැහැ ඇත්තටම වුණේ මොකක්ද කියලා. කණ්ඩායම මේ ප්‍රහාරයේ ඉලක්කය වුවාද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ.”

මෙම පිරිස හැග්ලි උද්‍යානයට ගියහ. එතැන් සිට හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයට ඇවිද යාමට නම් සාමාන්‍යයෙන් විනාඩි 15ක පමණ කාලයක් ගත වේ. එහෙත් මේ අවස්ථාවේදී උද්‍යානයට ඇතුළු වූ ක්‍රීඩක පිරිස දිවීමට පටන් ගත්හ. “ඔවුන් එකිනෙකා විසිරෙමින් තමයි ගියේ. ඔවුන් දැකපු දේ ගැන එනම් රුධිරය එමෙන්ම මළ සිරුර ගැන කථා කළා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් මාව අල්ලාගෙන හැඬුවා.” ඉෂාම් වැඩි දුරටත් පැවසුවේය.

පස්වරු 2.08 වන විට සියලුම දෙනා හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයට ළඟා වුහ. පසුව ඔවුන් ක්‍රීඩාගාරයේ ගත කළහ. අනතුරුව ඔවුන්ව හැඩ්ලි මණ්ඩපය වෙතට රැගෙන ගියහ. එහි ඒ වන විටත් ක්‍රීඩාංගණ සහ නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ කාර්ය මණ්ඩල රැඳී සිටියහ.

තවත් පැය භාගයක පමණ කාලයක් ගත වුයේය. දෙරටේ ක්‍රිකට් බලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව නැවතත් කණ්ඩායම ඔවුන් නැවතී සිටිය හෝටලය කරා රැගෙන යාමට තීරණය කළේය. සවස තෙවන ටෙස්ට් තරගය අවලංගු කරමින් බංග්ලාදේශ කණ්ඩායම ආපසු සිය රට බලා කැඳවීමට අවසන් තීරණය ගනු ලැබීය. ඒ සඳහා නවසීලන්ත ක්‍රිකට් ආයතනය, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි. සී.සී.) සාකච්ඡා ක‍ෙළ්ය.

“ඔබේ ගෙදර තමයි සිටිය හැකි ආරක්ෂිතම ස්ථානය. ඉතාම සතුටුයි මගේ පවුලත් සමඟ ගෙදර සිටීමට ලැබීම ගැන.” සුනිල් ජෝශි එසේ පවසයි. හෙතෙම ‍එසේ පැවසුවේ බැංගලුරු හෙවත් බැංගලෝරයට පැමිණීමෙන් අනතුරුවය.

සුනිල් බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරුවාය. හෙතෙම (උපත 1970 ජුනි 06 ) ඉන්දියාව වෙනුවෙන් 1996 – 2001 දක්වා අන්තර්ජාතිකව ක්‍රීඩා කළේය.

“මේ ප්‍රහාරයේ අත්දැකීමෙන් මිදෙන්න ක්‍රීඩකයන්ට කාලයක් ගත වේවි.”සුනිල් පවසයි. ‍ෙම් ප්‍රහාරය වන විට සුනිල් ක්‍රීඩක බස් රථයේ සිටියේ නැත. “ඒ ඉරණම්කාර දවසේ ක්‍රීඩාංගණයේදීම දිවා ආහාරය ගැනීමට අපි කල්පනා කළා. ඊට පසුව පුහුණුවීම් කරන්න තීරණය කළා. ඒ වුනත් කිසියම් හේතුවක් නිසා මම පිටියට ගියේ නැහැ. මාත් සමඟ ලිටන් දාස්, නයිම් හසන් වැනි ක්‍රීඩකයනුත් පන්දු රැකීමේ පුහුණුකරු දකුණු අප්‍රිකාවේ රයන් කුක් සහ මාරියෝ විල්ලවරායනුත් හෝටලයේම රැඳී සිටියා.”

එක් වරම කළමණාකරු කාලිඩ් මෂුඩ්ගෙන් සුනිල්ට ඇමතුමක් ලැබුණි “ඔහු මට කිව්වේ වෙඩි තැබීමක් සිද්ධ වුණා. ඒ නිසා මට සීරුවෙන් සිටින්න කියලා. එමෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයේ සහ සෙසු ක්‍රීඩකයන්ටත් බංග්ලාදේශ කණ්ඩායම නැවත පැමිණෙන තුරු හෝටලයෙන් පිටතට නොයන ලෙසට කළමනාකරු මට දැනුම් දුන්නා.”

අනතුරුව සිදු වූ දේවල් ගැන සුනිල් මෙසේ පවසයි. “අපි කලබල වුණා. අපි හිටපු හෝටලයේ සිට විනාඩි 10 ක් විතර කාලයකින් හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයට වාහනයකින් යාමට පුළුවන්. ඒ වගේම පාර්ක් එක හරහා ඇවිද ගෙන ගොස් පාර පැනලා ගියාම පල්ලිය තියෙනවා. බංග්ලාදේශ කණ්ඩායම් බස් රථය නවතා තිබුණු ස්ථානයේ සිට දකුණත පැත්තේ තමයි පල්ලිය තිබුණේ. පසුව ක්‍රීඩකයන් අපිට කිව්වා ඔවුන්ගේ ඇස් පනාපිටම මේ සිදුවීම වුවා කියලා. රුධිරය ගලමින්ම කාන්තාවන් පල්ලියෙන් එළියට ඇවිත් තිබෙනවා. ඒ වගේම ඔවුන් ක්‍රීඩකයන්ට වෙඩික්කරු පල්ලියේ ඇතුළත වෙඩි ති‍යනවා ඉදිරියට නොයන්න කිව්වලු.”

පසුව බංග්ලාදේශ කණ්ඩායම නැවතත් හෝටලයට පැමිණියේය. “ඒ වුණත් ඔවුන් දැඩි බියට පත්වෙලා හිටියේ. එය කෙතරම් ද යත් ඔවුන්ගේ කාමරවලට යාමටවත් සූදානම් වුනේ නැහැ. මුළු රාත්‍රිය පුරාවට ම ඔවුන් ගල්ගැසිලා වාගේ හිටියේ. ඔවුන්ව සනසන්න අපි උත්සාහ කළා. ඒ වුණත් එය හරි ගියේ නැහැ.” සුනිල් වැඩිදුරටත් පැවසුවේය.

නවසීලන්ත අගමැතිනිය වන ජාෂින්ඩා ආර්ඩෙන් (උපත 1980 ජුලි 26) එදින එනම් මාර්තු 15 හැඳින්වුයේ එ‍රටේ නූතන ඉතිහාසයේ අඳුරුතම දිනය ලෙසටයි. කිසියම් හෙයකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් එදින ගොදුරක් බවට පත්වූයේ නම් එය ක්‍රීඩා ලොවටත් දැඩි අඳුරක් එක් කරනු නියතය.

අදහස්