එජාපයට ජනපතිවරණයක් ගැන කතා කරන්නවත් අයිතියක් නෑ! | සිළුමිණ

එජාපයට ජනපතිවරණයක් ගැන කතා කරන්නවත් අයිතියක් නෑ!

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වන පාටක් නැහැ වගේ. ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ පියවර කුමක්ද?

අප තාමත් උත්සාහය අත්හැර නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් තමයි 20 වන සංශෝධනය හා බැඳී පවතින්නේ. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටියා. 2015 ජනාධිපති ධුරය හිමි කරගනිද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි පොරොන්දුවක් දුන්නා විධායක ක්‍රමය අහෝසි කරන බවට. එය ඉටු නොවන විට අප අපේ පැත්තෙන් ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.

20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් දේශපාලන පක්ෂ - විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ දෙක - ඒ සම්බන්ධව කිසිම උනන්දුවක් නැහැ වගේ...‍

මේ වන විට 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ. එය සම්මත කරගැන්මට අප මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම අප දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් සමඟත් සාකච්ඡා කළා. ඉදිරි සතිවල එජාපය සමඟත් මුස්ලිම් දේශපාලන පක්ෂ හා මනෝ ගනේශන් මහතාගේ පක්ෂය හා කඳුරට පක්ෂ සමඟත් සාකච්ඡා කරන්න කටයුතු කර තිබෙනවා. දැනට අප ගත් ක්‍රියාමාර්ග ඉතා සාර්ථක මට්ටමේ තිබෙන බව කියන්න ඕනෑ.

ඔබ පක්ෂය විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න සිදු කළ ඉල්ලීම්වලට ඒ පක්ෂ ඍජුවම කැමැති වූ බවක්ද ඔබ පවසන්නේ?

අප ඉල්ලීමක් කළා 20 වන සංශෝධනය සම්මත කරගන්න බාධා නොකර, මේ කටයුත්ත කරගෙන යන්න දෙන්න කියලා. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්තිමය වශයෙන් ඒ සඳහා එකඟ වන බව පැවසුවා. අනෙක් පක්ෂවලින් සාර්ථක පිළිතුරු ලැබී තිබෙනවා.

ප්‍රතිපත්තිමය වශයෙන් කැමැති වීම එකක්, සහාය දීම තව එකක් නෙ?

ඔහු පැවසුවා යම් යම් සංශෝධන සිදු කළ යුතු බව. අප ඒ සඳහා එකඟයි. අප කියන දේ එලෙසම ක්‍රියාත්මක කළ යුතුයි යන මතයේ අප කිසිසේත්ම නැහැ.

2005 වසරේ මහින්ද චින්තනය මඟින් ඔහු ඉදිරිපත් කළා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට. කොහොමත් මේ කාර්යය පාර්ලිමේන්තුවේ 225ට බාර නොදී ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. ඒ කාර්යය ජනතාවට බාර දිය යුතු වෙනවා. ජනතාවයි තීරණය කළ යුත්තේ විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන වග. විධායක ජනාධිපති ධුරය ගෙනාවේ ජනතාවට හොරෙන්. අඩුම ගානේ එය අහෝසි කිරීම හෝ ජනතාවගේ මතය අනුව විය යුතුයි.

ඒත් පසුගිය දිනක එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර තිබුණා මේ වසරේ පවත්වන්නේ ජනාධිපතිවරණය පමණක් බව...

එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත් වුණේ 2015 වසරේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දුන් පොරොන්දුව මතයි. එහෙම තත්ත්වයක යළි ජනාධිපතිවරණයක් ගැන කතා කරන්නවත් ඔවුන්ට අයිති නැහැ. අද එජාපයේ මැති-ඇමැතිවරුන්ටත් ඒ බව අමතක වෙලා වගේ. අඩුම ගානේ ඔවුන් ඉදිරි මාස 8 තුළ හෝ කල්පනා කළ යුත්තේ මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන මිස ජනාධිපතිවරණයක් පවත්වන ආකාරය ගැන නොවේ.

මැතිවරණ වර්ෂයක් ලෙස හැඳින්වූ මේ වසරේ බොහෝ තැන්වල වර්ජන; හැමදාම උද්ඝෝෂණ. මේ පිටුපස ජවිපෙ ඉන්නා බවටයි චෝදනා නැ‍ඟෙන්නේ...

වර්ජන, උද්ඝෝෂණ ඕපපාතිකව පහළ වන්නේ නැහැ. වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නවලට පාලකයන් විසඳුම් නොදෙන විට මේ වගේ උද්ඝෝෂණ, වර්ජන ඇති වීම සාමාන්‍ය දෙයක්. අනෙක් කරුණ ඒවා එක්වරම පවත්වන්නේ නැහැ. ඔවුන් ඒ බව අංශ ප්‍රධානීන්ට, ආයතන ප්‍රධානීන්ට, අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ඇමැතිවරුන්ට දැනුම් දී මාස ගණනාවකට පසුවයි උද්ඝෝෂණවලට යන්නේ. මාධ්‍ය මඟින් පෙනෙන්නේ අවසානයේ සිදු වන උද්ඝෝෂණය හෝ වර්ජනය පමණයි. තවමත් රාජ්‍ය සේවකයන්ගේ නොවිසඳුණු ගැටලු රාශියක් තිබෙනවා.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධව ජනාධිපතිවරයා දැඩි උත්සාහයක යෙදෙනවා. ඒත් ඇතැම් ‍දේශපාලකයන් ඒ කාර්යය පවා සමච්චලයට ලක් කරනු ලබන බව පේනවා.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමට ජනාධිපතිවරයා දරන උත්සාහය අවංක එකක් නම්, අපත් එය අගය කරනවා. දැනටමත් ඔහු ගෙන්වාගැනීමට පමා වූවා වැඩියි. එවැනි අය ගෙන්වාගැනීමට අන්තර්ජාතික ක්‍රමවේදයන් තිබෙනවා. ඔහු ගෙන්වාගෙන බැඳුම්කර මගඩිය විසඳාලීමට නොහැකි වුව හොත් අගමැතිවරයා පමණක් නොව, ජනාධිපතිවරයාත් ඊට වගකිව යුතුයි.

අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනක පවසා තිබුණා කෙනකු දේශපාලනයට පත් කිරීම කියන්නේ හොරකම් කරන්න දෙන ලයිසන්-එකක් කියලා, ඒ හොරකමේ ලයිසන්-එක ඔබ පක්ෂයේ අයටත් ලැබිලා නේද?

අද රටේ සුළිසුළඟක් අවොත් ජනතාව කියන්නේ ඒක දියවන්නාව පැත්තටත් යන්න කියලා; අකුණු ගහන තත්ත්වයක් අවොත් කියන්නේ ඒවා දියවන්නාවටත් ගහන්න කියලා; නවසීලන්තෙ වගේ ත්‍රස්තවාදියෙක් ඇවිත් දිගට හරහට වෙඩි තිබ්බොත් කියන්නේ අනේ දියවන්නාවටත් කවුරු-හරි ඇවිත් එහෙම වෙඩි තියනවා නම් කියලා! ඇයි ජනතාව එහෙම කියන්නේ? ජනතාවගේ බදුමුදලින් නඩත්තු වෙවී කරන හොරකම් ජනතාව දන්න නිසයි. ජනතාවට කිසිම සහනයක් නොදී තමන්ගේ පරම්පරාවටම හරි-හම්බ කරගන්නා දූෂිත දේශපාලනයට පිවිසීම හොරකම් කරන්න ගන්න ලයිසන්-එකක් තමයි.

මා අහන්නේ ඒ හොර ලයිසන්-එක ඔබ පක්ෂයටත් තියෙනවා නේද කියලා?

එහෙම ජනතා මුදල් ගසා කන අය හඳුන්වන්න වෙනත් නමක් තිබුණා නම් අපට 'දේශපාලනඥයන්' නොකියා ඒ නමින් හඳුන්වන්න තිබුණා. ඒත් කුමන චෝදනාව ජනතා විමුක්ති පෙරමුණට නැඟුවත් කිසි දිනක හොරකම් කළ බවට චෝදනාවක් නඟන්න බැහැ. ඒක මේ රටේ ඉන්න හැම දේශපාලනඥයෙක්ම දන්න දෙයක්.

Comments