සාධාරණ මිල ක්‍රමයක් හඳුන්වා දෙන්න | සිළුමිණ

සාධාරණ මිල ක්‍රමයක් හඳුන්වා දෙන්න

පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වාහන සඳහා වැඩි කර ඇති රේගු බදු හේතුවෙන් වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා පැවසීය. වාහන ආනයන කර්මාන්තයට අහිතකර බලපෑමක් නොවන අයුරින් වඩාත් සාධාරණ මිල ක්‍රමයක් හඳුන්වා දෙන ලෙසද සභාපති රංජන් පීරිස් මහතා අප රජයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) 2019 අයවැය මගින් වාහන මත පනවා ඇති බදු මගින් වාහන ආනයන කර්මාන්තයට සිදුවන බලපෑම පිළිබඳ පැහැදිලි කිරීම සඳහා පැවැති මාධ්‍ය සාකච්ඡාවේද මෙම කරුණු පැවසීය.

නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී බදු වැඩි කිරීම හේතුවෙන් ජනප්‍රිය සන්නාම ගණනාවක මිල ගණන් ඉහළ ගොස් ඇත.

රජය විසින් වාහන මත පනවා ඇති නව බදු පිළිබඳ අපගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. මේ හේතුවෙන් වාහන මිලෙහි කැපීපෙනෙන වෙනසක් සිදුවනවා. මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යන විට සාමාන්‍ය පාරිභෝගිකයන් වාහන මිලදී ගැනීමට පසුබට වන අතර ඒ හරහා වාහන ආනයන කර්මාන්තය තුළ කඩාවැටීමක් සිදුවිය හැකියි. නිෂ්පාදන මිලට පිරිවැය, ප්‍රවාහන සහ නාවික අගය මත බදු පැනවීමක් මෙම අයවැය මගින් සිදුකර ඇති බවය. එබැවින් බදු රහිත කාලය දිගුවන විට මුල් මුදලට බද්දක් අය කිරීමට නියමිතය..

මෙම නව අයවැය යෝජනා හේතුවෙන් දැනට පවතින වටිනාකම අනුව ණය අනුපාතය (LTV) පිළිබඳ යළි සලකා බලන ලෙස ද එම සංගමය රජයට අවධාරණය කර සිටියි. දැනට පවතින 50%ක් වූ LTV අනුපාතය යටතේ පාරිභෝගිකයෙකුට වාහනයක් මිලදී ගැනීම සඳහා මෙම අරමුදල් සහයෝගය අවශ්‍ය වේ. දැනට පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම අනුපාතය 75%ක් දක්වා වැඩි කර සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කළ යුතු බව ද එම සංගමය පවසයි.

 

අදහස්