සින­මා­කාරී අනෝ­මාගේ සමී­ප­රූ­පය | සිළුමිණ

සින­මා­කාරී අනෝ­මාගේ සමී­ප­රූ­පය

අනෝමා රාජකරුණා කවිකාරිය, කෙටිකතාකාරියගේ සමීපරූපය වෙනුවට ඉන්ද්‍රචාප කාලයක් තිස්සේ දකින්නේ, අනෝමා නම් සමාජ ක්‍රියාකාරිනිය හා සිනමාකාරිනියගේ සමීපරූපයයි. 1983 දී අනෝමා ලියූ කඩදාසි ඔරු කෙටිකතා පොතේ වගේම 2000 දි පළ කළ ගෝත්‍රික ප්‍රේමය කවි එකතුවෙ සමීපරූපත් ඉන්ද්‍රචාපට පේනවා. ගෝත්‍රික ප්‍රේමයේ සමහර පෙරළිකාර, රැඩිකල් කවි ඉන්ද්‍රචාපට තාමත් කටපාඩම්. අපේ පරපුර කවියෙන් අනෝමා ප්‍රශ්න කළේ මහා සාසනේ 'මුල එදා හේමමාලා කුමරියගෙන් සඟමිත් තෙරණියගෙන් කිලිකුණු නොවිණි නම් අද ඒ පරපුරේ කාන්තාවන්ට දන්ත ධාතුවත්, මහා බෝධියත් කිලිකුණු වුණේ කෙසේද කියායි.

ඒ වර්ගයේ අනෝමාගෙ කවි ඉන්ද්‍රචාපගේ සමීපරූපයට හසුවෙන්නෙම නැතිතරම්. ඒ වුණත් ඈ තරුණ සිනමාකරුවන් සිනමාකාරියන්ගෙ පර්යේෂණාත්මක, කෙටි, වාර්තා චිත්‍රපට නිර්මාණකරණ කටයුතු එක්ක වගේම රටේ සමාජ දේශපාලන අර්බුද සමගත් ක්‍රියාකාරිනියක් විදියට සක්‍රීයව කටයුතු කරනව, පෙරමුණේ ඉන්නව ඉන්ද්‍රචාප සමීපරූපයෙන් දකිනව. ප්‍රකාශනයට අවකාශයක් 14 වගේම Agenda 14 (ඇජෙන්ඩා 14) චිත්‍රපට උලෙළ, සිනමා වැඩමුළු, සම්මන්ත්‍රණ, සම්මාන පිරිනැමීම් ආදී විශාල යහපත් වැඩ සටහන් රාශියක් සමග අනෝමා දකින්නට ලැබීම ගැන ඉන්ද්‍රචාපට සතුටුයි.

ඉතා මෑතකදි ඉන්ද්‍රචාපට අනෝමගෙ සමීපරූපය හසුවෙන්නෙ නිමාවුණු අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙන් පෙබරවාරි 28 - මාර්තු 07 කාලය තුළ ඈ විසින් සංවිධානය කළ Colombo International Women's Film Festival සිනමා උලෙළත් සමග. ඇගේ ඇසින් ලෝකය දකිමු තේමාව යටතේ ලෝකයේ රටවල් 15 ක පමණ කාන්තාවන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රාශියක් මේ උලෙළෙදි තිරගත වුණා.

වෘත්තාන්ත, කෙටි හා වාර්තා චිත්‍රපටවලින් සමන්විත වුණ කාන්තාවන්ගේ චිත්‍රපට තරංගණී සිනමා ශාලාවෙදි, Gothe (ගොතේ) ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානෙදි වගේම ප්‍රංස සංස්කෘතික මධ්‍යස්ථානෙදිත් ප්‍රදර්ශනය වෙනවා ඉන්ද්‍රචාපගෙ සමීපරූපයෙ සටහන් වුණා. මේ සිනමා උලෙළ සමග ශ්‍රී ලංකාවෙ සිනමාවෙ කිවිඳිය ලෙස පිළිගැනෙන සුමිත්‍රා පීරිස් මහා සිනමාකාරිය ගෞරව සම්මානයෙන් පුදනු ලැබීමත් ඉන්ද්‍රචාප දැක්කෙ අනෝමා නම් සිනමා ක්‍රියාකාරිනියගෙ වැඩපිළිවෙළේම අගනා අවස්ථාවක් ලෙස.

සුමිත්‍රා, මාලිනී ෆොන්සේකා, ඉනෝකා සත්‍යාංගනී, සුමති සිවමෝහන් ආදී අද අප අතර ඉන්න අපේ කාන්තා සිනමාකාරියන්ගෙ සමීපරූප සමග එදා සිනමාවෙ මුල්ම කාලෙ චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් සිනමාවට එකතුවුණු කාන්තාවන් කීප දෙනකුගෙම සමීපරූප ඉන්ද්‍රචාපට පෙනෙනව. ෆ්ලොරිඩා ජයලත් (රාජා ජොසුවා සමග ස්වීප් ටිකට්) රුබී ද මෙල් (පිපෙන කුමුදු), රෝහිණී ජයකොඩි (හැංගි හොරා, චණ්ඩි සිරියා) ඒ අතර ඉන්නවා. සුමිත්‍රා පීරිස් ගැහැනු ළමයින්ගෙන් පටන් අරගෙන වෛශ්ණාවි දක්වාම සිනමාවෙ රැඳී සිටිමින් ශ්‍රී ලංකාවෙ කාන්තා සිනමාකාරියන් අතරෙ ඉහළම අසුනෙ ඉන්නවා ඉන්ද්‍රචාප දකින්නෙ.

මාලිනී ෆොන්සේකා සුමිත්‍රා ළඟින්ම වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කළ කාන්තාව. අන්තර්ජාතික තාලයට අපේ සිනමාව සුළං කිරිල්ලී සමග රැගෙන ගිය ඉනෝකා සත්‍යංගනී ගෙ සමීප රූපය ඉන්ද්‍රචාප දකින්නෙ එහිම රංගනයට අන්තර්ජාතික සම්මාන දිනූ දමිතා අබේරත්නගෙ රූපයත් එක්ක, රංගනයට අන්තර්ජාතික සම්මාන දිනු නීතා ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ වගේම අනෝමා ජනාදරීත් ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර.

මේ සෑම කාන්තා මුහුණක්ම ඉන්ද්‍රචාපගෙ මතකයට ආවෙ අනෝමා රාජකරුණා නම් වූ ක්‍රියාශීලී සිනමාකාරිනියගෙ ක්‍රියාකාරකම් නිසා. කාන්තා දින සිනමා උලෙළ වෙනුවෙන් තිරගත වුණු අනෝමාගෙ වාර්තා චිත්‍රපටය Reconcilling Sri Lanka ෆාතිමා ෂානාස්ගෙ Halal (හලාල්) වාර්තා චිත්‍රපටයත් ඉන්ද්‍රචාපට මතකයි. අනෝමාගෙ නිහඬ සිනමා ක්‍රියාකාරකම් නිසා සිනමාවට ආදරය කරන තරුණ පරපුරක් බිහි වී සිටීම පිළිබඳ ගෞරවය අනෝමාට පෙරළා පුදන්න ඉන්ද්‍රචාප අමතක කරන්නෙ නෑ.

 

Comments