බෝල­යක් ලබා ගැනී­මට ඇන කොටා ගන්නා දරු­ණුම ක්‍රීඩාව | සිළුමිණ

බෝල­යක් ලබා ගැනී­මට ඇන කොටා ගන්නා දරු­ණුම ක්‍රීඩාව

ලෝකයේ වර්තමානය වන විට භාවිත කරන ක්‍රීඩා බොහොමයක් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සොයාගන්නා ලද ක්‍රීඩාවන් වේ. මේ අතරින් ක්‍රිකට්, පාපන්දු හා රග්බි ක්‍රීඩා ඉතාමත් සුවිශේෂීයි. මධ්‍යතන පාපන්දු ක්‍රීඩාව යුරෝපයේ මධ්‍යතන යුගයේ ඉතාමත් ප්‍රචලිත වී තිබුණු සාමාන්‍ය පාපන්දු ක්‍රීඩාවට වඩා බිහිසුණු අන්දමක් ගන්නා ක්‍රීඩාවකි. එහි තිබෙන අවදානම නිසා වීදි වල එම ක්‍රීඩාවේ නිරත වීම වර්තමානයේ තහනම් වූවත් වසරකට වරක් එංගලන්තයේ ඇතර්ස්ටන් හි (Atherstone) මෙම මධ්‍යතන පාපන්දු ක්‍රීඩාව දැකබලා ගැනීමට හැකියි.

‘ඇතර්ස්ටන් බෝල සෙල්ලම‘ (Atherstone Ball Game) හෝ ‘පෑන්කේක් දින බෝල සෙල්ලම‘ (Pancake Ball Game) නමින් හඳුන්වනු ලබන මෙම ක්‍රීඩාව රග්බි, බොක්සිං හා ග්ලූචෙස්ටර් හි චීස් රෝල අල්ලාගැනීමේ තරගය වැනි ක්‍රීඩා රැසක එකතුවක් ලෙසින් දිස්වේ. සරලවම මෙම ක්‍රීඩාව තුළ සිදුවන්නේ වැඩිහිටි පුද්ගලයන් 800ක් 1000ක් පමණ පිරිසක් තරමක් විශාල බෝලයක් ලබාගැනීමට එකිනෙකා හා ඇන කොටාගැනීමයි.

මෙම වසර සඳහා වූ තරගය 820වැනි වතාවට පැවැත්වූයේ පසුගිය සතියේ අඟහරුවාදායි. වසර 1199 සිට ක්‍රීඩා කරන මෙහි ආරම්භක තරගයේ බෝලයක් වෙනුවට තිබී ඇත්තේ රත්‍රන් මල්ලක් බව පැවසේ. සෑම වසරකම කිතුනු බැතිමතුන්ගේ චතාරික සමය ආරම්භ වන අළු බදාදා දිනට පෙර අඟහරුවාදා දින (Fat Tuesday, Pancakes Day) සවස 3ට පමණ මෙම තරගය පවත්වනු ලබයි. පැය 2ක් පමණ ගතවූ පසු එනම් සවස 5.00 වන විට මෙම බෝලය අතැති පුද්ගලයා හට තරගයේ ජයග්‍රහණය හිමි වේ. මෙම තරගයේ තිබෙන්නේ නීති 2ක් පමණයි.

එයින් පළමු වන්න වන්නේ මෙම බෝලය ලෝන්ග් වීදියෙන් ඉවතට රැගෙන යාමට නොහැකි බවයි. දෙවැනි නීතිය වන්නේ කිසිවකු මරණයට පත් කිරීමට නොහැකි බවයි. මෙයින් පළමු නීතිය මෑත කාලයේ මෙම තරගයට එක් වී තිබෙන්නේ තරගය පවත්වන ඇතර්ස්ටන් හි ප්‍රධාන වීදිය එනම් ලෝන්ග් වීදිය (Long Street) අසල තිබෙනා කොවෙන්ට්‍රි ඇළට බෝලය ගමන් කරනා නිසායි.

විශේෂ ආරාධිත අමුත්තකු පැමිණ බෝලය විසිකළ පසු එය ලබාගැනීමට බලු පොරයක් මෙන් ක්‍රීඩකයන් එකිනෙකා හා සටන් කිරීම සිදු කරයි. මෙම තරගය පැවැත්වීමට පෙර කාසි හා රසකැවිලි නරඹන්නට විසිකිරීමද සිදුවන අතර එම කාසි අතර තිබෙන එක් රත්‍රන් කාසියක් ප්‍රධාන තරගය අතරතුර සොයාගන්නා පුද්ගලයාටද ත්‍යාගයක් හිමිවේ.

ලේ වැගිරීම්, දරුණු මුෂ්ථ ප්‍රහාර, පා පහරවල් මැද මෙම වසරේදී මෙහි ජයග්‍රහණය හිමි වූයේ 4 වරක් මෙහි ශූරතාව දිනාගත් 39 හැවිරිදි ජොනතන් ස්ලෙසර් හටයි. මෙම වසරේදී තරගය අතරතුර බෝලය පිපිරීම නිසා අතරමගදී තවත් බෝලයක් භාවිතයට ගෙන තිබෙන අතර තරගයේ අගභාගයේදී බෝලයේ තිබෙන ලේ ප්‍රමාණය දුටු විට මෙම තරගය කොතරම් දරුණු ලෙස පැවත්වූවාද කියා සාක්ෂි දරයි. තරග සංවිධායකයන් තරගකරුවන් අතර සිටියත් ඔවුන් හෝ පොලීසිය මෙම ගුටි කෙළියට බාදා කරන්නේ ජීවිත හානියක් සිදු විය හැකි අන්දමේ දරුණු ප්‍රහාරයක් දියත් වන අවස්ථාවකදී පමණයි. 

 

Comments