
ලඳුන්
ඉරට ඉරගල සඳට සඳගල
කියා, කවි කිවු ලඳුන්
පයට පාවට ඉහට මුතුකුඩ
කිසිත් නොපැතුව ලඳුන්
රුවට රූබර වතට ගෝමර
පතා නොසිටියි සඳුන්
හිතට දුක්ගෙන, හෙටට යහපත,
බලා විකිණෙයි ලඳුන්
දිනිති දීපිකා
(ජගත් කාන්තා දිනය වෙනුවෙනි)
සිකුරී
දත් බුරුසු ඇතිල්ලෙන වතුර ටැංකිය ළඟ සද්දෙට
ඇහැරවාගෙන කඩි සිත හැකි පමණ වේගෙට
ගිය මාසෙ ගත්ත ප්‍රින්ටඩ් සාරිය
ලෝබකමකින් පෙරවගෙන
සුවඳ දියරෙන් වසාගෙන නොදැනෙන්නට
සිතේ දියවන ගින්දර
සින්න වෙන්නට පෙරුම් පුරන
කර මාලයත් සඟවාගෙන හැකි තරමටම
සිකුරි දුවනවා කැලණිවැලියට
ටොක් ටොක් හඬින් ඇතිල්ලෙන
අඩි උස සෙරෙප්පු දෙක
ලෙස්සන්නටත් දැන් ළඟය මාසෙ පඩියත් ඉවරය
කකුල් දෙක නතර නොවුණ ද සිත නතරවෙන
ඉහළවත්ත සොහොන ළඟ
හීන් හඬින් පිටවෙන බිලිඳු සුවඳක ඉකිබිඳුම
බාල මේකප්වලට නොහැකිය
හංගගන්නට තව දුරට
පටිය කැඩුණු හෑන්ඩ් බෑගයේ
කැඩුණු පටිය හංගගෙන
ඉරිතළා ගිය ස්මාට් ෆෝන් එක
සමච්චල් කරනවා මැකී ගිය මතකෙකට
කෝච්චි සීසන් එකට පුළුවන් නම්
වැඩි කරන්නට මාසෙක සොච්චම
කොහොම යන්න ද ස්ටාෆ් බස් එකක
සිකුරි සිතනවා තනියම
ඉහින් කනින් වැගිරෙනා දහඩිය
පැවසුවෙම අහිමි අසනි වැස්සක සලකුණ
කළු ගැහෙන්නට ළඟ කරාබු දෙක
පැවසුවේ බැංකුවට සින්න වුණු
මතකෙක දිරච්ච ලකුණු
මුහුදට යන අදහස අත් හරින මෝඩ ඇළ ළඟ
තැබූ අඩිය ආපස්සට ගන්නට දෙවරක් හිතන්නට
සේලයින් ගොඩක අතරමං වුණු අම්මාගේ මුහුණ මතක් වෙන්නට සිකුරිට ඇති විය එය හොඳටම
ළා රතු පාට ආදරයේ ඉර
ඔච්චම් කරමින් බැස යන විට සවස
ප්‍රින්ටඩ් සාරියම දාඩියෙන් තෙමෙන විට
ලැටිස් පටි ගෙදර සොඳුරු නවාතැන යන්න
සිකුරිට සිතන්නට බොහෝ දේ ඉතිරි කළ
ප්‍රියාශා රන්වල
මධුවිතක
මම නුඹව
දි
ය
ක
ළෙ
මි
මධුවිතක
විඩෙන් විඩ හඳ විරිත්තුව රැයක
මධු බඳුන පුරවමින්
බිතු අතර කළතමින්
හිස් කළෙමි
යළි
යළිත්
පෙර මතක
හඳ ඔබා
මධුවිතක
කෙඳිරුවෙමි සඳවතට
ඉතින් ඒ අවසන්ය.
මත් සිඳුණු
මා මසැස
මත රැඳුණු
පළමු රුව
නුඹේ රුව
චාමරී ෆොන්සේකා
අම්මා
ඉස්සර අපෙ අම්මා
මගෙන් නිතරම වදේ කිවුවා…
දැනුත් අපෙ අම්මා
එ් කතාවම නිතර කියනා…
ගණනකට නොගත් මා
අම්මා නන් දොඩනවයි කිවුවා…
වුණු දාක අම්මා
අැගේ හදවත දැනෙයි කිවුවා…
දුන්නෙ ගුටි පෙම්මා
හදා ගන්නට බවද කිවුවා…
හිතුවක්කාර මා
නේක රිදවූ බවද කිවුවා…
පන්ති යන අතර මා
හොරෙන්ම පෙම් බැන්දා…
අහුවුණු දා අම්මා
උඹව ගස් බඳිනවයි කිවුවා…
ඔහුව අත නෑර මා
උපාධියකුත් අතට ගත්තා…
එ්කම නම් වුවමනා
කරලා දුන්නා ඔන්න කිවුවා…
දැන් මාත් අම්මා
දුවක් මයි වුවමනා කිවුවා…
අනේ මගෙ අම්මා
මාව කෝමද හැදුවෙ හිතුණා…
අඬන විට පිම්මා
මතක් වේ මට මගේ අම්මා…
අදත් මගෙ අම්මා
දරුවො මදිවට මිනිපිරී කිවුවා…
කිය කියා අම්මා
මගේ දරුවටත් කවි කිවුවා…
චතුරි ගවේෂිකා සමරකෝන්
දෙදෙනෙක්
බෝ මැඩ අබියස
දෑඟිලි බැඳගෙන
සිල් රක්නා කත
වල්ලභයට පින
අනුමෝදන් කරවිය
ජීවිතය අබියස
හැරදා විළිබිය
වීදි සරණ ලිය
ඒ මිනිසාහට
අභිනිෂ්ක්රමණයෙ
මග පෙන්වා දුනි
සීවලී අත්තනායක
සීතල රැයක ඇතිවන හැඟුම්...
කල්අඩි පාලමට හඳ පෑයුව රෑක
පාලම් ඇන්ද ළඟ තනි වී එක දාක
සිටියා තනිවෙලා සිතිවිල්ලක ශෝක
මතකය සිතට වද දුන්නා ලෙස නේක
කරදිය කැරළි මත සඳ පෙන සුමුදු කැටී
අතරේ පාලමේ දිගු සෙවණැල්ල වැටී
දිය රැළි සුළියකට අසුවී සැලෙන හැටී
හිස් බැල්මකින් බොඳ වී ඇති දෑස දිටී
පාලම මතින් දහවල පා නැගු යුවතී
හේතුව කිමද සුන්දර මොහොතක නොමැතී
බියසැක නිසාදෝ අඩ අඳුරට පැවතී
දහවල වගෙයි රෑටත් වෙනසක් නොවෙතී
එක ලේ ගලන දෙවතක දෙබසක වෙනස
දැනුණිද කල්අඩියෙ පාලමටත් මෙලෙස
හැමදා තිබේවිද මේ අඩඳුරු දවස
අරුණෝදයක් නැතිවේවිද හෝ කෙලෙස
පාලම මත සැලුණ මිණි කිංකිණි සලඹයි
යළි දෙසවන් අසන රිසියෙන් සිත කලඹයි
ඒ හඬ හඹා යන්නට සිතුවිලි පොලඹයි
සීතල රැයක ඇතිවෙන හැඟුමන් බොළඳයි
කල්අඩි පාලමේ පීනා යන මාළු
බාදා කවර අප හට වන්නට යාළු
එලෙසින් වුණොත් අපි ඔක්කොම සැනසේලූ
අතැඟිලි පා සළඹෙ මා සුරතට දේලූ
පාලම යට ඉඳන් මාළුන් කී ගීත
දුක්බර වුණත් මේ අඩඳුරු රෑ සීත
බාදාවකින් තොර හඳ පෑයූ දා මෑත
ගී හඬ පා සලඹ හැඬවෙයි සුවිනීත
කලාභූෂණ ගාමිණි ලිවේරා
මුන්දලම