ඉන්දීය කොමාන්ඩෝ තොප්පියට පාකිස්තානයෙන් දෝස්මුරයක් | සිළුමිණ

ඉන්දීය කොමාන්ඩෝ තොප්පියට පාකිස්තානයෙන් දෝස්මුරයක්

ශ්‍රී ලංකාවට එරෙහිව 2008 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එක්දින වරම් දිනා ගත් විරාත් කෝලි, ලකුණු 12කින් ඇරැඹූ එක්දින චාරිකාවේ මේ වනවිට රැස් කර ඇති ශතක සංඛ්‍යාව 41කී. එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා වන සචින් තෙන්ඩුල්කාර්ගේ ශතක 50 වාර්තාවට තවත් ශතක 9ක් මෙපිටින් පසුවන කෝලි ඉතා පහසුවෙන් ම මෙකී එක්දින ශතක වාර්තාව සියතට ගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත. සචින් සිය එක්දින ශතක 50 රැස්කර ඇත්තේ තරග 463කදී ඉනිම් 452ක් ක්‍රීඩා කරමින්ය. දැනට ශතක 41ක් රැස් කරගෙන සිටින කෝලි තරග 226කදී, ක්‍රීඩා කර ඇත්තේ ඉනිම් 218කී.


ශ්‍රී ලංකාවට එරෙහිව 2009 කොල්කටාහිදී ලකුණු 107ක් රැස් කරමින් සිය මංගල ශතකය වාර්තා කර ගත් කෝලි අවසන් ශතක දහය රැස් කරගෙන ඇත්තේ ඉනිම් 25කදීය. නායකයා ලෙස තරග කළ ඉනිම් 64දී ශතක 19ක් රැස් කර ඇති අතර නායකයා නොවූ ඉනිම් 154දි රැස් කර ඇති ශතක සංඛ්‍යාව 22කී. ශතක 41න් ජයග්‍රාහී තරගවල රැස් කළ ශතක සංඛ්‍යාව 33කී. පරාජිත තරගවල ශතක 7කි. සමවූ තරගයක එක් ශතකයකි.

මෙකී ශතක 41න් කෝලි ඉන්දීයාවේ රැස් කළ ශතක සංඛ්‍යාව 19ක් වන විට ඉන් පිටත රැස් කළ ශතක සංඛ්‍යාව 22කි.

 

ඉන්දියාව සහ පාකිස්තානය අතර ගොඩනැගෙමින් තිබුණු නොහොඳ නෝක්කාඩුවට තිත තැබීමෙන් නොනැවැතී තමන් නොබෙල් සාම ත්‍යාගය සඳහා ද සුදුසු නොවන බව පාකිස්තානු අගමැතිවරයා කළ ප්‍රකාශයේ උණුසුම මැකී යන්නත් මත්තෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයට ඉන්දීය කණ්ඩායම සිය යුද හමුදා කොමාන්ඩෝ හිස් වැසුම් පැලැඳ තරග කිරීම පිළිබඳ දැඩි කතාබහක් මතුව තිබේ. මේ පිළිබඳ පාකිස්තානය ද සිය ස්ථාවරය නොහොඳ නෝක්කාඩු ස්වරූපයෙන් ඵල කර තිබීම මෙකී කොමාන්ඩෝ හිස් ආවරණයේ කතාබහ වැඩි කිරීමට හේතුවී තිබේ. ඉන්දියාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවසරය මත මේ දේ කළ බව ප්‍රකාශ කරන විට පාකිස්තානය එකී ප්‍රකාශයට දෙහි කපන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නොමඟ යවමින් ඉන්දියාව මේ කටයුත්තේ නිරත වී ඇති බවයි.

එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානය සමග පැවැත්වෙන තරගයට සහභාගි නොවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගන්නා ඕනෑම තීරණයකට අනුව කටයුතු කරන බව නායක විරාත් කෝලි පවසයි.

කාශ්මීරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම පාකිස්තානයේ සන්නද්ධ කල්ලියක් බාර ගැනීමෙන් පසුව පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය සම්බන්ධයෙන් සැක මතුව තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අයත් දෙරට අතර තරගය ජූනි මස 16 වන දා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.

“අපේ ස්ථාවරය සරලයි. අපේ රට සහ ක්‍රිකට් පාලක මණ්ඩලය ගන්නා තීරණයට අපි එකඟ වෙනවා. මූලික වශයෙන් අපේ අදහස ඒකයි. රජය සහ පාලක මණ්ඩලය ගන්නා ඕනෑ ම තීරණයකට අපි ගරු කරනවා.

"මේ සිද්ධ වූ දේ ගැන ඉන්දීය කණ්ඩායම සහ සියල්ලන් ම තැති ගැන්මකටත් කනගාටුවටත් පත්ව සිටිනවා," විරාත් කෝලි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක භටයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන්, පාකිස්තානයට එරෙහිව විරෝධතා රැසක් ආරම්භ විය. කෙසේ වෙතත්, පාකිස්තානු රජය පවසන්නේ තමන් එම ප්‍රහාරයට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවය.

මේ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ, "ත්‍රස්තවාදය ඉස්මතු වන රටවල් සමග සබඳතා නතර කරන" ලෙසටය.

එකී නිවේදනය හරහා පාකිස්තානයට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තහනම් කිරීම සඳහා පෙලඹවීමක් කර තිබේ.

ලෝක කුසලාන තරගවලදී ඉන්දියාව අඛණ්ඩව තරග 6කදී පාකිස්තානය පරාජයට පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය සුපිරි පිතිකරුවෙකු වූ සචින් තෙන්ඩුල්කාර් පවසා ඇත්තේ, පාකිස්තානය සමග පැවැත්වෙන තරගයෙන් වැදගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් අහිමි වුව ද පාලක මණ්ඩලයේ තීරණයට තමන් සහය පළ කරන බවය.

වර්තමානය වන විට ගිනි දැල් මතුවෙමින් පවතින ඉන්දු – පාකිස්තානු අර්බුදයට ඉන්ධන දැමීම සඳහා ක්‍රීඩාව සම්බන්ධ කරගැනීම නිසා ඉන්දියානු ක්‍රීඩා බලධාරීන් ගැන මේ වන විට ලොව පුරා පවතින්නේ පිළිකුල් සහගත හැඟීමකි.

ලෝක ශූරතා වෙඩි තැබීමේ තරගාවලියටද දේශපාලනය ඈඳා ඔවුන්, පසුව ක්‍රිකට් ලෝක කුසලානය දක්වා එය රැගෙන යන්න වෙර දරන්නේ ජුනි මාසයේ දී පැවැත්වෙන ඉන්දු – පාකිස්තානු එක්දින තරගයට සහභාගී නොවන බව පවසමිනි. කෙසේ වෙතත් ඒ පිළිබඳ පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් විසින් ලොවට කියන අතර අලුත්ම පුවත වන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ පැවති තෙවැනි එක්දින තරගයේ දී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් හමුදා නිල ඇඳුමේ වර්ණ සහිත කොමාන්ඩෝ හිස් ආවරණ පැලඳීමයි.

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊට එරෙහිව දිගු ලිපියක් ICCය වෙත යවා ඇතැයි වාර්තා වේ.

“අපි ICCයට අපේ ස්ථාවරය හොඳින් පැහැදිලි කළ නිසා දැන් අප සිටින තැන ගැන කිසිම විවාදයක් හෝ අවුලක් නැහැ.” පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා පවසා තිබේ.

“තමන් තවත් ලිපියක් ICCය වෙත යවන්නට නියමිත බවද සභාපතිවරයා සිය දෙවැනි ලිපිය ගැන පවසයි.
ඔහු තවදුරටත් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාවත් දේශපාලනයත් එකට ගළපාගත යුතු නැති බවයි.

“මේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දේශපාලනය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව යොදා ගත් තවත් අවස්ථාවකී. ඔවුන් වෙනත් හේතුවක් ICCය වෙත ඉදිරිපත් කොට අවසර අරගෙන ඒ අවසරය භාවිත කර තිබෙන්නේ වෙනත් කටයුත්තක් සඳහායි.”

මීට පෙර දේශපාලනික කාරණාවන් ක්‍රිකට් පිටිය මැද දී සාකච්ඡාවට බඳුන් කිරීම නිසා ඉම්රාන් තාහීර් සහ මොයින් අලී නම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව ICCය විසින් පියවර ගත් සේම ඉන්දියානු ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව ද එවැනි පියවරක් ICCය විසින් ගනු ඇතැයි පාකිස්තානු ක්‍රිකට් බලධාරීහු බලාපොරොත්තු වෙති. ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක පමණ කාලයකි. ඒ උණුසුම මැදට යුද උණුසුම ද කැන්දාගෙන එන්නට ඉන්දු – පාකිස්තාන් දේශපාලනික අර්බුදය විසින් වේදිකාවක් ඉදි කරමින් පවතියි.
එළඹෙන ජුනි 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දු – පාකිස්තානු ක්‍රිකට් තරගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දියාව තීරණය කළේ පසුගිය සති කිහිපයේ සිටය. ඔවුන් විවිධාකාරයෙන් මෙය සාධාරණීයකරණය කිරීමට වැර දැරූහ. ඊට සහාය දක්වමින් අදහස් පළකළ ආදී ක්‍රීඩකයන් ද, සහාය පළනොකළ ක්‍රීඩකයන් ද විය. එහෙත් ඒ සියල්ල සිදු වන්නේ ‘ක්‍රීඩාවට දේශපාලන බලපෑම් සිදු නොවිය යුතුය යන්න මාධ්‍ය තුළින් නිතර නිතර ඇසෙන පසුබිමකය.

අදාළ මත ගැටුම ආරම්භ වූයේ පසුගිය ආදරවන්තයන්ගේ දිනයේ දී පාකිස්තානු ත්‍රස්ත කල්ලියක බෝම්බ ප්‍රහාරයකින් ඉන්දියානු භටයන් 40 දෙනෙකු පමණ මරු දැකීමත් සමඟ ය. ඒත් සමඟින් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති ලෝක ශූරතා වෙඩි තැබීමේ තරගාවලිය වෙනුවෙන් පාකිස්තානුවන්ට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දියානු බලධාරීහු පියවර ගත්හ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඒ පිළිබඳ සිය විරෝධය දක්වමින් කියා තිබුණේ අන්තර්ජාතික තරගාවලි ඉන්දියාව තුළ පැවැත්වීම සඳහා සිදුකෙරෙන සාකච්ඡාවලින් තමන් ඉවත් වන බවයි.

ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් විසින් තමන් ජුනි 16 වැනිදා පැවැත්වෙන තරගයට සහභාගී නොවන බව ලිඛිතව දැනුම් දෙන ලද බව පැවසේ. එහි දී අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩල ද ඔවුන් හා එක්වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බව ද දැන ගන්නට ලැබුණි.

“ඉන්දියාවට නිතරග පරාජයක් ඕනෙනම් අපට ඒකට කරන්න දෙයක් නැහැ.“ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයෙක් එසේ පවසා තිබිණි.
 

Comments