ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් සහ AG-BIZ මෙවරත් | සිළුමිණ

ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් සහ AG-BIZ මෙවරත්

ප්‍රෝ ෆුඩ්/ ප්‍රෝ පැක් සහ ඇග්‍රි බිස් ප්‍රදර්ශනය 2019 යනු ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන දැවැන්තම ආහාර, ඇසුරුම් සහ කෘෂිකර්ම ප්‍රදර්ශනයයි. පිළිවෙළින් 18 වැනි වරටත් පවත්වනු ලබන එම ප්‍රදර්ශනය මෙවර සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී එන අගෝස්තු මස 02 සිට 04 වැනි දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදකයන්ගේ සංගමය සහ ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සර්විසස් පෞද්ගලික සමාගම ඒකාබද්ධව එම ප්‍රදර්ශනය සංවිධානය කරයි. දේශීය මෙන්ම විදේශීය ආහාර නිෂ්පාදනකරුවන් වෙනුවෙන් ප්‍රදර්ශන කුටි 370කට වැඩි සංඛ්‍යාවක් වෙන් කර තිබෙන අතර, ආහාර පාන සහ කෘෂිකර්ම අංශයන්ට අදාළව මෙරට පවත්වනු ලබන දැවැන්තම ප්‍රදර්ශනය වන්නේ මෙයයි.

වගා බිමේ සිට අවසානයේ කෑම මේසය දක්වා ක්‍රියාවලියේ සියලුම අවස්ථා ආවරණය වන පරිදි ‘ගොවිපොළේ සිට ගෑරුප්පුව දක්වා’ යන තේමාවෙන් මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත. එම ප්‍රදර්ශනය නිෂ්පාදකයන්ට මෙන්ම ගැනුම්කරුවන් වෙතද එක සමානව ප්‍රයෝජනවත් වන අතර ක්ෂේත්‍රයෙහි සංවර්ධනය වෙනුවෙන් භාවිතා කළ හැකි නව්‍ය තාක්ෂණයන් පිළිබඳ දැනුවත් වීමටද විශේෂ අවස්ථාවක් නිර්මාණය කර තිබේ. ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි සෑම පැතිකඩක් පිළිබඳම අවබෝධයක් ලබාගත හැකි පරිදි සංවිධානය කර තිබෙන එම ප්‍රදර්ශනය පාරිභෝගිකයා වෙත ආහාර නිෂ්පාදනයක් පත් කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහාද අවස්ථාව ලබා දෙයි.

එම ප්‍රදර්ශනය තුළ ප්‍රදර්ශන කුටි හිමියන්ට මෙන්ම නරඹන්නන්ට ආහාර සැකසුම් හා ඇසුරුම් ක්‍රියාවලිය පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් ලැබෙන අතර, ඊට අමතරව අහාර නිෂ්පාදනය පිළිබඳ තවත් ප්‍රතිලාභ රාශියක්ද හිමි වේ. දින තුනක කාලයක් පැවැත්වෙන මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව සහ චීනය නියෝජනය කරන විශාල පරිමාණයේ ව්‍යාපාරික ආයතනයන් විසින් ප්‍රදර්ශන මණ්ඩප දෙකක් ස්ථාපිත කරනු ඇත. ඉන්දියාව සහ චීනය නියෝජනය කරමින් ව්‍යාපාරික ආයතන 100කට වැඩි සංඛ්‍යාවක් ඊට සහභාගි වේ.

Comments