සෙංකෝලයත් කථානායකත් බේරාගත “වේත්‍රධාරී" මෙහෙයුම | සිළුමිණ

සෙංකෝලයත් කථානායකත් බේරාගත “වේත්‍රධාරී" මෙහෙයුම

  • කිලෝ 13ක් බර සෙංකෝලය පැය භාගයක් උස්සාගෙන හිටියා
  • හදිසියේ සොයාගත් එෆ්.එම්. මයික් එකවිනාඩි පහෙන් සිස්ටම් එකට සම්බන්ධ කළා
  • කථාන­ායකතුමා ධෛර්යවන්තව සිටියා

පසුගිය කාලයේ ඔහු බෙහෙවින් ජනප්‍රිය චරිතයක් විය. එසේ ජනප්‍රිය වූයේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරගැනීමට මහා මෙහෙයුමක් සිදු කළ නිසාය. කිලෝ 13කට වඩා බරින් යුතු සෙංකෝලය පාර්ලිමේන්තු සභා ගර්භයට රැගෙන එන්නේ ඔහුය. පාර්ලිමේන්තු වේත්‍රධාරි ඉතිහාසයේ අභියෝගාත්මක කාල වකවානුවට මුහුණ දුන් ඔහු, එදා ලෝකයාම දුටු අමිහිරි සිදුවීමේ අප නොදත් කතාව මුල් වරට විස්තර කළේ සිළුමිණ පුවත්පතටය. ඔහු ලංකාවේ 6 වැනි වේත්‍රධාරි ඩබ්ලිව් නරේන්ද්‍ර මිහිඳු කුමාර ප්‍රනාන්දු මහතාය.

වේත්‍රධාරි තනතුර ලංකාවටම එකයි. මේ තනතුර බාරගැනීම ඔබේ ජීවිතයේ එක්තරා සිහිනයක් සැබෑ වීමක්ද?

මට ආසාවක් තිබුණා කවදා හරි මේ තනතුරට යන්න. මම ඉගෙන ගත්තේ කොළඹ ඉසිපතන විදුහලේ. විශ්වවිද්‍යාලයේ ඇතුළත් වීම පැත්තකට දාලා පාර්ලිමේන්තුවේ පරිපාලන සේවයට බැඳෙන්න තීරණය කළා. මගේ පියාත් නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරකවරයෙක්. ඒ වන විට මට අවුරුදු 19යි. මුලින්ම පාර්ලිමේන්තුවේ ලිපිකරු සේවයට බැඳුණා. ක්‍රමයෙන් කාරක සභා කාර්යාංශවල, පනත් කෙටුම්පත් කාර්යාංශයේ, සභා ලේඛන කාර්යාංශයේ ඇතුළු විවිධ අංශවල විවිධ රාජකාරි කරලා සහකාර වේත්‍රධාරියෙකු වශයෙන් පත් වුණා.

ඇයි මේ තනතුරට එතරම් විශේෂත්වයක් ...?

ලංකාවටම එක් තනතුරයි. මෙහි ගරුත්වය, අභිමානය විශාලයි. මේ තනතුර ලබාගන්න පෞරුෂයත් වැදගත්. ඉදිරිපත් වන්නා නියමිත උසකින් විය යුතුයි. ඔහු අඩි 4 ක් දිග රාත්තල් 28 ක් බර සෙංකෝලය ඔසවාගෙන යා හැකි අයෙකු විය යුතුයි. මම පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරියා.

සහකාර වේත්‍රධාරි තනතුරේ සිටියදි ඔබට සෙංකෝලය ගෙන යෑමේ වරප්‍රසාදය හිමි වුණාද?

උදේ වරුවේ අනිවාර්යයෙන් සෙංකෝලය ගෙනයන්නේ වේත්‍රධාරී. නමුත් හවස බොහෝ විට ගෙනයන්නේ නියෝජ්‍ය හෝ සහකාර වේත්‍රධාරීයි. සමහර විට වේත්‍රධාරි නිවාඩු ගියාම ඒ කටයුත්තත් කරන්න වෙනවා. මම සහකාර වේත්‍රධාරි තනතුරේ අවුරුදු 12ක් හිටියා. ගිය වසරේ අගෝස්තු මාසයේ තමයි, මම වේත්‍රධාරි තනතුරට පත් වුණේ.

වේත්‍රධාරිවරයාට පැවරෙන රාජකාරි මොනවාද?

වේත්‍රධාරි ඉතිහාසය 12 වැනි සියවස දක්වා යනවා. මුල් කාලයේ කාර්යභාරය වුණේ රජතුමා සභාව අමතන්න එන විට ඔහුට අරක්ෂාව සැපයිමයි. පසුව රජුගේ පැමිණීමක් සිදු නොවූ නිසා ඔහුව සංකේතවත් කරන්නට සෙංකෝලය හඳුන්වා දුන්නා. වර්තමානයේ වේත්‍රධාරි තනතුරට පරිපාලනය බහුල වෙලා. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාවත් බාර ඔහුට. සෙංකෝලයේ ආරක්ෂාව හා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහලේකම්වරයාටත් කථානායකටත් වගකියන පුද්ගලයා වේත්‍රධාරී.

පාර්ලිමේන්තුවේ සියලු උත්සව කටයුතු සංවිධානය කරන්නේ වේත්‍රධාරී. අමුත්තන් පරිපාලනය හා ගැලරි පරිපාලනය කරන්නේත් ඔහුයි. ඒ වගේම සභාව පැවැත්වීමත් මගේ කටයුත්තක්. සභා ගැබේ දී කථානායකවරයා දෙන නියෝග ක්‍රියාත්මක කළ හැකි එකම පුද්ගලයාත් වේත්‍රධාරිවරයායි.

මොකක්ද සෙංකෝලය කියන්නේ ?

සෙංකෝලය අපේ පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතයක්. අපට සෙංකෝලය ලැබෙන්නේ 1949 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ත්‍යාගයක් වශයෙන්. එය නිර්මාණය කළේ නැසීගිය කලාශූරි එස්. බී. චාර්ල්ස් මහතා. ඒ සමඟම ත්‍යාගයක් ලෙස කථානායක අසුනත් ලැබුණා. සෙංකෝලය පාර්ලිමේන්තුව ආරම්භයට පෙර සංකේතයක් වශයෙන් රැගෙන ආ යුතුයි. අවසන් වූ පසු නැවතත් රැගෙන යා යුතුයි. ස්මයිල්, ආනන්ද සිල්වා, රොනි අබේසිංහ, විජය පල්ලියගුරුගේ, අනිල් පරාක්‍රම සමරසේකර මහතාගෙන් පසුව තමයි මම මේ තනතුර බාර ගත්තේ. රොනී අබේසිංහ මහතා තමයි වසර 26 ක් වැනි දීර්ඝ කාලයක් වේත්‍රධාරි තනතුර දැරුවේ.

කොහොමද සෙංකෝලය රැගෙන යෑමට ඔබ සූදානම් වන්නේ?

පාර්ලිමේන්තු රැස්වීම මාසයකට දින 8ක් තියෙනවා. විනාඩි 5කට කලින් ගණපූර්ණ සීනුව නාද වෙනවා. සෙංකෝලය සුරක්ෂිතව තිබෙන්නේ මගේ නිල මැදිරියේ. ඒ කැබිනෙට්ටුව අරින්න පුළුවන් මටත් නියෝජ්‍ය හා සහකාරි වේත්‍රධාරි යන අපි තිදෙනාට පමණයි. සමාන්‍ය රැස්විම් දිනක අප අඳින්නේ සුදුපාට නිල ඇදුම. උත්සව අවස්ථාවකට වෙනම නිල ඇඳුමක් තියෙනවා. ඇයවැය, රාජ්‍ය නායකයෙකු පැමිණීමේදි හා උත්සව අවස්ථාවේදි අපි අඳින්නේ ඒ විශේෂිත ඇඳුමයි.

පාර්ලිමේන්තු සභා ගැබට ආයුධයක් ගෙන ආ හැකි එකම පුද්ලයා වේත්‍රධාරියා කියා කියනවා..?

උත්සව වලට අඳින විශේෂ නිල ඇඳුමේ තියෙනවා කඩුවක්. කඩුව නිල ඇඳුමේ කොටසක්. වේත්‍රධාරි තනතුර රියල් අද්මිරාල් තනතුරට, නැති නම් මේජර් ජනරාල් හෝ වින් කමාන්ඩ් තනතුරට සම කරනවා.

සෙංකෝලය පාර්ලිමේන්තුවේ තැබුවාට පසුව ඔබට නිල මැදිරියට යා හැකිද?

අප තිදෙනාගෙන් අයකු අනිවාර්යෙන්ම සභා ගැබේ රැඳී සිටිනවා. එසේ කරන්නේ සභා ගැබ ඇතුළතදී සෙංකෝලය ආරක්ෂා කරන්න. පාර්ලිමේන්තුව පනත් අවස්ථාවේ සිට හදිසියේ කාරක සභා අවස්ථාවට පැමිණෙන්නේ නම් සෙංකෝලය හදිසියේම පහත මාලයේ රැදවිය යුතුයි. ඒ අවස්ථාවේදි ඒ කටයුත්ත කරන්න අප තිදෙනාගෙන් අයකු රැඳි සිටිය යුතුයි.

සෙංකෝලය මිල කළ හැකිද?

එදා වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 2500ක්. අද වටිනාකම මිල කළ නොහැකියි. 1949 සිට අද දක්වා ආරක්ෂා කරගෙන පැමිණියේ මේ සෙංකෝලයයි. රන්, රිදී, නිල් මැණික් හා දියමන්තිවලින් යුතුයි. මෙය සාදන්න නිල් මැණික් යවා ඇත්තේ අපේ රටින්. කිලෝ ග්‍රෑම් 13.2ක් බර සෙංකෝලය අතදරා සිටීමට හැකි අයෙකු වේත්‍රධාරි විය යුතු නිසා මේ තනතුරට බඳවාගැනීමේදි පෞරුෂය වැදගත්.

නොවැම්බර් 16 දා පාර්ලිමේන්තුවේ ඔබ අත්විඳි ඒ සිදුවීම් හි අපි නොදුටු පැත්ත විග්‍රහ කළොත්..?

ඒ අවස්ථාවේදි අපි කථානායකතුමාට නිවැරැදි උපදෙස් දුන්නා. අපි පක්ෂග්‍රාහි වුණේ නැහැ. ඒ දින තුනෙන් පළමු දිනයේදී සෙංකෝලය උදුරාගන්න හදද්දි මම සෙංකෝලය රැකගන්න දැඩි උත්සාහයක් ගත්තා. සභා ගර්භයේ මන්ත්‍රීන් හැසිරෙන ආකාරය අනුවත්, හිතවත් අයගෙන් ලැබුණු තොරතුරුත් අනුව එදා අපිට තේරුණා සෙංකෝලය ගන්න සැරසෙන බව. මම නියෝජ්‍ය වේත්‍රධාරිට එන්න කිව්වා ඇතුළට. මන්ත්‍රීවරුන්ට පෙර අපි සෙංකෝලය ආසන්නයට ගියා. එක්කෙනෙක් දෙන්නක් එක්ක නම් ආරක්ෂා කර ගන්න පුළුවන්. නමුත් එදා වැඩි පිරිසක් එන බව දැනුණාම අපි ඥානාන්විතව සූදානම් වුණා.

මම මගේ දෑතට සෙංකෝලය අරගෙන තර්ජනයක් නැති පැත්තට ගියා. මට මතක විදියට විනාඩි 30ක් විතර සෙංකෝලය උසුලාගෙන සිටියා. මේ අවස්ථාවේ කථානායක අසුන අසල විවිධ දේ සිදු වෙමින් තිබුණා. මම තර්ජනයක් නැති පැත්තට වෙලා සෙංකෝලය ආරක්ෂා කරන ගමන් මගේ නියෝජ්‍යවත් සහකාරවත් ඇරියා කථානායකවරයා ආරක්ෂා කරන්න. මගේ ප්‍රධාන රාජකාරිය කථානායකවරයාත් සෙංකෝලයත් ආරක්ෂා කිරීමයි.

16 වැනි දා බරපතළ සිදු වීම වෙද්දි ඔබ කොහොමද එයට මුහුණ දුන්නේ ?

එදා ඊට වඩා බරපතළ දෙයක් සිදු වන බව කලින්ම අපට වාර්තා වුණා. සෙංකෝලය රැගෙන එන දොරටුව ‍ළඟ සිට ඒ කටයුත්තට විනාඩි 5-10 ක් අතර කාලයක් සූදානම් වෙනවා. නමුත් සෙංකෝලය ගෙන ඒම වළක්වන්න කටයුතු කරන බව ආරංචි වුණා. එදා පාර්ලිමේන්තු රැස්වීම මාධ්‍යට විවෘත කරලා තිබුණු නිසා සභා ගැබ ඇතුළත වෙන දේවල් අපි සජීවිව දැක්කා. ගණ පූරණ සිනුව නාද කළත් මන්ත්‍රී පිරිසක් කථානායක අසුන වට කරගෙන සිටියා. තව පිරිසක් සෙංකෝලය රැගෙන එන මාර්ගය වටලලා තිබුණා. මම සෙංකෝලය සුරක්ෂිතව තබා කථානායකවරයා හමුවන්න ඔහුගේ කාමරයට ගියා, ඉදිරි සැලසුම ගැන කතා කරන්න.

ඒ අවස්ථාවේ කථානායකවරයා ඔබට මොනවද පැවැසූයේ?

මම යන විට එතුමාත් රූපවාහිනිය නරඹමින් හිටියේ. පාර්ලිමේන්තුව යම් දවසකට කල් තැබුවායින් පසුව එදිනට රැස් විය යුතුමයි. ඒ නිසා පාර්ලිමේන්තුව ක්ෂණිකව පවත්වන්න යම් දෙයක් කළ යුතු වුණා. ඒ අවස්ථාවේ කථානායක අසුන අසල කිහිප දෙනෙක් හිටියා. ඒ අය එතුමාට උපදෙස් දුන්නේ යන්න එපා කියලා. මම කිව්වා මම වගකීම ගන්නවා කියලා. මම එතුමාත් එක්ක කතා කළා. පස්සේ මම එතුමාගෙන් ඇහුවා සභා ගර්භයට මාත් එක්ක යන්න එනවද කියලා. කථානායකතුමා ඉතා ධෛර්යවන්ත නිසා එතුමා මට කිව්වා ‘මම හිටපු හමුදා නිලධාරියෙක්. ඕනෑම දේකට මම සූදානම්. ඔබ සැලැස්ම සකස් කරන්න‘ කියා.

මම මගේ සැලැස්ම සුදානම් කළා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පොලීසියේ සහාය අවශ්‍යයි. එයට කථානායකවරයාගේ අනුමැතිය මට අවශ්‍ය බව කිව්වා. ඒ අවස්ථාවේදිම එතුමා මට අනුමැතිය දුන්නා. මම කිව්වා ඒ විතරක් මදි, ඔබ පාර්ලිමේන්තුවට ගිය ගමන් ඒ බව ලිඛිතව සඳහන් කළ යුතුයි කියා.

ඒ අංශය භාර සහකාර අධ්‍යක්ෂ එතැනට පැමිණියා. ඔහු වහාම කථානායකවරයාගේ පණිවිඩය සකස් කළා. දෙවැනිව අපි ඇතුළට යන විදිය ගැන කල්පනා කළා. අපිට ඇතුළට යා හැක්කේ විපක්ෂය පැත්තේ පළමු හෝ දෙවැනි දොරටුවෙන්. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරිතුමා කැඳෙව්වා. මම කිව්වා මට පොලිසියේ පිරිසක් අවශ්‍යයි. ඒ අනුව පළමුවෙන්ම ඇතුළට පුටුවක් යවන්න අපි තීරණය කළා, ඒ කථානායකවරයාට වාඩි වෙන්න.

ඒ සැලසුම සකස් කරන්න කොපමණ කාලයක් ගත වුණාද?

විනාඩි 16ක් විතර ගියා. මුලින්ම පුටුවක් යවනවා. දෙවැනුව පොලිස් වළල්ලක් යවනවා. ඉන්පසුව ආරක්ෂක වළලු දෙකක් යවනවා. එයට පිටුපසින් සෙංකෝලය අරගෙන මම යනවා. මගේ පිටුපසින් තව ආරක්ෂක වළල්ලක් දමා කථානායකවරයා ගෙන යනවා. කථානායකවරයාගේ පිටිපසින් තවත් වළල්ලක් යනවා.

ඒ සැලසුමට කොපමණ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වුණාද?

කාන්තා පොලිස් නිලධාරනියන් ද සමඟ 45 දෙනෙකු පමණ සිටියා. කාන්තා නිලධාරිනියන් යොදාගත්තේ මන්ත්‍රීවරියන්ද ඊට හවුල් වූ නිසා. මට මතක් වුණා ඇතුළට ගියත් කථානායකවරයා මොකෙන්ද කතා කරන්නේ කියලා . අප එෆ්.එම්. මයික් එකක් සොයාගත්තා. ඒ තිබුණත් වැඩක් නැහැ. එය අපේ ක්‍රමවේදයට සම්බන්ධ නැති නිසා. නියෝජ්‍ය සම්බන්ධීකරණ ඉංජිනේරු ලලිත් අධිකාරි මහතා එම ස්ථානයට කැඳවා විනාඩි 5කින් විතර ඒ සම්බන්ධතාව ඇති කළා. ඒ අවස්ථාවේ දී කථානායකවරයාට වාඩි වීමට පුටුව අරගෙන ගිය සේවක මහතාගෙන් පුටුව උදුරාගැනීමට කලහලාරි මන්ත්‍රීන්ට හැකි වුණා. එය අපට අාශීර්වාදයක් වුණා. සියලු දෙනාගේ අවධානය පුටුවට ගියා. ඒ ආසන්නයේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ අයට වාඩි වෙන්න පුටු පේළියක් තියෙනවා. කථානායකවරයා එහි වාඩි වී ඉදිරි කටයුතු කළා.

ඒ අවස්ථාවේ පහරදීම් කොහොමද ඇරැඹුණේ?

පරීක්ෂණ සිදු වන නිසා ඒ ගැන කියන්න කැමැති නැහැ. මටත් කොටස් වශයෙන් වැදුණා. ඒත් සෙංකෝලය උදුරාගැනීමේ හැකියාවක් ඒ අයට තිබුණේ නැහැ. මම ඒ අයට පැමිණීමට නොහැකි ආකාරයෙන් දැඩි ආරක්ෂක වළල්ලක් දාලා තිබුණේ. ඒ අවස්ථාවේදි පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාව අගය කළ යුතුයි. ඔවුන් තමයි අපිව රැකගත්තේ.

එළියට ගිය පසු මොකද වුණේ..?

එළියට ගිය පසු අපට තවත් අභියෝගයක් ආවා. විපක්ෂ මන්ත්‍රීවරුන් අපව එළියෙන් වටලන්න හැදුවා. මම කථානායකවරයා අනෙක් පසින් එක්කගෙන ගිහින් අපි වෙනත් සෝපානයකට නග්ගට පස්සේ ඒ අයට අපි ගිය දිහා හොයා ගන්න බැරි වුණා. අපි ගියේ පොලිස් අධිකාරිවරයාගේ කාමරයට. කථානායකවරයා ඇඳ සිටි කොට් හිස් වැසුම් ගලවලා ඉක්මනින් නිල නිවාසයට පිටත් කළා.

එතුමා කොහොමද ඒ අවස්ථාවට මුහුණ දුන්නේ?

එතුමාට ටිකක් විතර වෙසෙහක් තිබුණා. ඒත් මම යන වේගයෙන්ම ගියා. විනාඩි 45ක් පමණ එතුමා කාමරයට වී ආරක්ෂිතව සිටියා.

මොනවද ලැබුණු ප්‍රතිචාර..?

අන්තර්ජාතිකව හා මෙරටින් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. මොකද ඒ සිදුවීම් ලෝක පාර්ලිමේන්තු ඉතිහාසවල නොවුණු දෙයක්. හැමෝම කිව්වේ මම කළේ මගේ රාජකාරියයි කියලා. මට ආපු අභියෝගය හරි දේ කරලා ජයගත්තා. ඒ නිසා මම ඒ මෙහෙයුමට නමක් තැබවා Operation enter the Chamber කියලා. මා විසින් කරන ලද ඒ කටයුත්ත වරප්‍රසාද පනත යටතේ උසාවියකින් හෝ අභියෝගයකට ලක් කළ නොහැකියැයි මම විශ්වාස කරනවා.

සුභාෂිණි ජයරත්න

 

අදහස්