ඛේමාගේ කොලුවා (Khema's Boy) හමු වීම | සිළුමිණ

ඛේමාගේ කොලුවා (Khema's Boy) හමු වීම

ඉන්ද්‍රචාපට ඛේමාගේ කොලුවා මුණ ගැහෙන්නේ මාර්තු 28 දා හවස් කාලයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී. ඉන්ද්‍රචාප සමීපරූප අතීතයට ගිහිං හොයල බලනවා මේ ඛේමා කවුරුද, ඛේමගේ කොලුවා කවුරුද, ඛේමගේ කොලුවගේ තාත්තා කවුරුද? මාතර දේශපාලන ඉතිහාසෙ චිත්‍රයක් සමගයි ඉන්ද්‍රචාපට අවශ්‍ය සමීපරූප පේන්නෙ. මහානාම සමරවීර හිටපු ඇමැතිතුමාගෙ සමීපරූපෙ ඉන්ද්‍රචාප දකින්නෙ ඒ කාලෙ මාතර දේශපාලනේට සම්බන්ධ හිටපු ඇමැති කෙනකුගෙ සමීපරූපයක් එක්ක. කොමියුනිස්ට් පක්ෂෙ බී.වයි. තුඩාවෙ ඒ රූපයෙ. ඛේමා පද්මවතී සමරවීර මහත්මිය. මංගල පින්සිරි සමරවීර හෙවත්, ඛේමගේ කොලුවා, ශ්‍රී ලංකාවෙ දේශපාලන ඉතිහාසෙ දශක තුනක ඉතිහාසයක පෙරළිකාර චරිතයක් විදියට දන්න කියන, අමාත්‍ය තනතුරු කීපයක්ම දරපු, දැනටත් මුදල් විෂයය වගේ ජනජීවිතයට ළඟින්ම බලපාන අමාත්‍ය තනතුරක් දරන චරිතය සමීපරූපයෙ. සම්මන්ත්‍රණ ශාලාව අතුරු සිදුරු නැතුව පිරිල ඉතිරිල ගිහිං තිබුණෙ මංගල සමරවීර කියන දේශපාලන චරිතයට සම්බන්ධ දැවන්තයන්ගෙ මුහුණුවලින්, ඔහුගෙ ගම් පළාතින් ඇවිත් හිටිය ආධාරකාරයන්, ආධාරකාරියන්, හිත මිත්‍රාදීන් ඇතුළු සුබ පතන්නන්ගෙන්. අවුරුදු 30 ක්, දශක තුනක් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ එක්ක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පටන් අරගෙන එක්සත් ජාතික පක්ෂයට ඇවිත්??

ඛේමගේ කොලුවට සුබ පතන්න එකතුවෙලා හිටපු දැවන්තයන්ගෙ සමීපරූප අතර වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිවරු, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන කොට ගත් ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලන මුහුණු. රතු සහෝදරයකුගෙ මූණක් සමීපරූප අතරෙ ඇඳුණෙ නෑ වගෙයි ඉන්ද්‍රචාපට මතක. මේ කොලුව ගැන ප්‍රධාන දේශනය පවත්වන්න ආපු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ හිටපු එක්සත් ජනපද තානාපතිනී, සැමැන්තා පවර් නෝනගෙ සමීපරූපයත් ඒ අතර. විදේශ අමාත්‍යව ඉන්දෙද්දි මංගල සමරවීර ඇමැතිතුමා රටේ විදේශ ප්‍රතිපත්තියට සම්බන්ධව වැඩ කළ දක්ෂකම, ඔහුගෙ පරිණතභාවය වගේ කාරණා ගැන පවර් නෝනා මතක් කළේ.

හිටපු ජනාධිපතිනි වගේම වර්තමාන ජනාධිපතිතුමත් ඛේමගේ කොලුවගේ කාර්ය සාධනය ගැන සිහිපත් කළේ මංගල සමරවීර අමාත්‍යවරයා යටතෙ තිබුණු අමාත්‍යාංශ කීපයක්ම ඉටු කළ සුවිශේෂී කාර්යභාර මතක් කරමින්. පළාත්පාලන, නිවාස ඉදිකිරීම්, විදුලි සංදේශ, තැපැල්, සිවිල් ගුවන් සේවා හා ජනමාධ්‍ය, නාගරික සංවර්ධන ඉදිකිරීම් හා මහජන උපයෝගීතා, විදේශ කටයුතු, මුදල් ඒ අමාත්‍යාංශ කීපයක්. ඛේමගේ කොලුවා හෙවත් මංගල සමරවීර කියන තාරුණ්‍යයෙ හිටපු ඇමතිවරයගෙ දුරදක්නා නුවණින් පටන් ගත්ත නාගරික සංවර්ධන කටයුතුවල සමීපරූප ඉන්ද්‍රචාප අදත් දකිනවා. බේරේ වැව සංවර්ධනය, ගාලු මුවදොර පිටියට නව මුහුණුවරක් එක් කිරීම, මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ඉදි කළ මහල් නිවාස යෝජනා ව්‍යාපෘති ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට ඇවිත්.

තැපැල් අමාත්‍යාංශෙ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශෙත් හොඳම කාල වකවානු ගෙවුණෙ මංගල ඇමැතිතුමා හිටපු කාල වකවානුවල කියන කතාව ඉන්ද්‍රචාපට බොහෝ වාරවල ඇහිල තියෙනවා. ඒ කතාව ඇත්තක් බව මේ අමාත්‍යාංශ නිලධාරි මණ්ඩල හොඳින්ම දන්න බව රහසක් නම් නෙවි. ලන්ඩනයේ සාන්ත මාර්ටින් කලා පාසලෙහි ( St.Martins' School of Art in London) මෝස්තර හා රෙදිපිළි සැලසුම් නිර්මාණකරණය (Fashion & Textile Designing) පිළිබඳ උපාධිධාරියකු වීම නිසාදෝ, මංගල සමරවීර දේශපාලනඥයගෙ චින්තනයෙත් හැම වෙලාවෙම නිර්මාණශීලී ගුණයක් පෙනුණ කියල ඉන්ද්‍රචාපට හිතෙනව.

සිහිනයේ අභියෝගය ඉදිරියෙ ඉන්න මංගල ඇමැතිතුමාගෙ, දර්ශනයෙ විශේෂ ලක්ෂණ කීපයක්ම ඉන්ද්‍රචාප දකිනව. ජනවාර්ගික සංහිඳියාව, නව මැතිවරණ ක්‍රමය, කාන්තා නියෝජනය, කැබිනට් ධූර කප්පාදුව, පක්ෂ මාරුවට තිත තැබීම, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම්, ඉන් කීපයක් විදියට ඉන්ද්‍රචාපට පේනවා. සුදු නෙළුමක පිවිතුරු බව ඛේමගේ කොල්ලගේ තිස් වසරක දේශපාලන ඉතිහාසය පුරාම පෙනුණු බව තමයි, බොහෝ දෙනාගෙ හැඟීම වුණේ. බලය තියෙද්දි වගේම බලය නැතිව ඉන්න කොටත් අත්හැර නොගොස් හිටපු ගමේ හිතමිත්‍රාදීන්ට කෘතවේදීත්වය පළ කළ ඛේමගේ කොලුවා ඔහු තුළ ඇති ගමේකමත් එදා ප්‍රදර්ශනය කළා කියල ඉන්ද්‍රචාප හිතනව.

- ඉන්ද්‍රචාප

Comments