අංශ 6කට බදු සහන | සිළුමිණ

අංශ 6කට බදු සහන

මේ වසරේදී රජයට ලැබිය යුතු රුපියල් මිලියන 3300 කට අධික ආදායම් බදු අහිමි කරගනිමින් අංශ හයක දියුණුව සඳහා රජය අයවැයෙන් බදු සහන ලබාදී තිබේ.

මේ අන්දමට රජයට ලැබිය යුතු ආදායම් අහිමි කරගනිමින්, රජය ආයෝජකයන්ට බදු සහන පිරිනැමුවේ තොරතුරු තාක්ෂණ, ජීවිත රක්ෂණ හා පුනර්ජනනීය බලශක්තිය ඇතුළු අංශ හයක දියුණුවක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙ‍ෙළ් ය.

ජනතාවට ජීවන වියදම අඩු කරගැනීමට විදුලිය සඳහා වන වියදම අඩු කරගත යුතු ය. ඒ අනුව ජීවිත රක්ෂණ, තොරතුරු තාක්ෂණ සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රවල නව ආයෝජන සිදු කරන්නන්ගෙන් ආදායම් බදු අය නොකිරීමට 2019 අයවැයෙන් යෝජනා කොට ඇත. ඉන් රජයට රුපියල් මිලියන 3315 ක ආදායම් බදු මුදලක් රජයට අහිමි වන බවට ඇස්තමේන්තු කොට ඇතැයි ද මංගල සමරවීර මහතා කීය.

ජාතික අයවැයක් මඟින් රජය ආයෝජකයන්ට පිරිනමන විශේෂ බදු සහන ලබාදීම්, වාසිසහගත බදු අනුපාත ලබාදීම් හෝ බදු බැඳියාව අත්හිටුවීම සඳහා බදු පදනම ඉවත් කිරීම්, නිදහස් කිරීම හෝ අඩු කිරීම යනාදිය සඳහා කොපමණ මුදලක් කැප කරන්නේ දැයි ඇස්තමේන්තු කිරීම මෑතක සිට මෙරටට හඳුන්වා දුන් බව කී මුදල් ඇමැතිවරයා එය ජාත්‍යන්තරයේ පිළිගත් අයවැය සැකසීමේ ක්‍රමවේදයක් බව ද කීය. රජය තමන්ට ලැබිය යුතු ආදායම් බදු අහිමි කරගනිමින් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කිරීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 03 ට අඩු නව ආයෝජන සහ අන්තර්ජාතික තලයේ ආයතනයක මූලස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමේදී රජය බදු සහන සලසා ඇත.

 

Comments