ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ‍සොඳුරු මතක | සිළුමිණ

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ‍සොඳුරු මතක

විලියම් ජේ. මෝගන් 1895 දී ඇමරිකාවේදී හඳුන්වා දුන් වොලිබෝලය 1916 දී ශ්‍රී ලංකාවට ආගමනය විය. ඒ එවකට කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි වෝල්ටර් ජේ. කැමැක්ගේ මඟ පෙන්වීම යටතේය. 1951 සැප්තැම්බර් මස 4 වන දින ලංකා වොලි‍බෝල් සම්මේලනය පිහිටුවීමත් සමඟ ක්‍රීඩාවක් වශයෙන් නිල පිළිගැනීම වොලිබෝලයට හිමි විය. මෙම ලිපියේ තෙවන කොටසයි මේ...

ෆ්‍රෑන්ක් ගෝමස් මෙහෙයවූ කඳාන ද මැසනොඩ් විදුහල 1964 සහ 1965 වර්ෂවලදීත් ඩී.වී.කේ. සමරසිංහගේ නායකත්වයෙන් පාණදුර මහානාම විදුහල 1966 වර්ෂයේදීත් ඊ.එස්. නවරත්නගේ නායකත්වයෙන් 1967 වර්ෂයේ දී ගම්පහ රාහුල විදුහලත් ජයන්ත පෙරේරාගේ නායකත්වයෙන් ගම්පහ මාබිම විද්‍යාදීප පිරිවෙන 1968 සහ 1969 වර්ෂවලදීත් ලංකාදීප කුසලානය දිනා ගැනීමට සමත් විය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් පිරිමි වොලිබෝල් ශූරතාව 1960 වර්ෂයේ දී ගම්පහ බණ්ඩාරවත්ත රජයේ පාසලත් 1961 දී ඉබ්බාගමුව මැදි විදුහලත් 1962 වර්ෂයේදීත් තෙලිජ්ජවිල මැදි විදුහලත් 1963 වර්ෂයේ දී පොතුපිටිය මහ විදුහලත් විසින් දිනා ගනු ලැබීය.

මිනුවන්ගොඩ මැදි විදුහල 1964 වර්ෂයේදීත් පාණදුර මහානාම විදුහල 1965 වර්ෂයේදීත් මීරිගම මැදි විදුහල 1966 වර්ෂයේ දී ගලහිටියාව මැදි විදුහලත් 1967 වර්ෂයේදීත් පොතුපිටිය මහ විදුහල 1968 වර්ෂයේ දී අධ්‍යාපන දෙපාර්තමේන්තු වොලිබෝල් ශූරතාව දිනා ගත් පාසල් වේ.

ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම වොලිබෝල් පරිපාලකයා සහ විනිසුරුවරයා වූ විල්සන් පරණගම මයා 1960 - 1970 දශකයේ ජාතික තරග මාලාවන් පිළිබඳ ලියුම්කරු සමඟ තම අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ජාතික අන්තර් සමාජීය තරග මාලාවේ 1967 වර්ෂයේ කොළඹ වෝකර්ස් සහ යුද හමුදා කණ්ඩායම් අතර පැවැති අවසන් තරඟයත් 1968 අන්තර් දිස්ත්‍රික් තරග මාලාවේ යුද හමුදාව සහ මීගමුව නවක තරු අතර පැවැති අවසන් තරගයත් 58 වසරක් සපිරෙන තම ක්‍රියාකාරී වොලිබෝල් දිවියේ තමන් දුටු හොඳම වොලිබෝල් තරගය බවය. මෙම යුද හමුදා වෝකර්ස් වොලිබෝල් අවසන් තරගය 1967 මැයි මස 11 වන දින සිලෝන් ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර තිබුණි. එසේම වෝකර්ස් පිල ලකුණු 15-12, 9 - 15, 15-11, 11-15 සහ 15-13 ක් වශයෙන් පසුගිය වර්ෂයේ ශූරයින් වූ යුද හමුදා පිල පරාජය කළේ 3000 කට අධික වූ නරඹන්නන් ඉදිරියේ බව ද වැඩි දුරටත් ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරයි.

ජාතික අන්තර් සමාජීය හා අන්තර් දිස්ත්‍රික් ශූරතාවයන් දෙකම 1968 වර්ෂයේ දී තමා උපන් ගමට ගෙන ඒමට මීගමුව නවක තරු කණ්ඩායමට නායකත්වය ලබා දුන් ජෝර්ජ් ප්‍රනාන්දු ලියුම්කරු සමඟ පැවසුවේ එම ජයග්‍රහණය ලබා වසර 50 ක් සපිරී ස්වර්ණ ජයන්තිය සමරන මොහොතේ 1968 ශූරතාවයන් දෙකම තමන්ගේ උපන් ගමට - පුංචි රෝමයට රැගෙන ඒමට තමන් ඇතුළු කණ්ඩායම

සමත්වීම අදටත් මතකයේ රැඳෙන තම ක්‍රිඩා ජීවිතයේ කිසි දිනෙක අමතක නොවෙන සදාතනික සිහිවටනයක් බවයි. 1969 මාර්තු මස 15 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති 1968 අන්තර් දිස්ත්‍රික් තරග මාලාවේ අවසන් තරගයේ දී යුද හමුදා කණ්ඩායම පැරදවීම සැබවින්ම යථාර්ථයක් වූ සිහිනයක් බවයි. ලකුණු 15-5, 15-6 ට මුල් තරග වට දෙකම යුද හමුදාවට පරාජය වී ලකුණු 3-12 වශයෙන් 3 වන වටයේ පසුපසින් සිට තරගය ජය ගනිමින් අන්තර් දිස්ත්‍රික් ශූරතාවයත් එයට දින 5 කට පසු 1969 මාර්තු 20 වන දින පැවැති ජාතික අන්තර් සමාජීය ශූරතාවයේ දී තරග වට 3-1 කින් තුඩැල්ල එක්සත් කණ්ඩායම පරාජය කරමින් ජාතික අන්තර් දිස්ත්‍රික් සහ සමාජීය ශූරතාවයන් දෙකම මීගමුව නම්වූ පුංචි රෝමයට ගෙන ඒමෙන් තැබූ වාර්තාව අදටත් මීගමුව ක්‍රිඩා ලෝලීන් ආදරයෙන් සිහිපත් කරන බවයි.

මෙම ජයග්‍රහණයන් සඳහා වසර 50 ක් ගතවුවද අද දක්වා කිසිදු ක්‍රිඩාවකින් ජාතික ශූරතාවයක් මීගමු පුරවරයට ගෙන ඒමට තවමත් කිසිවකු සමත් නොවීම පිළිබඳ සියුම් කනගාටුවක් තමන් තුළ ඇති බැව් ජෝර්ජ් ප්‍රනාන්දු පැවසුවේ ජෝ ජයවර්ධන, එම්මානුවෙල් ප්‍රනාන්දු එම්.ඊ. ප්‍රනාන්දු, එම්.පී. පෙරේරා, නෙල්සන් වීරක්කොඩි සහ ගාමිණි සිල්වා යන තම කණ්ඩායම් සගයන්ද ආදරයෙන් සිහිපත් කරමිනි.

Comments