දිනන්න තිබුණු මැච් එක ඩී.එස්.ගේ මරණින් වැළැකුණා - සිසිර අමේන්ද්‍ර | සිළුමිණ

දිනන්න තිබුණු මැච් එක ඩී.එස්.ගේ මරණින් වැළැකුණා - සිසිර අමේන්ද්‍ර

ආදරවන්තයන්ගේ සටන නමින් ප්‍රකට ගාල්ල රිච්මන්ඩ් - මහින්ද විදුහල් අතර මහා ක්‍රිකට් ගැටුම 15 සහ 16 දා ගාල්ලේ දී පැවැත්වෙයි. මෙකී දෙවිදුහල් අතර මහා ක්‍රිකට් ගැටුමේ ඉතිහාසය හාරා අවුස්සා බැලීමේදි මහින්ද විද්‍යාලයේ අමේන්ද්‍ර සොහොයුරන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. අමේන්ද්‍ර පවුලේ අයියා මලෝ නව දෙනාම (1951 - 73) දශක දෙකකට අධික කාලය තුළ මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට පිවිස තිබේ. මෙකී අමේන්ද්‍ර පවුලේ වැඩිමහල් ම සොහොයුරා වන්නේ සිසිර අමේන්ද්‍රයි. දැනට අසූ තුන්වන වියේ පසුවන සිසිර සමඟ කතාබහකට ක්‍රීඩාවෙන් කළ ඉඩයි මේ.

මුළු පවුල ම ක්‍රිකටර්ස්ලානේ.

ක්‍රිකටර් කෙනෙක් වෙන පසුබිම හැදුණේ කොහොමද?

අපේ පවුලේ ඔක්කොම පිරිමි ළමයිනේ. අපේ පවුලේ පිරිමි නවදෙනයි. අපි ඉතින් ඔය අතට අහුවෙන ලෑලි කෑලි පොලු කෑලි අරගෙන ගේ ඇතුළේ ක්‍රිකට් ගහනවා.

අ‍පේ ගෙදර ලොකු මිදුලක් තිබුණා. දවල්ට අපි මේ මිදුලේ තමයි ක්‍රිකට් ගහන්නේ. බැඩ්මින්ටන් ගහන්නත් වෙනම තැනක් හදා ගත්තා. ෆුට්බෝල් ගහනවා. මේ මොන දේ ගැහුවත් අපි නව දෙනා ම අන්තිමේට ප්‍රසිද්ධ වුණේ ක්‍රිකට් ක්‍රීඩකයෝ විදියටයි.

නව දෙනාම මුල ඉඳල ම ඉගෙන ගත්තෙත් මහින්ද විද්‍යාලයේ ම ද?

ඔව්. අපි නව දෙනාම ඉගෙන ගත්තේ මහින්ද විද්‍යාලයේ තමයි. අපේ ගෙදරට අල්ලපු වැටේ තමයි ගාල්ල සංඝමිත්තා විද්‍යාලය තියෙන්නේ.

මම මහින්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්තේ. කිසි කෙනෙක් ගෙදරින් එළියට බහින්නෙවත් නෑ. අම්මා මාව මහින්ද විද්‍යාලයෙන් අස් කරලා අල්ලපු වැටේ තියෙන සංඝමිත්තා විද්‍යාලයට දැම්මා.

අම්මා එහෙම අස්කරලා සංඝමිත්තා ඉස්කෝලේ දැම්මට කැමැති වුණාද?

අපෝ නෑ. මම ගෙදරට වෙලා ඔහේ අඬ අඬා හිටියා. ඉස්කෝලේ ගියේ නෑ. ඊට පස්සේ ආයෙත් මම එතැනින් අස්කරලා මහින්ද විද්‍යාලයට දැම්මා.

අම්මා - තාත්තා මොනවාද කළේ?

මම ඉපදුෙණ් 1935 දෙසැම්බර් මාසයේ. අම්මා නෙලී අමේන්ද්‍ර ගෙදර වැඩ කටයුතු කරගෙන හිටියා. තාත්තා විලියම් අමේන්ද්‍ර දුම්රිය දෙපාර්තමේන්තුවේ එංජින් සම්බන්ධයෙන් ප්‍රධාන ඉංජිනේරුවකු විදියට තමයි වැඩ කළේ. දුම්රිය එංජින්වල තත්ත්ව පරීක්ෂාව කළේ තාත්තා. ඒ කාලයේ සුද්දන්ට ගෙවන වැටුප තමයි තාත්තාට හම්බ වුණේ. ස්ටර්ලිං පවුම්වලින් තමයි තාත්තා වැටුප් අරගෙන තියෙන්නේ.

ඒ වගේ ලොකු වැටුපක් හම්බ වෙච්ච නිසා තමයි අපි නව දෙනාට ම අඩුපාඩුවක් නැතුව හැදෙන්න උදවු වුණේ. අම්මා පෝසත් පවුලක කෙනෙක්. අම්මට හොඳට වත්කම් තිබුණා.

තාත්තා එහෙම ක්‍රීඩා කරනවාට කැමැතිද?

අපෝ නෑ. තාත්තා හරියට විරුද්ධයි අපි ක්‍රිකට් ගහනවාට. අම්මා විරුද්ධ වුණේ නෑ. අම්මා කොළඹ මියුසියස් විද්‍යාලයේ නෙට්බෝල් ක්‍රීඩා කරලා තියෙනවා. අම්මා පාසල් කාලය අවසන් වෙනවත් එක්කම තමයි කසාද බැඳලා තියෙන්නේ. එංජින් එකක් ස්ටාර්ට් කර ගන්න බැරි වුණොත් රෑ, දවල් කියලා නෑ තාත්තා යන්න ඕනෑ ඒක ස්ටාර්ට් කරලා දෙන්න. සමහර දවස්වලට මහා රෑ කට්ටිය එනවා තාත්තව එක්ක ගෙන යන්න.

ක්‍රිකට්වල තිබෙන හොඳ ම මතකය මොකක්ද?

රිච්මන්ඩ් - මහින්ද මහා ක්‍රිකට් ගැටුමේ මම ලකුණු 62 ක් ගැහුවා. ඒ 1956දී. මම ලකුණු 62යි. ඩී.එච්. ද සිල්වා 99 එයා ශ්‍රී ලංකා කණ්ඩායමටත් ක්‍රීඩා කළා.

අපේ විකට් දෙකක් දැවී ගිහින් තියෙන කොට තමයි අපි දෙන්නා එකතු වුණේ. අපි දෙන්නා හොඳට විකට් එක දෙන්නේ නැතුව අල්ලගෙන ක්‍රීඩා කළා.

දෙන්නාගෙන් ඉස්සෙල්ලා අවුට් වුණේ කවුද?

මම කඩුල්ල මුවා කළා කියලා අවුට් වුණා. ඩී.එච්. 99 ක් ගැහුවා.

ක්‍රිකට් තරගවලට පිට යන කොට කොහොමද?

මගේ ඉස්සෙල්ලාම අවුරුද්දේ තාත්තා යන්න දුන්නේ නෑ. 1951 දී තමයි මම ඉස්සෙල්ලාම මහින්ද විද්‍යාලයට ක්‍රීඩා කළේ. කොහොම හරි මගේ පළමු වැනි පිට පළාත් තරගයට යන්න බැරි වුණා.

ඉස්කෝලෙන්වත් - අම්මාවත් මොකුත් කිව්වේ නැද්ද?

මහින්ද ඉස්කෝලේ විදුහල්පතිතුමා ටීම් එකේ නායකයා අතේ ලියුමක් තාත්තාට එව්වා.

විදුහල්පති එවූ ලියුමෙන්වත් වැඩක් වුණාද?

මොන වැඩක්ද? තාත්තා ඒ ළමයාට හොඳටෝ ම බැනලා එළවා ගත්තා. නන්ද ගුණතිලක කියලා කෙනෙක් තමයි ඒ දවස්වල මහින්ද ක්‍රිකට් ටීම් එකේ නායකයා වුණේ.

පස්සේ තාත්තා එයාගේ මල්ලි කෙනෙකුට කියලා තියෙනවා මම මෙහෙම ලොකු එකාව මැච් එකකට එක්කර යන්න ආපු ළමයකුට බැන්නා කියලා. ඊට පස්සේ බාප්පා තමයි කියලා තියෙන්නේ එහෙම කරන්න එපා කියලා.

මොකක්ද මැච් එක?

කොළඹ ආනන්ද මැච් එක. කොළඹ තමයි මැච් එක තිබ්බේ.

තාත්තාගේ කැමැත්ත හම්බ වුණේ කොහොමද?

තාත්තා හුඟක් වෙලාවට වැඩ කළේ පිට පළාත්වල. අනුරාධපුරය, ත්‍රිකුණාමලය වගේ තැන්වල තමයි වැඩිපුරම වැඩ කළේ. ඒ දවස්වල ඉඳල ම තාත්තා තමයි ක්‍රීඩා කරනවාට විරුද්ධත්වය තිබුණේ. අම්මගෙන් නම් කිසිම විරුද්ධත්වයක් තිබුණේ නෑ. අම්මට කොහොමත් කොල්ලෝ නව දෙනා පාලනය කරන එක ලෙහෙසි නෑ.

තාත්තා ගෙදර එනකොට බැට් බෝල ඔක්කොම හංගනවා. කොහොම හරි අන්තිමේ තාත්තාගේ කැමැත්ත ලැබුණා. අපේ තව බාප්පා කෙනෙක් හිටියා. එයා තමයි කියලා තියෙන්නේ ක්‍රිකට් ගැහුවොත් ඉගෙන ගන්න බැරි වෙයි කියලා.

තාත්තා ගෙදර ඉන්නකොට ක්‍රිකට් ගහලා අහුවෙලා එහෙම තිබෙනවාද?

නෑ.. නෑ. තාත්තා ගෙදර ඉන්න කොට අපි කවුරුවත් බැට් එකක් බෝලයක්වත් අතින් අල්ලන්නේ නෑ. ඒවා ඔක්කොම හංගලා තියෙන්නේ.

හංගලා තිබ්බ ඒවා තාත්තාට අහුවෙලා ම නැද්ද?

කවදාවත් ම නෑ. එයා හිතාගෙන ඉන්නේ අපි පාඩම් කරන අය කියලා. එහෙම ඉස්කෝලේ වැඩ කරගෙන ඉන්නවා කියලා. තාත්තා අවුරුදු පනහේ දී විශ්‍රාම ගියා. හරි නම් පනස් පහේ දී යන්න ඕනෑ. තවත් අවුරුදු පහක් ඕනෑ නම් ඉන්න තිබුණා. කැමැත්තෙන් ඉල්ලා අස්වෙන්න අවස්ථාව ආවා. එතැන දී තමයි ඉල්ලා අස් වුණේ.

තාත්තා අස්වෙන එකට අම්මගේ විරුද්ධත්වයක් එහෙම තිබුණේ නැද්ද?

අම්මා ටිකක් විරුද්ධ වුණා. අපට ඒ දවස්වල කාර් එකක් තිබ්බේ නෑ. අම්මා කිව්වේ, අපට කාර් එකක් නෑ, කාර් එකක් ගන්නකම් වැඩ කරන්න කිව්වා. ඒත් තාත්තා ඒකට කැමැති වුණේ නෑ.

විශ්‍රාම ගිහින් තාත්තා කළේ මොනවාද?

අපට තේ අක්කර නවයක් තිබ්බා. ඒවා බලාගෙන ඉන්නවා කියලා කිව්වේ.

ගම විදියට සලකන්නේ ගාල්ලම ද?

ඔව්. ගාල්ල ටවුන් එකම තමයි. ඒ නගරයේ අය වැඩිපුරම කළේ රජයේ රැකියා. අපේ තාත්තගේ පවුලේ දහයකට වැඩියි. අම්මාගේ පවුලේ අම්මයි, නංගියි විතරයි‍.

සහෝදරයෝ පස් දෙනෙක් ක්‍රීඩා කිරීමත් ඒ දවස්වල ලොකු කතා බහක් ඇති කළානේ. සහෝදරයෝ පස් දෙනාම ක්‍රීඩා කළ තරග මොනවාද?

1957 දී ගහපු තරගවල දී අපි පස් දෙනෙක් ක්‍රීඩා කළා. රිච්මන්ඩ් - මහින්ද බිග්මැච් එකට, නාලන්ද මැච් එක තිබ්බේ කොළඹ එස්.එස්.සී. පිටියේ, තවත් මැච් කිහිපයකට ම, මම නායකයා, පර්සි, විකට් රැක්කා, ස්ටැන්ලි, තිස්ස සහ රාජා තමයි ඒ මැච්වලට ක්‍රීඩා කළේ.

නාලන්ද මැච් එකේ මොන වගේ මතකයක්ද තියෙන්නේ?

මම ඉනිම් දෙකේදීම පනහේ දෙකක් ගැහුවා. හැබැයි මට මතක විදියට ඒ මැච් එක අපි පැරදුණා.

මුල දී තාත්තා අකැමැති වුණාට පස්සේ හරි අම්මා - තාත්තා මැච් බලන්න ආවද?

තාත්තා රැකියාවෙන් අයින් වෙලා, වැවිලි කර්මාන්තයට යොමු වුණා. අම්මා තාත්තා මැච් බලන්න ආවේ නෑ. එතැන දී මම ඉස්සෙල්ලාම මහින්ද ටීම් එකට තේරෙන කොට අවුරුදු 14 යි. ටීම් එකේ පොඩිම එකා. තාත්තා ඒ නිසා තමයි කැමැති වුණේ නැත්තේ.

මට පාසලේ ක්‍රිකට් ටීම් එකට අවුරුදු 7 ක් ම ක්‍රීඩා කරන්න පුළුවන් වුණා. ඒ දවස් වල වයස් සීමාවක් තිබ්බේ නෑ. ඒ නිසා තමයි මට අවුරුදු 7 ක් ක්‍රීඩා කරන්න ලැබුණේ. කොළඹ ඉස්කෝලවල වයස සීමා කරලා තිබුණාට අපට එහෙම තිබුණේ නෑ. අවුරුදු 21 – 22 අය පවා ඒ දවස්වල පිට පළාත් පාසල්වලට ක්‍රීඩා කරලා. මට අවුරුදු 7 ක් මහින්ද ටීම් එකට ක්‍රීඩා කරන්න පුළුවන් වුණා.

අපි මෙහෙම ක්‍රීඩා කරන කොට ඒ දවස්වල මිනිස්සු හරියට ඒවා ‍- මේවා අපට කිව්වා. සෝමචන්ද්‍ර සිල්වා දවසක් කියලා තිබුණා ඒ අය හොඳට සෙල්ලම් කරනවා නම් අවස්ථාව දෙන්න ඕනෑ කියලා.

ඔබේ පවුලේ දරුවෝ කීදෙනෙක් ද, ඔවුන් ක්‍රීඩාවට සම්බන්ධ ද?

දුවලා තුන්දෙනයි. ඒ අය ඉගෙන ගත්තාට කවදාවත් ක්‍රීඩා කරනවා දැකලා නෑ. ක්‍රීඩාවට සම්බන්ධ වුණේ නෑ.

අම්මා නැති වුණේ අඩු වයසේ දී නේද?

ඔව්, අම්මා නැති වෙනකොට අම්මාට අවුරුදු 39 යි‍‍. බාල මල්ලි ගාමිණී ඉපදිලා මාසයක් විතර යනකොට තමයි අම්මා නැති වුණේ. ඒ ලේ ගලනයකින්. ඇත්තටම අපේ අම්මා හිටියා නම් අපේ ජීවිතයත් ‍මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණේ. අපට සල්ලි තිබුණාට තාත්තාට ඕනෑ‍ වුණේ අපට රැකියා හොයලා දීලා, ඒවාට යොමු කරන්නයි.

අම්මා නැති වුණාම ගෙදර වගකීම් වැඩි වුණේ කාටද?

ස්ටැන්ලිට. අම්මාත් එක්ක වැඩිපුරම හිටියේ ස්ටැන්ලි. අම්මා වැඩිපුර ආදරේ කළෙත් ස්ටැන්ලිට. අම්මාගේ වැඩ වැඩවලට හුඟක් ම උදව් කළේ එයා. පිඟන් කෝප්ප පවා එයා හේදුවා. ඒ නිසා ම එයාට ගෙදර වැඩ හොඳට හුරුවෙලා තිබුණේ.

මේ හැම දෙයක් එක්කම බිග් මැච්වල අමතක නොවන සිද්ධිය මොකක්ද?

මට හරියට ම දිනය මතක නෑ. 1952 මාර්තු මාසේ බිග් මැච් එක පටන් ගන්න දවසේ ඩී‍.එස්. සේනානායක මහත්තයා අශ්වයාගේ පිටෙන් වැටිලා හොඳටෝම අමාරුවෙලා. අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්නේ කියලා නිවුස් එකක් ආවා. ඒ වෙලාවේ අපේ විද්‍යාලවල විදුහල්පතිවරුන් දෙන්නා කතා කර ගත්තා වැරදිලාවත් ඩී.එස්. සේනානායක මහත්තයා නැති වුණොත් තරගය නවත්වනවා කියලා. නැත්නම් තරගය දිගටම පවත්වාගෙන යනවා කියලා.

ඒ නිවුස් එක එනකොට මම තමයි පන්දු යවමින් හිටියේ. ඒ වෙන කොට රිච්මන්ඩ් විකට් 7 ක් දැවී ගිහින් ලකුණු 37 යි. මං ඊළඟ පන්දු දෙකට විකට් දෙකක් ගත්තා. ස්ටැන්ලි ජයසිංහ සහ පෙරේරා කියන දෙන්නව තමයි මම ඒ වෙනකොට අවුට් කරලා තිබ්බේ. මේ දෙන්නව පිට පිට අවුට් කරලා තිබ්බේ. මම අතින් බෝලය දාන්න ලෑස්ති වෙනකොට ම නි‍වේදනය කළා තරගය නවත්වන්න කියලා. අපි මැච් එක නැවැත්තුවා. අනිත් පාසල් තමන්ගේ මහා තරග ක්‍රීඩා කළා. ඔය වගේ ම තව මතකයක් තියෙනවා. සෝමසිරි අඹවත්ත ශතකයක් ගහලා, ප්‍රතිවාදීන්ගේ විකට් දහයම ගත්තා.

නව දෙනාගෙන් හොඳම පිතිකරුවා කවුරුද?

ස්ටැන්ලි තමයි හොඳම පිතිකරුවා වුණේ. ස්ටැන්ලි බ්ලූම්ෆීල්ඩ් ඒ ටීම් එකටත් ක්‍රීඩා කළා. ඒ අවුරුද්දෙ බ්ලූම්ෆීල්ඩ් ශූරයන් වුණා.

තිස්ස තමයි අපේ නව දෙනාගෙන් ඉස්සෙල්ලාම නැති වුණේ. පත්තරයක් බල බල යනකොට කෝච්චියකට වැදිලා. ඊට පස්සේ එංගලන්තයේ දී අශෝක නැති වුණා. මීට අවුරුදු 2 – 3 කට කලින් තමයි ස්ටැන්ලි නැති වුණේ.

දැනට ලංකාවේ ඉන්නේ මං විතරයි. එංගලන්තයේ හතර දෙනෙක් ඉන්නවා. කැනඩාවේ තව එක්කෙනෙක්. ඉස්කොලෙන් අයින් වෙන කොටම ‍ඉගෙන ගන්න එංගලන්තයට යැව්වා. ඉස්සෙල්ලාම පුණ්‍ය ගියේ. ඊට පස්සේ අශෝක, ගාමිණී, ඩඩ්ලි, එංගලන්තයට ගියා. පර්සි කැනඩාවට ගියා. මම එංගලන්තයේ ගිහින් මාස හතකින් ආවා. වැවිලි ගැන ඉගෙන ගන්න ගියේ. සවුදි අරාබියෙත් අවුරුදු හතරක් හිටියා.

නව දෙදෙනාම වඩාත් දක්ෂ වුණේ මොනවට ද?

නව දෙනාටම හොඳට බැට් කරන්න, බෝල් කරන්න වගේ ම පන්දු රකින්නත් පුළුවන්. මම ටීම් එකට ගියේ පන්දු යවන්නෙක් විදියට. අවුරුදු 2 ක් විතර ගියාට පස්සේ මම සම්පූර්ණයෙන් ම බැටිං ගැන අවධානය යොමු කළා.

පිට පළාත් තරගවලට ගියේ බස්වල ද? දුම්රියේද?

කෝච්චිවල. අපට ඒ දවස්වල පිට පළාත් තරග තරම් විනෝද වෙන්න වෙන අවස්ථා නැති තරම්. ඒ දවස්වල ආනන්ද - නාලන්ද මැව්වලට එනවා කිව්වම ඊට වඩා දෙයක් අපට තිබුණේ.

ඒ දවස්වල කෝච්චියේ කොළඹ එනවා තරම් ජොලි වැඩක් තවත් නෑ. සින්දු කියනවා. නටනවා‍. සින්දු කිව්වට හොඳ ඒවා නම් නොවෙයි. මම නායකයා නිසා ගුරුවරුන් ගෙන් කිසිම බේරිල්ලක් නෑ. බැනුම් කෝටියයි. ඇයි ඉතින් අපේ අය ජොලියට කියන්නේ හොඳ දේවල් නොවෙයිනේ. කියනවාට වඩා අපේ අය කියවෙන්නෙත් හොඳ දේවල් නොවෙයිනේ. කොහොම හරි බැනුම් අහගෙන ඇවිත් තරග කරලා යනවා.

අවුරුදු 23ක විතර කාලයක් ඇතුළත පවුලේ අයිය මලෝ 9 දෙනාම මහින්ද විද්‍යාලයට ක්‍රීඩා කරලා තියෙනවා?

ඔය අවුරුදු 23ක කාලය ඇතුළත සාමාන්‍යයෙන් අපේ පවුලේ දෙන්නකුට වඩා මහින්ද ක්‍රිකට් ටීම් එකට ලැබුණේ ඒ නිසයි. සාමාන්‍යයෙන් පාසල් ක්‍රීඩකයකු එතරම් කාලයක් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නෑ. වාර්තාවක් විදියට සැලකුවොත් වැඩිම කාලයක් පාසල් කණ්ඩායමකට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු වෙනවා. අශෝකත් ඒ වගේමයි.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසය ගත්තම මහින්ද විද්‍යාලය එක්ක දැඩි සබැඳියාවක් තියෙනවා නේද?

ඔව්, මහින්ද විද්‍යාලයේ ඒ දවස්වල නියෝජ්‍ය විදුහල්පතිවරයා තමයි ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති විදියට පත්වීම් අරගෙන ඇවිත් තියෙන්නේ ඒ හින්ද ධර්මපාල විද්‍යාලයේ පළමු ක්‍රිකට් තරගයම අපට දුන්නා. අපි මේ තරගයට එනකොට ඒ අවටම තනිකර ඝන කැලෑව. ග්‍රවුන්ඩ් එකටවත් හරියට යන්න බෑ.

සේයා - ශාන් රඹුක්වැල්ල

අදහස්