ඉම්රාන් ඛාන් සහ අපේ කට්ටිය | සිළුමිණ

ඉම්රාන් ඛාන් සහ අපේ කට්ටිය

තමන් නොබෙල් සාම ත්‍යාගය සඳහා සුදුසු නොවන බව පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරයි. පාකිස්තානු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් සති අන්තයේ නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කළ බවට සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ය. මම නොබෙල් සාම ත්‍යාගය සඳහා සුදුසු කෙනෙක් නොවෙයි. කාශ්මීර ජනතාවගේ අභිප්‍රාය අනුව ඔවුන්ගේ ගැටලුව විසඳන්න පුළුවන් පුද්ගලයා කවුරුද?

ඔහු තමයි ඒ සඳහා නියම සුදුස්සා. ඔහුට පුළුවන් මේ සඳහා හොඳ උත්තරයක් තුළින් සාමය ගෙන එන්න. අගමැති ඉම්රාන් ඛාන් ‍එහි දී වැඩිදුරටත් පවසා තිබුණි.

ක්‍රිකට් පිටියේ යාර අසූවක සීමාව තුළ සිදුවන මහා ක්‍රිකට් සංග්‍රාමවලට වඩා ඉන් පිටත සිදුවන සහ දුර දිග ‍දිවෙනා සංග්‍රාමයන්ට මැදිහත් වන්නට සිදුවන්නේ ක්‍රිකට් පිටියේ බිහිවූ මහා ශ්‍රේෂ්ඨයන්ට නම් ඊට ඉඩකඩ සකසා දීමට ද කිසිවකුත් පසුබට නොවිය යුතු ය. මුළු ලොව මොහොතින් මොහොත අ‍ෙනකාට එරෙහිව අභියෝග කරන පසුබිමක ලොවම අවදානම් කලාපයකට අවතීර්ණ වෙමින් පවතියි. එක් නිමේෂයකින් යකඩ පවා උණු කළ හැකි මහා නගර පවා සුන්නද්දූලී බවට පරිවර්තනය කළ හැකි දරුණු ගණයේ අවි ආයුධ තමන්ට අණ ලැබෙන තෙක් බලා ‍සිටින්නේ දෙන්නම් බැටේ න්‍යායෙනි. එහි අවි ආයුධයන්ට තිරිංග යෙදීමට මේ මොහොතේ දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගෙන තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හරහා ගොඩනැගුණු දැවැන්ත චරිතයක් වීම මෙහි දී බැහැර කළ නොහැකි දෙයක් නොවෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ප්‍රධාන රටවල් අතුරින් දකුණු ආසියානු කලාපයේ රටවල් හතරට හිමිවන්නේ ද සුවිශේෂි ස්ථානයකි. එපමණක් ද නොව, දකුණු ආසියාව යනු අද දේශපාලන ලෝකයේ මර්මස්ථානයක් ලෙස සැලකෙන කලාපයකි. මෙය කලාපයක් වශයෙන් එක මිටකට ගත් විට ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ද ලොව බලවතුන්ගේ අවධානයට නිරන්තරයෙන් ම ලක්වෙයි. මෙකී කලාපයේ විශේෂයෙන් දේශපාලකයන්ගේ පොදු ලක්ෂණය වන්නේ තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් පාවා දෙන්නගේ ගණයට වැටිමයි. මෙකී දේශපාලකයන් සිය කට වාචාලකමට කරන ප්‍රකාශ සහ සමහර අදේශපාලනික සැලසුම් මෙකි කලාපයේ රටවලට පමණක් නොව සමස්ත ලෝකයාට ම කරන බලපෑම ද සුළු පටු නොවේ.

එවන් පසුබිමක පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් සිය හමුදා ග්‍රහණයේ සිටි ඉන්දීය ගුවන් නියමුවා මුදා හැරීම සඳහා ගත් තීරණය පහදමින් පාකිස්තානු පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ සාමය සඳහා වූ පියවරක් ලෙස එකී තීරණය ගත් බවය. සාමාන්‍යයෙන් රටක ක්‍රීඩාවට දේශපාලකයන් අත පෙවීම එතරම් ගුණදායක නොවන නමුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇවිළෙන්නට ගිය ගින්නට පෙට්රල් එක් නොකර, දේශපාලකයකු විසින් ක්‍රීඩාවත්, ක්‍රීඩකයකු විසින් දේශපාලනයත් හසුරුවා ගත් බුද්ධිමත් අවස්ථාවක් ලෙස ඉම්රාන් ඛාන් විසින් තැබූ පියවර ඉතිහා‍ෙගත වනු ඇත. රටක, දෙරටක පමණක් නොව, ලෝක සාමයට පවා ඇවැසි වන්නේ එවන් බුද්ධිමත් තීරණ ගන්නා මිනිසුන්ය.

මීට සති කිහිපයකට පෙර කලාපයේ පමණක් නොව, සමස්ත ලෝකයේම ඇවිළෙන්නට ගිය යුද ගිනිදැල් ඉම්රාන් ඛාන් නිවා තැබූ ආකාරය ගැන නැවත නැවතත් කතා කළ යුතු දෙයකි. මන්ද යත් ඉම්රාන් ඛාන් වීරයකු වන්නේ ‍‍මේ සිද්ධියෙන් පමණක්ම නොවන බැවිනි. ලාහෝර් උපන් ඉම්රාන් එංගලන්තයෙන් උසස් අධ්‍යාපනය හදාරා පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වන්නේ ළාබාල වියේදීමය. සිය ක්‍රිකට් දක්ෂතා තුන් ඉරියව්වෙන්ම මුවහත් කර ගත් ඉම්රාන් 1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානයට දිනා දෙමින් ආසියාවට ද කීර්තියක් ගෙන ඒමට සමත් විය.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන දිනා ගත් 1996 දී කුඩා දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනිමින් සිය දේශපාලන ගමන ඇරැඹූ ඉම්රාන් දශක දෙකකටත් අධික කාලයක් ගිරි දුර්ග මඟ පසු කරමින් පැමිණ පසුගිය වසරේ එරට අගමැති ධූ‍රයට පත්විය. ඒ වන විට පාකිස්තානය තුළ කුඩා සහ මහා පරිමාණ ත්‍රස්ත කල්ලිවලින් බැට කමින් සිටි කාල පරිච්ඡේදයකි. පාකිස්තානය මානුෂීය රාජ්‍යයක් බවට පත් කරන බව පවසමින් හෙතෙම අගමැති ධූරයට පත් විය. ඉන්දියාව සහ පාකිස්තනය අතර ගොඩ නැඟෙමින් තිබූ සබැඳියාව නොරිස්සූ දේශපාලන පක්ෂයක් හෝ වෙන යම් කණ්ඩායමක් විසින් කුමන හෝ ත්‍රස්ත කල්ලියකට මුදල් දී ඉන්දීය සෙබළුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට මුල් වුවා විය හැකියි. එකී ප්‍රහාරයත් සමඟ ම දෙරට අදර ගොඩනැඟිමෙන් තිබූ සාම මාවතට යළිත් අඳුර කැඳවීමක් බඳු විය‍‍.

කෙසේ වෙතත් අගමැති ඉම්රාන් ඛාන්ගේ දූරදර්ශී මැදිහත් භාවය මත ඇවිළෙන්නට ගිය ගින්න නිවුණි. මේ ගින්න සඳහා දර - පුළුන් ළං කිරීමට බලා සිටි අතිබහුතරයකට ද පසු බසින්නට සිදු විය. ඉම්රාන් ඛාන්ගේ මේ මැදිහත් භාවය පිළිබඳ සටහනක් තබමින් 1992 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ වීරයා වූ සහ හිටපු නායකයකු වූ වසීම් අක්රම් ඉන්දියාව සහ පාකිස්තානය සතුරන් නොවන බවත් දෙරට ම අත්වැල් බැඳගෙන ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කළ යුතු බවයි. 1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානය දිනා ගනිද් දී, 96 ක්‍රිකට් ලෝක කුසලානය අඛණ්ඩව ආසියාවෙන් පිට නොයන්නට අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍ර‍ී ලාංකික කණ්ඩායම සමත් විය. 96 කාලවකවානුවේ මෙරට ත්‍රස්තවාදයෙන් උපරිමයෙන් ම බැට කෑ සමයයි. මෙහි දේශපාලනික කතාබහ ඇවැසි නම් වෙනම වුව ද කතා කළ හැකි ය.

එකී ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රබල රටවල් කිහිපයක් සත්කාරක ශ්‍රී ලංකාව සමඟ තරග කිරීම ද ප්‍රතික්ෂේප කළේ ය. කෙසේ වෙතත් එහි දී ශ්‍රී ලාංකික ලෝක ශූරයන්වූ අතර තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය ඊට දශක දෙකකට පමණ ‍පසු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝනය කිරීමේ චෝදනා මත වසර දෙකක ක්‍රිකට් තහනමකට ලක්වීමට සිදුවූයේ සිය නාමයට මෙන් ම ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ද රටටද විශාල කළු පැල්ලමක් ඉතිරි කරමින් ය‍.

සාමයේ සලකුණක් සේ අභිනන්දන් වර්ධමාන් සිය රට යැවීම සඳහා අගමැති ඉම්රාන් ඛාන් භාවිත කළ උපක්‍රමය තුළ අන්තර්ජාතික වශයෙන් නොයෙක් හැල හැප්පීම් මැද ගමන් කළ පාකිස්තානයට යෝධ පිම්මක් පැනීමට හැකිවූ අතර, සනත් ජයසූරියගේ සිද්ධියෙන් අපට ඉතිරි වූයේ යෝධ කළු පැල්ලමක් පමණි. ක්‍රිකට් ක්‍රීඩකයන් යනු ජාත්‍යන්තරයට කතා කළ හැකි මඟ සලකුණුය. යුද්ධයම ඉල්ලන එයම වවාගෙන කෑමට රුචි කරන පිරිසට අගමැති ඉම්රාන් ඛාන් වැනි පරිණත ක්‍රීඩකයන් බුද්ධියෙන් ලබා දී ඇති ආදර්ශය සලකන විට සනත් ජයසූරිය සල්ලම් වීම අරුමයක් නොවේ.

අදහස්