සංගීත කර­ළියේ නොන­ව­තින රිද්මය | Page 2 | සිළුමිණ

සංගීත කර­ළියේ නොන­ව­තින රිද්මය

මෙරට සංගීත කණ්ඩායම් අතරට කන්ද උඩරටින්, ඒ කියන්නේ නුවර ගෙලිඔයෙන් බිහිවුණ Back to Back සංගීත කණ්ඩායම තමයි මෙවර රසඳුන BAND OF THE WEEK හැඩකරන්න එකතු වුණේ. අපි එහි නායක රුවන් වර්ණකුල සමග මෙලෙස කතාබහක නියැළිණි.

රුවන් වර්ණකුල කියන්නේ කවුද?

මාව බොහෝ දෙනා දන්නේ Back to Back සංගීත කණ්ඩායමේ නායකයා විදියට

එතකොට Back to Back සංගීත කණ්ඩායම ආරම්භ කරන්නේ කුමන ප්‍රදේශයෙන්ද?

ගෙලි ඔයෙන් තමයි සංගීත කණ්ඩායම පටන්ගත්තේ. නමුත් බොහෝ දෙනෙක් දන්නේ නුවර කිව්වමයි.

පාසල් ගියේ?

මුලින්ම ගෙලිඔය පඥාරතන විද්‍යාලයට. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ ගම්පොළ සහිරා ජාතික පාසලට ගියා.

පාසල් කාලේ සිටම සංගීතය පටන් ගන්න ඇති?

ඇත්තටම පාසල් කාලයේදී විෂයක් විදියට සංගීතය කළේ නැහැ.

එහෙනම් කොහොමද සංගීතයට යොමු වුණේ?

මගේ ඇඟේ සංගීතය තිබුණා. ඒ නිසා ගිටාරය වාදනය කරන්න ඉගෙන ගන්න ආනන්ද පෙරේරා මහත්තයගේ එම්.ජී.පී. කලායතනයට ගියා.

සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න අඩිතාලම වැටුණේ කොහොමද?

ආනන්ද මහත්තය ළඟට මාත් එක්ක මගේ යාළුවෙක් වන සුමිත් ගියා ලීඩ් ගිටාර් වාදනය කරන්න ඉගෙන ගන්න. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මුලින්ම ගම්පොළ වීනස් නමින් සංගීත කණ්ඩායම පටන් ගත්තේ. මුල්ම ප්‍රසංගයට සහභාගි වෙන කොට මම 10 පංතියේ. යාළුවා 08 පංතියේ.

ඒ වයසේදි සංගීත කණ්ඩායමක් පටන් ගන්න තරම් දැනුමක්, අවබෝධයක් තිබුණද?

ඒ වෙනකොට අපි ලංකාවේ තිබුණ අනිත් සංගීත කණ්ඩායම් ගැන හොඳ අධ්‍යනයක් කළා. ඒ වගේම අපේ ගුරුවරුන්ගෙන් ගුරුහරුකම් ලැබුණා. ඒ නිසා වයස බලපෑවේ නැහැ.

ගම්පොළ වීනස් Back to Back වෙන්නේ කොහොමද?

ගම්පොළ වීනස් නම ලියාපදිංචි කරන්න ගියාම ගැටලුවක් ආවා. ඊට පස්සේ තමයි Back to Back නම යොදන්න තීරණය කළේ.

Back to Back කියන්නේ?

‘එක පිට එක ‘ එහෙම නැත්නම් ‘නොනවතින‘ කියන අදහස.

ඔබ සංගීතයට නැඹුරු නොවුණ නම්?

මම ජීව විද්‍යා අංශයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න ආසාවක් තිබුණා. ඒත් සංගීතයට වැඩි නැඹුරුවක් දුන්න හින්ද ඒ හීනය ඈතට ගියා. මේ වෙනකොට මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයේ කාර්මින නිලධාරියෙක් විදියට සේවය කරමින් ඉන්නවා.

සංගීතයට යොමු නොවී වෛද්‍යවරයෙක් වුණානම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද?

එහෙම හිතෙන්නේ නැහැ. මම ලොකු ආසාවකින් තමයි සංගීතය කරන්නේ. මගේ ජීවිතේ අංක එක සංගීතය තමයි.

සංගීත කණ්ඩායම් අතර ලොකු තරගයක් තිබෙනවා. ඔබේ කණ්ඩායම කොහොමද ඊට මුහුණ දෙන්නේ?

ඇත්ත. ලොකු තරගයක් තිබෙනවා. මම නැහැ කියන්නේ නැහැ. නමුත් හරි දේ කරනව නම්, රසිකයෝ ඉල්ලන දේ දෙනව නම් කිසි කරදරයක් නැතුව වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අපි ප්‍රසංගයක් ඉවර කලාම බොහෝ දෙනෙක් ඇවිත් කියල තිබෙනවා. වෙන සංගීත කණ්ඩායම්වල නැති අලුත් දෙයක් අපේ කණ්ඩායමේ තිබෙනවා කියලා. ඒ නිසා අපිට ඕන තරම් වැඩ තිබෙනවා.

එහෙනම් කියමු බලන්න ඔබේ කණඩායම හැඩ කරන සාමාජිකයන් ගැන?

ලීඩ් ගිටාර්- සුමිත් සිල්වා, රිදම් ගිටාර්-රනිල් ලියනාරච්චි, කී බෝඩ්- සුරංග මධුර, බේස් ගිටාර්-ගිහාන් කිරින්ද, ඔක්ටර් ෆෑඩ්-සමීර කරුණාරච්චි, ගායන ශිල්පීන් ලෙස සුරන් මධුශංක, රශ්මික චතුරංග, අනුරුද්ධ රුවන් කටයුතු කරනවා.

මේ තරම් දුර එන්න කවුද අතහිත දුන්නේ?

අම්මා, තාත්තා, අනිල් ලියනගේ, චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි, චමින්ද විජේරත්න වගේම ප්‍රසංග ලබාදෙන සංවිධායකයෝ සහ රසික රසිකාවියන්

අනාගත බලාපොරොත්තු?

ඉදිරියේදී මැලේසියාවේ, කුවේට් සංචාර කිහිපයක් තිබෙනවා. ඒ දේවල් කරගෙන කිසි කෙනෙකුට කරදරයක් නැතුව අපේම ගමනකින් ලංකාවේ අංක එක වීම තමයි බලාපොරොත්තුව. 

Comments