රත්තරන් යක්කු එළවපු හැටි | සිළුමිණ

රත්තරන් යක්කු එළවපු හැටි

  • පැමිණිල්ල සෙත් කරනවා කියලා බොරු ආරූඪයකින් බාලවයස්කාර දැරියට අතවර කරලා
  • විත්තිය මේක චරිත ඝාතනය කරන්න අටවපු උගුලක්
  • අධිකරණ තීන්දුව ඇප පිට නිදහස්

පසුගිය විසිහය වැනිදා අක්මීමන පොලීසියට දිව ආ, අක්මීමන පදිංචි දහසය හැවිරිදි දැරියක පැමිණිල්ලක් කළාය.

පැමිණිල්ලෙන් කියැවුණේ පසුගිය 23 වැනිදා බටදූව ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයකදී එම දේවාලයේ කපුවා විසින් තමාට අතවරයක් කළ බවයි. ඇය, ඇයට කළ කී සියලු දේ අක්මීමන පොලීසියේ නිලධාරිනියන්ට පවසා තිබුණාය.

එසේ අතවර කළා යැයි පැවැසූවේ අන් කවුරුත් නොව දකුණු පළාතේ සභාවේ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන දකුණු පළාතේ ජනප්‍රිය කපුවෙකු වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් නමැත්තායි. ඔහුගේ දේවාලය තුළදී එම අපරාධය සිදුවූ බව ඇය පවසා තිබුණාය.

ඒ අනුව ලැබුණු පැමිණිල්ලට ක්‍රියාත්මක වූ අක්මීමන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂ් ධර්මසේන ඇතුළු පිරිස පරීක්ෂණයක් ආරම්භ කළේය. වර්තමානයේ දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර කලක් යුද හමුදාවේද සේවය කර ඇති අයෙකි. ඒ අනුව ඔහුට එරෙහිව ලැබුණු පැමිණිල්ල නිසාවෙන් පොලිසිය කළ දැනුම් දීම මත මන්ත්‍රීවරයා පසුගිය 28 වැනිදා පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් අක්මීමන පොලීසියට පැමිණ බාර විණි.

අනතුරුව එදින සවසම අක්මීමන පොලිසිය විසින් ගාල්ල අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙල විසින් පළාත් සභා මන්ත්‍රීවරයාට රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. ඊට අමතරව සෑම ඉරු දිනකම අක්මීමන පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරිණි. නඩුව නැවත ලබන අප්‍රේල් 30 වැනිදාට යළි කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී සිදුවී ඇති බවට වාර්තා වන සිද්ධිය මෙසේය. දැරිය සහ ඇයගේ දෙමාපියෝ දැරියට තිබෙන රෝගාබාධයක් දුරු කරගැනීම සඳහා ශාන්තිකර්මයක් කරවාගැනීමට කල්පනා කළහ. ඔවුන් ඒ සඳහා ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ කපුවෙකු වන මේ මන්ත්‍රීවරයා සොයා ගොස් තිබුණේය. මන්ත්‍රීවරයා බටදූවේ පිහිටි සිය නිවෙසේම පවත්වාගෙන යන විෂ්ණු දේවාලයේ කපුවා ලෙස කටයුතු කරමින් සිටියේය. මුලින්ම දැරිය සහ දෙමාපියන් ශාන්තිකර්මය සඳහා දේවාලයට ගොස් තිබුණේ පසුගිය 22 වැනිදාය.

එම ශාන්තිකර්මයේ ඉතිරි වැඩ කොටස සඳහා නැවත පසුදින එනම් 23 වැනිදා පෙරවරුවේද පැමිණෙන ලෙස දැන්වූ හෙයින් පිරිස එදින පෙරවරුවේද දේවාලයට ගොස් තිබිණි. එදින දේවාලය තුළට රැගෙන ගිය දැරියගේ අතට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මන්ත්‍රී කපුවා විසින් දෙහි ගෙඩියක් දී තිබිණි. ඉන් අනතුරුව සිදුවූයේ යැයි කියන මේ අපරාධයේ කතාව මෙසේය.

දෙහිගෙඩිය දැරිය අතට දී කපුවා ආරූඪ වී තිබිණි. අනතුරුව සැකකාර කපුවා දැරියගෙන් විමසා තිබුණේ වෙනත් පිරිමින් ස්පර්ශ කර ඇතිද යන්නයි. පසුව කපුවා දැරියට පවසා තිබුණේ තමාගේ ශරීරයට කිසියම් විෂක් ඇතුළුවී ඇති බවත් එම නිසා ශරීරයෙන් විෂ ඇදිය යුතු බවත්ය.

ක්‍රිෂාන්ත කපුවා දැරියගෙන් විෂ උරා බීමට සැලැසී තිබුණේ අපූරු ක්‍රමයකටයි. ඒ අනුව කපුවා දැරියගේ විෂ උරා බොනවා යැයි පවසා බරපතළ ලිංගික අපචාරයක් කර ඇති බව පොලිසියට දැරිය විසින් පවසා තිබේ. මේ පිළිබඳව පොලිස් නිලධාරිනියක් අපට කීවේ දැරියට කළ කී සියලු දේ ඇය පොලීසියේදී කී සියලු තතු නොසඟවා පැවැසූ බවයි.

කෙසේ හෝ ඒ මොහොතේ දැරියට හැඟී ගොස් ඇත්තෙ එම ලිංගික අපචාරය ශාන්තිකර්මයේම කොටසක් බවටයි. එසේ බාල වයස්කාර දැරියක වූ දහසය හැවිරිදි දැරියට කීප විටෙකදීම කපුවා විසින් එම ලිංගික අපචාරය කර තිබුණේය. පසුව ඇය, තමාට වූ ලිංගික අපචාරය මුලින්ම පවසා තිබුණේ සිය මවටය. ඇය තම දියණියට වූ අපචාරය ගැන ස්වාමියාට කීමෙන් පසුව මේ සිදුවීම කරළියට ඒමට පටන් ගැනිණි. ඒ අතරේ දැරිය වෛද්‍ය පරීක්ෂණයකටද භාජනය වී තිබුණාය. එහෙත් වෛද්‍යවරයාට සිදුවූ ලිංගික අපචාරය ගැන කිසිවක් පවසා නොතිබුණේ ලැජ්ජාවටයි. එම පරීක්ෂණයේදී දැරිය දූෂණයකට ලක් වී නැති බවට අනාවරණය වී ඇත.

මේ පිළිබඳව මුලින් හබරාදුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සිදුවීම වූ බටදූව ප්‍රදේශය අක්මීමන පොලිසියට අයත් හෙයින් පරීක්ෂණ සඳහා අක්මීමන පොලීසියට පැමිණිලි කරන ලෙස පැමිණිලි පාර්ශ්වයට දන්වා ඇත.

එසේ පෙළ ගැසුණු අපචාර සිදුවීමට පසුගිය 28 වැනිදා සවස සැකකාර මන්ත්‍රීවරයාට ඇප ලබා දුන්නේය. බාල වයස්කාර දැරියකට ලිංගික අපචාරයක් කිරීම ඇතුළු බලහත්කාර සිදුවීමක් හෙයින් සැකකරුවාට ඇප ලබාදිය නොහැකි වරදක් නීතියෙන් සිදුව ඇති බව බොහෝ පොලිස් නිලධාරීන්ගේ මතය වී තිබේ. එහෙත් මන්ත්‍රීවරයාට මේ වන විට අධිකරණයෙන් ඇප හිමිව තිබේ.

සැකකරුගේ නීතිඥයන් අධිකරණයේදී කියා තිබුණේ පොලිසිය කරුණු වසන් කරන බවත්, මෙය මන්ත්‍රීවරයාගේ චරිත ඝාතනයට කරන ලද පැමිණිල්ලක් බවත්ය. ශාන්තිකර්මයට පිරිස රැගෙන ගොස් ඇත්තේ හේමසිරි නමැත්තෙක් බවත්, දැරියට ශාන්තිකර්මයක් සිදු කර ඇත්තේ දෙමාපියන් ඉදිරියේ බවත් නීතිඥයෝ අධිකරණයේදී කීහ. ශාන්තිකර්මයට පසු දින හේමසිරි නමැත්තා දුරකථනයෙන් කතාකොට රුපියල් ලක්ෂ දහයක මුදලක් සූදානම් කරගෙන සිටින ලෙස පවසමින් කප්පම් ඉල්ලු බව රත්තන් කපු මහත්තයාගේ නීතිඥයන් කියන්නේය.

ඒ අනුව පසුගිය 25 දා සැකකරුගේ පාර්ශ්වයෙන් කෙනෙකු දැරියගේ නිවෙසට ගොස් එය අසාර්ථක වීමෙන් පසු හේමසිරි නමැත්තාගේ පෙරැත්ත මත පිරිස මේ පිළිබඳව පසුගිය 26 වැනිදා පොලිසියට පැමිණිලි කර ඇති බව විත්ති පාර්ශවයෙන් කියන්නේය.

අධිකරණයේදී සැකකරුගේ පාර්ශ්වයේ නීතිඥයන් කුමක් කීවද 'ගින්නක් නැතිව දුමක් නැඟිය නොහැක' යන කියමන සනාථ කරමින් දැරියගේ පාර්ශ්වයෙන් එම අපචාර සිදුවීම සහ කප්පම් සිදුවීම අතර ඇති හුටපටය ගැන ද චෝදනා එල්ල වෙමින් ඇති බවට සැල වේ. ඒ මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් දැරියගේ පාර්ශ්වයට මුදල් සහ වරදාන ලබාදී මේ සිදුවීම යට ගැසීමේ කූට උපක්‍රමයක නියැළුණු බවට චෝදනා කරමිනි.

එම නිසා මෙහිදී සත්‍ය ලෙසම සිදුවී තිබෙන්නෙ කුමක් ද යන්න නිශ්චිත ලෙස අනාවරණය කරගැනීම පොලිසියේ යුතුකමය. සාමාන්‍යයෙන් රටේ කිසියම් දේශපාලන බලඅධිකාරියක් හෝ මන්ත්‍රීවරයෙක් සමඟ මෙවන් සිදුවීමකදී මෙරට සාමාන්‍ය ජනයාට ගැටිය නොහැක්කේ ඔවුනට තිබෙන මුදල් සහ අයථා බලය නිසාය.

එම නිසා දැරියගේ පාර්ශ්වය කිසියම් ආකාරයකින් නිහඬ කිරීමටද සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම කූට ලෙස කටයුතු කරන්නටද ඉඩ තිබේ.

අත්අඩංගුවට ගැනීමත් එල්ල වූ චෝදනා ගැනත් මාධ්‍ය හමුවක් පවත්වමින් සැකකාර මන්ත්‍රීවරයා කීවේ මෙවන් කතාවකි.

“මාව අත්අඩංගුවට ගත්තෙ නැහැ... මට එන්න කීවාම මම පොලිසියට ගියා. නැතිව පොලිසිය අපේ ගෙවල් වට කරලා, අපේ පස්සෙන් හඹාගෙන ඇවිල්ලා නොවෙයි මාව අත්අඩංගුවට පත්වුණේ.

මගෙන් කප්පමක් ඉල්ලීමක් සම්බන්ධව කාරණාවක්, ඒකට පොලිසිය සහ අධිකරණය නොමඟ යැවීමට වෙනත් කාරණා පටළවලා. ඉදිරියේදී අපි සත්‍ය අධිකරණයට ඉදිරිපත් කරනවා. එවිට කවුද මේ තිරය පිටුපස රංගනයේ ඉන්නෙ කියා වැඩි දවසක් නොගොස් හෙළි වෙයි.“

ක්‍රිෂාන්ත මන්ත්‍රී කපුවා ගේ චෝදනාවන් සමඟින් නිශ්චිත ලෙසම නිවැරැදිකරුවන් කවුරුන්ද යන්න අපක්ෂපාතී පරීක්ෂණයකින් ලෝකයාට හෙළිදිරව් කිරීම සියලු වගකිවයුතු පාර්ශ්වවල වගකීමයි.

Comments