පාසලේ සමූපේ පිහිටුවන්න රජයෙන් ආධාර | සිළුමිණ

පාසලේ සමූපේ පිහිටුවන්න රජයෙන් ආධාර

පාසල් සමූපකාර සමිති සඳහා සමූපකාර අලෙවිසැල් (CO-OP Shop)පිහිටුවීමට උපකරණ හා මූල්‍ය ආධාර පිරිනැමීම පසුගිය දා (26) කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෝක්ෂෝල් වීදීය සතොස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා , ඉදිරියේ දී ජාතික පාසැල්වලට මෙන්ම පළාත් පාසල්වලට ද මෙම මුල්‍යාධාර ලබා දීමට ක්‍රියා කරන බවත් අනාගතයේ දී මෙම පාසැල් සමුපකාර සමිති අතර තරග පවත්වා තෑගි පිරිනැමීමට කටයුතු කරන බවත් පැවසීය.

“නැණ ශක්ති“ ලෙස නම් කර තිබූ මෙම ව්‍යාපෘතිය යටතේ එක් පාසලකට රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමේ. මෙහිදී නියමු ව්‍යාපෘතියක් ලෙස පාසැල් 14ක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් පිරිනැමීම සිදු කෙරිණි.

මෙම උත්සවය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් සමුපකාර සමිතීන්හි ක්‍රියාකාරී සිසු සිසුවියන් හා එම විද්‍යාලවල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර මෙම උත්සව අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.රංජිත් අශෝක, සමූපකාර කොමසාරිස් එස්.එල්. නසීර්, සමූපකාර නායකයින්, සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



 

Comments