වැඩ කරන දක්ෂයා ඔසවා තැබීම ප්‍රධානියාගේ වගකීමක් | සිළුමිණ

වැඩ කරන දක්ෂයා ඔසවා තැබීම ප්‍රධානියාගේ වගකීමක්

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඔහු පුරාවෘත්තයකි. ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවය උදෙසා, 2012 වසරේ ‘Legend of Tourism’ සම්මානය ඔහුට ලැබෙන්නේ සිය සගයන්ගේ ගෞරවනීය ඇගැයීමට ලක් වෙමිනි.

මෙරට සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ පළමුවරට වූ, සිදුවීම් ගණනාවක් සිදු වූයේ ඔහු අතිනි. සැබෑ නායකයකු සේ කිසිදු ලෝභකමකින් තොරව දෙවැනි පෙළක් හැදූ ඔහු, අදටත් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සක්‍රීයය.

ප්‍රේමා කුරේ යනු, මෙරට හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ පැතිකඩක් වන්නේ එහෙයිනි.

 ප්‍රේමා කුරේ නම් දැවැන්තයා, සිට්‍රස් හෝටලයට කොටුවෙලාද...

මං කොටුවුණේ ආණ්ඩුවෙ තැන්වලට වැඩ කරද්දි. එළියෙ ඉඳන් වැඩකරද්දි ඊට වඩා හුඟක් දේ මට, රටට කරන්න පුළුවන්. අද මගේ ලොකුම වැය වීම ඉකෝ ටුවරිසම් වෙනුවෙන්.

එයිට්කන් ස්පෙන්ස් හිටපු සභාපති, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු ලේකම්, අද Rain‍forest Ecologde එක්කම ඉන්නෙ ඒ නිසාද...

රේන්ෆොරස්ට් ඉකෝලොජ් කියන්නෙ USAID සංකල්පයකින්, ඔවුන්ගෙ මඟ පෙන්වීම යටතේ අපේ රටේ දැවැන්ත ‍හෝටල් සමාගම් කිහිපයක් එකතුවෙන් නිර්මාණය කළ, ඉකෝ ටුවරිසම්වල ඉහළ ම තත්ත්වයේ මොඩලය. එතෙක් ‘බීච් ටුවරිසම්’වලට කොටුවෙලා හිටි අපි, 2000 අවුරුද්දේ, Nature, Culture සහ Adventure කියන අංශ එකවර ප්‍රයෝජනයට ගනිමින් සොබා දහමට හානි නොකර, එය විඳින්නට සලස්වන, ඉකෝ ටුවරිසම්වලට අතගැහුවා. ඒ වෙනුවෙන් මං අදටත් USAID එකට ණයගැතියි. මොකද, ඒ හැරවුම් ලක්ෂ්‍යය ඇති කළේ, ඔවුන්ගේ ‘මුහුදු වෙරළින් ඔබ්බට, සොබාදහම සංස්කෘතිය සහ ත්‍රාසය…‘ යන සංකල්පයෙන්.

කියන තරම් යහපතක් එයින් සිදුවුණා ද...

දෙණියායේ, අපේ ඉකෝ ලොජ් හෝටලය නිර්මාණය කර තිබෙන්නේ, පරණ කන්ටේනර්වලින්. කාමර විස්සයි. අවම බලශක්ති භාවිතය, හිරු එළියෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම, අපද්‍රව්‍ය, අපජලය කළමනාකරණය, මීදුම හුළඟ, වැස්ස ප්‍රයෝජනයට ගැනීම, ශබ්දයකින් පවා වනසතුන්ට හානි නොකිරීම... වගේ සාධක රැසක් මේ සංකල්පයේදි ක්‍රියාත්මකයි. සොබා දහම විඳින්නට අවකාශ මිස, එයට හානි කරන කිසිවක් ඉකෝටුවරිසම්වලදි වෙන්න බැහැ. ඉතා හොඳින් මේ තත්ත්වය බැලන්ස් කරන හැටි කාටහරි ඉගෙන ගන්න ඕනේ නම් ලංකාවේ එකම සහ හොඳම ආදර්ශ මොඩලය මෙයයි.

මොනවටද ඔබ ඊළඟට ලැහැස්ති වෙන්නෙ...

මගේ කාලය මේ දවස්වල වැඩිපුරම වැය වෙන්නෙ ලෝකයේ වැසි වනාන්තර විඳිය හැකි හොඳ ම ක්‍රමය වන ‘කැනපි වෝක්’ (Canopy Walk) එකක් නිර්මාණය කිරීම වෙනුවෙන්. මේක, අඩි දෙතුන් සියයක් පමණ උස ගස් ඇති වැසිවනාන්තරවල ඒ ගස්වලට උඩින් ඉදිවන පාලමක්. ඒ මත ඇවිදිමින් වනාන්තරය විඳීම වෙනස් ම අත්දැකීමක්. ඉදිකරන්න වැය වන මුදල මිලියන පණහක් විතර. අපේ රටේ දේශපාලකයන්ට නම් ඔය ගාණ සිල්ලර සල්ලියක්. සල්ලිවලටත් වඩා, පිවිතුරු වනාන්තරයක මෙවැන්නක් ඉදිකිරීම ලේසි දෙයක් නෙවෙයි. අවසර ගත යුතු අංශ ගණන දිහා බලන‍කොට කරන්නට අමාරු වැඩක්.

අපේ රටට එහෙම දෙයක් අත්‍යාවශ්‍ය ඇයි...

ලෝකෙම දැන් ඉකෝ ටුවරිසම්වලට තල්ලුවෙලා ඉවරයි. අපේ ර‍ෙට් පොහොසත් ඉතිහාසය ඇරුණම සංචාරකයන්ට පෙන්වන්න තිබෙන හොඳම දේ අපේ රටේ ජෛව විවිධත්වය. එය විනාශ නොකරගෙන, සංචාරකයන් අද්දවා ගත හැකි එක හොඳ ක්‍රමයක් තමයි ‘කැනපි වෝක්’ සංකල්පය. මේ රටට මගේ කාර්යය සම්පූර්ණයි කියලා දැනෙන්නෙ, කැනපි වෝක් එක මේ රටට හැදුවට පස්සෙ.

ලෝකෙ හොඳම ‘ඉකෝ ටුවරිසම්’ තියෙන්නෙ කොහේද...

ඇමෙරිකාවෙ ‘‍කොස්රිකා’වල. ඉස්සර ඔවුන්ට තිබුණෙත් ‘බීච් ටුවරිසම්’. අද ඔවුන් තමයි, ලෝකයේ හොඳම ‘ඉකෝ ටුවරිසම්’ පවත්වාගෙන යන්නෙ. එහි තිබෙන ‍හැම හෝටලයක්ම සොබා දහමෙන් පිරිපුන්. එකකට එකක් වෙනස්, විස්මිත නිර්මාණ. ඉකෝ ටුවරිසම්වලට ලෝකෙ තිබෙන හොඳම මොඩලය, කොස්ටරිකා.

රට පුරා සංචාරක හෝටල් ඕසෙට ඉදිවෙනවා. එදාට වඩා සංචාරක කර්මාන්තය දියුණු වෙලා නේද...

කනගාටුවෙන් වුණත් කිව යුතු ඇත්තක් මේක. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවමත් හරි ක්‍රමෝපායක් නැහැ. මණ්ඩලයේ අවසරය ගත්ත ම, ඕනෙ කෙනකුට හිතෙන තැනෙක හෝටලයක් හදන්න පුළුවන්. නමුත් විය යුත්තෙ එය නෙවෙයි. ටුවරිසම් දියුණු කරන්න ඕනෙ, හෝටල් හදන්න ඕනෙ රටේ කුමන කලාපවලද කියන එක හඳුනාගන්න ඕනෙ. ඒවා සැලසුම්ගත ව්‍යාපෘති වෙන්න ඕනෙ. කර්මාන්තය තුළ, හරි උපායමාර්ගික ක්‍රමවේදයක් තිබෙනවා නම් සල්ලි තිබුණට කාටවත් එහෙම, හිතූ හිතූ තැන්වල හෝටල් හදන්න ලැබෙන්නෙ නැහැ. අනික රටකට මේ තරම් සංචාරක හෝටල් අවශ්‍යද කියන කාරණයත් සොයා බලන්න ඕනෙ.

ඇයි එහෙම කියන්නෙ. සංචාරකයො එන තරමට විදේශ විනිමය රටට නේ...

අපි වගේ පුංචි රකට ගැළපෙන්නේ Quality Tourism. ගෙන්වන ඔළුගෙඩි ගාණ විතරක් හිතලා, ඉලක්කම්වලට ටුවරිසම් කරන්න ගියොත් මේ වගේ පොඩි රටක තිබෙන වටිනාකම නැතිවෙලා යනවා. මම නෙවෙයි, අද පරිසර සහ වනජීවී විශේෂඥයො කියන්නෙ, යාල වගේ වටිනා තැන් විනාශවෙලා යමින් පවතිනවා කියලා. Overcrowded - Over visited, සීමිත සම්පත් තිබෙන අපි වගේ පුංචි රටකට හොඳ දෙයක් නෙවෙයි. ඕනෑම රටක් ටුවරිසම්වලදි ‘Carrying Capacity Studies’ කියන අධ්‍යයනය කරනවා. අපේ ටුවරිසම්වල එහෙම දෙයක් නැහැ. රටක ආකර්ෂණීය අංග, තිරසාරව පවත්වාගෙන යන්න නම්, වැල නොකැඩී යන එන එක සීමා කරන්න ඕනේ. බලන්න - විඳින්න පරිසරයක් නැති වුණොත්, මොන සංචාරකය ද මේ රටට එන්නෙ.

ඔබ එහෙම කිව්වට, අපේ රටේ ධන කුවේරයො ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයො හැමෝටම වගේ තරු හෝටල් තිබෙනවනේ...

ව්‍යවසායකයො විදියට මුදුනටම ආවම, හැමෝම කරන්නෙ හෝටල් හදන එක. ඔවුන්ගෙ ව්‍යවසායක ඥානය සහ මුදල්, ඇයි රටට අත්‍යාවශ්‍ය වෙනත් කර්මාන්තයක් නඟා සිටුවන බිස්නස් එකකට යොදවන්න බැරි. මේ විදියට ගියොත් දවසක ලංකාවට වෙන්නෙත් තායිලන්ත ටුවරිසම්වලට වෙච්ච දේ.

ඒ රටවල් අපිට වඩා මොනරතම් ඉස්සරහින් ඉන්නවද... ඔවුන්ට වැරැදිලා නැහැනේ...

අවුරුදු තිහකට විතර කලින් තායිලන්තයට කිව්වෙ ‘ටයිගර් ඉකොනොමිස්ට්’ කියලා. ඒ තරම් නැග්මක් තිබුණා. ටුවරිසම්වලින් මොන තරම් බලයක් ආවද කිව්වොත් රටේ ව්‍යාපාරිකයො හැ‍මෝම වගේ හෝටල්, යටිතල පහසුකම්, අපාර්ට්මන්ට් සහ ඒ ආශ්‍රිත දේපළ වෙළෙඳාම්වලට සල්ලි දාන්න ගත්තා. අන්තිමට රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා, හෝටල් හැදුණා. ‘The Bubble burst…’ බැලුම පිපිරුණා. මිල ගණන් ශීඝ්‍රයෙන් බැහැගෙන ගියා. ලංකාවටත් ඕක වුණොත් ඩොලර් තිහට හතළිහට ‍හෝටල් දෙන්න වෙයි. අදටත් බලන්න, කණ්ඩලම හෝටලයට යනවට වඩා තායිලන්තයේ හෝ‍ටලයකට යන එක ලාබ නැද්ද... ලාබ ටුවරිසම් නම් තායිලන්තෙ සහ මැලේසියාවේ. ගණන් අඩු තරමට මිනිස්සු යනවා. ඒත් ලංකාවට ඕනෙ ඒකද... එන්නන් වාලෙ මිනිස්සු ඇවිත් අපේ සීමිත සම්පත් ටික විනාශ කළොත්, අපි කොලිටි ටුවරිසම් කරන්නෙ මොනවා පෙන්වලද...

ඉතින් කොහොමද රට මේ තත්වයෙන් ගොඩ ගන්නෙ...

සුපිරි හෝටල් අරිනවා නම් ඒවායේ ඉන්න එන්න ඕනෙත් වියදම් කරන්න පුළුවන් සල්ලිකාර විදේශිකයෝ. ලාබෙට කන්නයි - ඉන්නයි හොයන සංචාරකයන්ගෙන් රටට ආදායමක් එන්නෙ නැහැ. අද ලෝකෙ සල්ලි ගැවසෙන්නෙ චීනා සහ ඉන්දියානුවා අතේ. ලෑන්ඩ්රෝවර්, ජැගුවා, ටාටා... ලෝකෙ Top Brands ඔක්කොම තියෙන්නේ ඉන්දියාව අතේ. චීනයත් ඒ වගේ. අපි හැමදේම පිටින් ගෙන්වන රටක්. අපේ රටේත් හොඳ හරියයි සල්ලි ටිකයි අපිට නොදැනීම මේ බලවතුන් අතරට ඇදී යනවා. ඒක නවතින්නෙ නැහැ. ඉතින්, ඔවුන්ට සල්ලිවලට කරගන්න දෙයක් නැහැ. ඇති තරම් ‘එන්ටටේන්’ කරනවා. ‘ගැම්බ්ලින්’ වලට හොඳට වියදම් කරනවා. දැන් අපිට ඉතිරිවෙලා තියෙන්නෙ, ‘සූදුව’ නීතිගත කරලා මේ ධන කුවේර සංචාරක‍යො ටික ලංකාවට ගෙන්වා ගන්න එකයි.

ඒත් ඔය කතාවට, මුළු රටක් විරුද්ධ වෙයි...

රටේ හැම අහුමුල්ලක ම, අඩු ආදායම් ලබන දුප්පත් මිනිස්සු දාඩිය පෙරාගෙන රේස් බුකිවල, අශ්වයො ඔට්ටු අල්ලනවා. කවුරුත් විරුද්ධ නැහැ. හැබැයි පිටරට සල්ලිකාරයො අපේ රටට ඇවිත්, අපේ ෆයිව් ස්ටාර් හෝටලයක වියදම් කරගෙන සූදුව කරනවට විරුද්ධයි. පිටරට සල්ලිකාරයන්ගෙන් වියදම් කරවලා රටට ආදායමක් ගන්නවට විරුද්ධයි. ඒ වුණාට දුප්පත් මිනිහා රේස් බුකිවල සූදු කෙළියෙන් නැත්තට නැති වුණාට කමක් නැහැ. මොනවද මේ කතා...

‘සූදුව කියන්නෙ රටක් විනාශ කරන දෙයක්...’ කාට හරි එහෙම තර්ක කරන්නත් පුළුවන් නේ...

එක උදාහරණයක් කියන්නම්. සිංගප්පූරුව බොහොම විනයක් ඇති රටක්. මීට අවුරුදු කිහිපයකට පෙර ඔවුන්ගෙ ආර්ථිකය කඩා වැටුණා. නායකයො පාර්ලිමේන්තුවෙ කතා කළා. සේවා ආර්ථිකයක් තිබෙන රටක් හැටියට ඔවුන්ට ඉඩම් - කෘෂිකර්මාන්තය වගේ දේ නැහැ. ඔවුන් එන්ටටේන්වලට ගියා. අද ලෝකයේ ඉහළම වෙළෙඳ සමුළු - සම්මේලන ‘ඩිසිප්ලින් ගැම්බ්ලින්...’ ඔය ඔක්කොම තිබෙන්නේ සිංගප්පූරුවේ. ඒ වෙනුවෙන් ඔවුන් විශාල ප්‍රදේශ වෙන් කළා. ඇමෙරිකාව වුණත් අද බිස්නස් සාකච්ඡාවලට තෝරා ගන්නෙ සිංගප්පූරුව. සිංගප්පූරුව අද බිස්නස් ලෝකෙ ‘හබ්’ එකක්. ඕනෑම හොඳ දෙයක් නරකට හරවා ගන්නත් පුළුවන්. ඒ වගේ ම, ඕනෑම නරකක් හොඳකට හරවා ගන්නත් පුළුවන්. ඒක තියෙන්නෙ ඒ රටේ මිනිස්සුන්ගෙ අතේ.

අපේ රටේ දැන් කැසිනෝ සූදුව ඇත්තෙ ම නැද්ද...

අවලංගු කළ නොහැකි ලයිසන් තුනහතරක් තිබෙනවා. ඒවාට ඇතුළු වෙන්න පුළුවන් සාමාජිකයන්ට පමණයි.

මොනවද ඔබට පෙනෙන අපේ ර‍ෙට් ව්‍යාපාර ලෝකයේ සෙසු හිස්තැන්...

ලෝකයේ නාවික ගමනාගමනයේදි අපේ රට එදා පටන් ‘හබ්’ එකක්. නැව් දහස් ගණනක් එහා මෙහා යන්නෙ හම්බන්තොට පහුකරන්. ඉතින් ඔවුන්ට සේවා සැපයිය හැකි සේවා අංශයේ අවස්ථා මොන තරම් ඉතිරිව තිබෙනවද... සේවා මධ්‍යස්ථානයක් ලෙස ම, අද්දවා ගත හැකි ව්‍යාපාර මොන තරම් තිබෙනවාද... ටුවරිසම්වලින් හොයනවා වගේ දහගුණයක් ආදායම‍ මේ ක‍්ෂේත්‍රයෙන් උපයන්න පුළුවන්. ඉතින්, අපේ රටේ ව්‍යාපාරිකයන්ට නොදැනෙන මේ අගය දන්නා චීන්නු, ඇමරිකන්කාර‍යො බිස්නස් අරන් කොහොම හරි ලංකාවට රිංගනවා. දැන්වත් අපේ දැවැන්ත ව්‍යාපාරිකයො මේ කෘෂිකර්මය, නාවික ගමනාගමනය වගේ අංශ ගැන මීට වඩා හිතන්න ඕනෙ. කාමර දාහක් තියෙන හෝටලයක් ගහලා පරිසරය, සොබාදහම සහ ටුවරිසම් විනාශ කරනවට වැඩිය, කරනවා නම් ඊට වඩා හුඟක් දේ, රට තුළ ම තිබෙනවා.

හෝටල් ජීවිතයේ ඔබ මුහුණ දුන් දුෂ්කරම අභියෝගය කුමක්ද...

කණ්ඩලම හෝටලය හදපු එක. ජෙෆ්රි බාවත්, මගේ බොස් සිවරත්නම් මහත්මයත්, මාත් තැනක් තෝරන්න හෙළිකොප්ටරයෙන් කණ්ඩාලමට ගිය දා පටන් හෝටලය හදා අවසන් වන තුරුම මුහුණ දුන්නේ එක අභියෝගයකට නෙවෙයි, මහා දුෂ්කර අභියෝග රැසකටම. හෝටල් ක්ෂේත්‍රයට පාරිසරික නීති කියලා යමක් එකතු වුණා නම්, ඒ කණ්ඩලම නිසාමයි. අලුත් නීති රීති අණ පණත් කෙළවරක් නැතිව. ඒ හැමදේටම මුහුණ දුන්නා. හැබැයි ග්‍රාමීය ජනතාවටත් ටුවරිසම් පුළුවන් කියලා අපි ඔප්පු කළේ කණ්ඩලමෙන්. වගා නොකළ අය, වගා කරන්න ගත්තා. කම්කරු ශ්‍රමය දුන්නා. අඛණ්ඩව සැපයුම්කරුවො බිහිවුණා. ගම්මුන්ගෙ අතමිට සරු වුණා. මුලින් විරුද්ධ වූ ගම්මු, ටුවරිසම්වලම කොටස්කාරයො වුණා.

ඔ‍බේ නායකත්වයේ ලක්ෂණයක් කියන්න...

නායකයකුට පුළුවන් වෙන්න ඕනේ, කෙනකු දෙනවට වඩා දෙයක්, ඔහුගෙන් උකහා ගන්න. එයිට්කන් ස්පේන්ස් සභාපති වෙලා හිටි කාලයේ සේවකයෝ 8,000ක් විතර හිටියා. ගැමුණු ගුණවර්ධන වගේ පරිපාලන නිලධාරි‍න්, චෙෆ් දිමුතු කුමාරසිංහ වගේ ලෝක සූරයන් බිහිවුණේ ඒ කාලයේ. සම්ප්‍රදාය කඩමින් මං ඔවුන් ඔසවා තැබුවා. මං යමක් ගත්තා වගේ ම, ඔවුන්ගේ ජීවිතවලටත් දෙයක් දුන්නා.

ඒත් සම්ප්‍රදාය කඩලා, සේවකයන් ඔසවා තැබීම ප්‍රධානියෙක් ලේසියෙන් නොකරන දෙයක්...

නියම වැඩකරුවන් වෙනුවෙන් මං එහෙම කරන්න බය වුණේ නැහැ. වැඩකරන දක්ෂයන් ඔසවා තැබීම, ප්‍රධානියකුගේ වගකීමක්. ගණකාධිකාරීවරයෙක් විදියට එයිට්කන් ස්පෙන්ස් ජාලයට බැඳුණු මම සභාපති දක්වා ආවෙ කොහොමද... මගේ ප්‍රධානියා, නිර්ලෝභිව මට අවස්ථාවක් දුන්නු නිසා. ඒ වගේම, මං වැඩ පෙන්වපු නිසා. අවංකව වැඩ කරපු නිසා. මමත් මං යටතේ ඉන්න මිනිසුන්ට එහෙම නොකළොත් මොකක්ද ම‍ෙග් තිබෙන වටිනාකම. නියම ප්‍රධානියකු ළඟ, කුහක සිතිවිලි තිබෙන්න බැහැ. තමන් අකැමැති පුද්ගලයකුගේ වුණත් වැඩ හොඳ නම් ඔහු අගයන්න ඕනේ.

හුඟක් ප්‍රධානීන් කට්ට කන්නේ තමන්ගෙම ව්‍යාපාර වෙනුවෙන් විතරයි.

ඒක මගේ ජීවිතයෙ නැහැ. මාලදිවයිනේ අපි හැදූ පළමු හෝටලය ‘ක්ලබ් රනාලි’ හදද්දි මං වැඩ කළේ කම්කරුවෙක් වගේ. අන්තිම දවස් හය හත අපි කවුරුත් එහෙම වැඩ කළා. මට මතකයි, මං කොන්ක්‍රීට් කණු 56 ක් ඇද්දා. ශ්‍රී ලාංකික සමාගමක් ප්‍රථම වරට මාලදිවයිනේ හෝටලයක් හැදුවේ එහෙම කට්ට කාලා. ඊට පස්සෙ අපි හෝටල් පහක් හැදුවා. මේවා හෝටල් ක්ෂේත්‍රයේ පළමු වරට සිදුවු දේවල්.

ජීවිතය පදම් වුණේ ‍‍හෝටල් රස්සාවෙන්මද...

මං වෘත්තීය ජීවිතය පටන් ගත්තෙ, ‘අර්නස්ට් ඇන්ඩ් යං’ ඔඩිට් ෆර්ම් එකේ පුහුණුවන ගණකාධිකාරිවරයෙක් විදියට. ඊට පස්සෙ වැඩ කළේ ලංකා පොහොර සංස්ථාවේ. ඊළඟට ගියේ එයිට්කන් ස්පෙන්ස් සමාගමට. ටික කලකින්, මගේ මිත්‍රයා, මිත්‍ර වෙත්තමුණිගේ ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගමට යනවා. එතැන ටික කලක් වැඩ කරලා මං ආපහු නවතින්නේ, එයිට්කන් ස්පෙන්ස් සමාගමේ. මේ හැම තැනකම වැඩ කරලා ලබපු පන්නරයත් තාත්තා ජීවිතයට දුන් හොඳ ප්‍රතිපත්ති සහ අම්මාගෙන් ජීවිතයට ලැබුණු ආදරණීය බවත් නිසයි, හොඳ මිනිසුන් ලෙස අපි ගොඩනැඟුණේ.

තාත්තා ඔබේ ජීවිතයට දුන් වටිනාම දේ කුමක්ද...

මම සල්ලිකාරයෙක් නෙවෙයි, ප්‍රින්සිපල් කෙනකුගෙ පුතෙක්. ‘ජීවිතයේ හොඳ ප්‍රතිපත්ති තරම් සල්ලි ලොකු වෙන්න බැහැ පුතා...!’ මගේ තාත්තා මට කියලා තියෙනවා. මං ජීවත් වුණේ ඒ ප්‍රතිපත්තියේ පිහිටලා. මගේ ලොකු පුතා බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක්. මගේ තුන්වැනි පුතා ඇමෙරිකාවේ ළමා රෝග විශේෂඥයෙක්. දෙවැනියා IT උපාධිධාරියෙක්. වැඩකරන්නේ බැංකුවේ. මේ තුන්දෙනාට ම, තාත්තා මට කියා දීපු ඒ ජීවිත පාඩම මං උගන්වලා තිබෙනවා. ඒ නිසා මගේ පුතාලා කවදාවත්, මිනිස්සු ගසා කන වෛද්‍යවරු වෙන්නෙ නැහැ. මේ තමයි තාත්තා මට දීපු, මං දරුවන්ට දිපු වටිනා ම දේ.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

සෙන්ට් බෙනඩික්ට්ස් කොලේජ්, කොටහේන. ඕ - ලෙවල් ඉවර වූ ගමන්, මං එකවුන්ටන්සි කරන්න ගත්තා. මගේ සමහර යාළුවො ඒ ලෙවල් කරලා, යුනිවර්සිටි ගිහිල්ලා එනකොට, මං ෆීල්ඩ් එකේ එකවුන්ටන්ට් කෙනෙක් විදියට නමකුත් හදාගෙන. හැබැයි ‍ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා, අයියලා දෙන්නටත් මල්ලිටත් නංගිටත් වැඩිය, පවුලේ ලැජ්ජාශීලී ළමයා වුණේ මං.

එහෙම ළමයා කොහොමද මේ තරම් ඉක්මනට වෘත්තීය ජීවිතය අරඹන‍්නෙ...

ගායනාවටම දෙවියො දීපු හොඳ ගැඹුරු කටහඬක් මට තිබෙනවා. තාත්තා මාව හරියට ඒ දේට තල්ලු කළා. පුංචි කාලෙ ඉඳලා මං රේඩියෝ ස‍ිලෝන් එකේ වැඩසටහන්වල ඉංග්‍රීසි ගීත ගායනා කළා. තරග දිනුවා. ඒ කාලෙ මං ‘මැලිබන් ටැලන්ට් ෂෝ’ එකේ ජනප්‍රිය ගායකයෙක්. කොතැන වැඩකළත් අවංකව හා එඩිතරව වැඩකරන ජීවිත පාඩම් තාත්තා අපේ ජීවිතවලට කා වැද්දුවා. තරමක් ලැජ්ජාශීලි වුණාට, මං බය නැහැ. නිර්භීතයි. ඔඩිට් ෆර්ම් එකේ වැඩ කරන්න ගත්තම සේරම හරි ගියා.

අඩසියවසකට ආසන්න හෝටල් ජීවිතයේ, ආපහු හැරුණොත් හිත කොතැනද නවතින්නේ...

කණ්ඩලමේ. ඊළඟට මාලදිවයිනේ. ගෘහ නිර්මාණ ශිල්පයෙන් බැබළෙන ඉංජිනේරු විශිෂ්ටත්වයෙන් පිරිපුන්ව, පරිසරයේ ඉහළම වටිනාකමක් රැකගෙන ගම සහ ප්‍රජා සංවර්ධනයක් සිදුකරමින්, යටකළ ආයෝජනයට ඉහළම ප්‍රතිලාභ ලබාගෙන අපි කරපු විශිෂ්ටම හෝටලේ, කණ්ඩලම. කණ්ඩලම හැදුවෙත් මාලදිවයිනේ පළමු වතාවට හෝටලයක් හැදුවෙත්, මං එම්.බී. එක සම්පූර්ණ කළෙත් එකම කාලෙක. අවුරුදු තුන හතරක් ඇතුළත මං මේ සියල්ල සම්පූර්ණ කළා. අදත් කණ්ඩලම හෝටලය සහ මාලදිවයිනේ ක්ලබ් රනාලි කියන්නෙ, ලංකාවෙ ටුවරිසම් ඉතිහාසයේ නොමැකෙන සහ බැබළෙන සුපිරි උදාහරණ.

ඔබේ ජීවිතයෙන් කවුරු හරි ගන්නවාට කැමැති, හොඳම දේ කුමක්ද...

එයිට්කන් ස්පෙන්ස් සමාගමේ ගණකාධිකාරිවරයෙක් වුණාට මං එදා වැඩට ගියේ බස් එකේ. 1978 දියි ම පළමු වතාවට Ac කාමරයක වැඩ කළේ. මට ම කියලා ගත්තු පළමු වාහනේ මෝටර් සයිකලයක්. එහෙම මම, පස්සෙ කාලෙක හෝටල් ගණනාවක කළමනාකාරිත්වය බාර ගන්නවා. ඒවා වැටෙන්න නොදී ගොඩදානවා. වතුර ගැලුම් ලක්ෂ පහක් අල්ලන ලංකාවෙ ලොකුම පිහිනුම් තටාකය සහිත ඩොල්ෆින් හෝටලය, කණ්ඩලම හෝටලය, කොළඹින් පිට ඉදි කළ පළමු තරු පහේ හෝටලය ට්‍රයිට්න්... මේ සියල්ල ඉදිකිරීමට නායකත්වය දෙනවා. පුදුමයි! මට දැන් අවුරුදු 71 ක්. ඒත් වැඩ කිරීම තරම් සතුටක් මට තවත් නැහැ. මේ කාරණා දිහා හොඳින් බැලුවොත් ඔබට මගේ ජීවිතයෙන් ගන්න දෙයක් තියේවි. ඒ දේ ඔබම සොයා ගන්න.

 

 ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්