අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් තරම් ඉතිරි කරන්න | Page 2 | සිළුමිණ

අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් තරම් ඉතිරි කරන්න

අලුත උපන් බිලිඳාගේ සිට නව යොවුන්, තරුණ, වැඩිහිටි, විශ්‍රාමික ආදි සෑම වයසක් ම නියෝජනය කරන අපේ රටේ මිනිසුන් නඟා සිටුවන්නටත් වර්ධනය කරන්නටත් DFCC බැංකුව දරන උත්සාහය සුළු පටු නොවේ.

වාණිජ බැංකුවක් සේ ක්ෂේත්‍රයට පිවිස කෙටි කලක් වුවද බැංකු ක්ෂේත්‍රයේ ඉතිහාසයක් ඇති DFCC, අද ජනතාවගේ බැංකුවක් ලෙස පෙරමුණේ හිඳී.

ව්‍යාපෘති නිලධාරියකු සේ DFCC බැංකුව වෙත පා තබා, ඊට වසර 30 කට පසු එහි මුල් පුටුවේ අසුන් ගන්නා ලක්ෂ්මන් සිල්වා, DFCC හි ප්‍රධාන විධායක නිලධාරියා (CEO) ලෙස ජාතික කර්තව්‍යයකට අත ගසා හිඳියි. ශ්‍රී ලාංකේය ජනතාව වෙත DFCC බැංකුවෙන් ලබා ගත හැකි සේවා පිළිබඳ මේ ඔහු හා සමඟ කළ කතා බහකි.

DFCC ශාඛා මොනතරම් ප්‍රමාණයක් රට පුරා තිබෙනවද...

ශාඛා එකසිය දහයක් සහ සේවා මධ්‍යස්ථාන විසි අටක් රට පුරා ක්‍රියාත්මකයි. ඉදිරියේදි මේ සේවා මධ්‍යස්ථාන, පරිපූර්ණ ශාඛා බවට පත් කිරීමටත් නියමිතයි. ඩිජිටල් බැංකුකරණය ද ඇතුළත්ව, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සෑම බැංකු කටයුත්තක් සඳහාම අවශ්‍ය පහසුකම් අපේ ශාඛාවලදි ලබා ගන්නට පුළුවන්.

මොනවද හඳුන්වා දී තිබෙන අලුත් ගිණුම්ක්‍රම...

ශ්‍රී ලංකා රුපියල් හෝ විදෙස් මුදල් ලෙස ඉතිරි කළ හැකි, ඉතිරි කරන ප්‍රමාණය අනුව, පොලී ප්‍රතිශතය ඉහළ යන, නව ගිණුම් ක්‍රමයක් ‘වර්ධන එක්ස්ට්‍රීම් සේවර්’ නමින් පසුගිය වසරේ අප හඳුන්වා දුන්නා. රුපියල් 1000 ක අවම ශේෂයක් සඳහා වුවත් ඉහළ පොලි අනුපාතයක් හිමි වීම මෙහි විශේෂත්වයක්. එම පොලී අනුපාතය සතිපතා ගණනය කරන්නේ, ශ්‍රී ලංකා අන්තර් බැංකු අනුපාතිකය (SLIBOR) හෙවත්, බැංකු අතරේ තිබෙන පොලී ප්‍රතිශතයේ, ‘සාමාන්‍ය ප්‍රතිශතය’ පදනම් කරගත් ගෙවීම් ක්‍රමයක් මඟින්. ඒ කියන්නේ, මෙය වැඩිපුර මුදලක් ඉතිරි කරන අයට වැඩිපුර පොලියක් ලැබෙන ක්‍රමයක්. මෙහිදී එම ඉතුරුම් ගිණුමෙන් සියයට අනූවක් දක්වා ණය මුදලක් ද ලබා ගත හැකියි.

ඊට අමතරව ‘වර්ධන ජූනියර්’ ගිණුමේ ප්‍රතිලාභ වැඩි කළා. ලීසිං පහසුකම් ලබා ගත හැකි ක්‍රමවේදය ලිහිල් කළා.

‘ලීසිං’ පහසුකම් ලිහිල් වී තිබෙන්නේ කෙසේද...

‘ජීවිතේ හරි ක‍ාලෙ, හරි ගමනට කාර් එකක් අරගන්න... අපි ඔබව දිරිමත් කරන්නෙ එහෙමයි. ‘ඩවුන් පේමන්ට්’ නැත; ඇපකරුවන් නැත; වරුවෙන් අනුමැතිය. ආදායමට සරිලන මාසික වාරික, නොමිලේ ක්‍රෙඩිට් කාඩ් පත, රක්ෂණාවරණ සඳහා විශේෂ පහසුකම්... ඔය වගේ පහසුකම් රැසක් DFCC ‘ලීසිං’ වෙත ඇතුළත් කොට තිබෙනවා.

පහුගිය ආර්ථික පසුගාමිත්වය DFCC වෙත කළ බලපෑම කෙබඳු ද...

අපගේ කොටස්කරුවන්ගේ සහ තැන්පත්කරුවන්ගේ මුදල් සුරකිමින් බොහොම පරිස්සමින් ඉදිරියට ආ ගමනක් මේ. ඒ නිසා අනවශ්‍ය අවදානම් ගැනීම අපි කවදත් කළේ නැහැ. ණය ලබා දීමේදී, මූලිකත්වය දිය යුතු අංශ පිළිබඳවත් ලබා දිය යුතු ණය ප්‍රතිශත පිළිබඳවත් අප වඩාත් සැලකිලිමත් වනවා. ඒ වගේ ම, ප්‍රතිශතයක් ලෙස සියයට පහළොවක විස්සක වර්ධන වේගයක් අප බැංකුව ලෙස පවත්වාගෙන විත් තිබෙනවා. ඒ නිසා පහු කළ දුෂ්කර කාල පරිච්ඡේදවලදි පවා බොහොම පරිස්සමට ඒ තත්වවලට මුහුණ දෙන්නට අපට හැකි වූවා. මේ යන ක්‍රමය අඛණ්ඩව පවත්වා ගතහොත් 2020 - 21 වන විට, ලංකාවේ ආර්ථිකයේ වැදගත් ම බැංකු ගණයට අයත් බැංකුවක් බවට, අපට පත්විය හැකියි.

ඒ කියන්නෙ රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට බලපෑමක් කළ මේ තාවකාලික පසුබෑම, DFCC වෙත බලපෑවේ නැහැ කියන එකද...

ආර්ථි‍කයේ යම් යම් අංශවලට විශාල පසුබෑමක් ඇතිව තිබෙන බව ඇත්ත. ඒ බලපෑම ගනුදෙනුකරුවන් හරහා වක්‍රව අපිටත් යම් බලපෑමක් ඇති කළ බව ඇත්ත. නමුත් තේ, කෘෂිකාර්මික වැවිලි, ගොවිතැන්, ඉදිකිරීම්... ආදි අංශවල සිදුවූ ඒ පසුබෑම අපිට එතරම් නොදැනුණේ, ‘සුමක’ ණය යෝජනා ක්‍රම යට‍ෙත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයින් නඟා සිටවූ නිසා. ඔවුන්ගේ තත්වය යහපත් වූ නිසා ඒ වගේ සාධනීය දේ වගේම, පැවති අර්බුදකාරි තත්වය නිසා, විදේශිකයන් ආයෝජකයින්ගේ පැමිණීම අඩුවීම සහ ලංකාවේ ශ්‍රේණිගත කිරීම අඩුවීම... යන කාරණා සමස්ත බැංකු ක්ෂේත්‍රයට වගේ ම අපිටත් අයහපත් ලෙස බලපා තිබෙනවා.

මේ තත්වයෙන් ගොඩ එන්න නම්, ව්‍යාපාරික ප්‍රජාවගේ වගකීම කුමක්ද...

තමන්ගේ ආර්ථික ශක්තියට හෝ ව්‍යාපාරයට ඔරොත්තු නොදෙන අවදානම් ගැනීම, ණයගැනීම, කිසිසේත් නොකළ යුතුයි. ව්‍යාපාරයේ පවතින තත්ත්වය හඳුනාගෙන, එය නිසි ලෙස කළමනාකරණය කළ යුතු අතර, වියදම් අඩු කර ගැනීම... අනුන් හඹා යන ආකාරයේ ව්‍යාපාර නොකිරීම... පෙර දැක්මක් සහිතව ක්ෂේත්‍රයේ යෙදීම... වැනි කාරණා කෙරෙහි අතිශය අවධානය යොමු කිරීමට ව්‍යාපාරික ප්‍රජාව කල්පනාකාරි විය යුතුයි.

ඒ වගේ ම, ඔවුන්ගේ අඩපණ වූ හෝ නැවතුණු ව්‍යාපෘති යළි පණ ගන්වන්ටත් ඒවා පවත්වාගෙන යන්නටත් බැංකුව නිතර උදව් කරක්නට සූදානම් නිසා, බැංකුව හා ඒ සබඳතාව නිසි ලෙස පවත්වාගෙන යන්නට ඔවුන් වගබලා ගත යුතුයි.

මේ තත්ත්වය සමනය වන තුරු පුරවැසියන් ලෙස අපගේ වගකීම කුමක්ද...

එය බුදු දහමෙන් පවා උගන්වා තිබෙන සරල කාරණාවක්. මොනතරම් අමාරු වුණත්, හම්බ කරන දෙයින් කොටසක් ඉතිරි කිරීම හැර වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ ඉතිරි කිරීමේ පුරුද්ද ජනතාව වෙත ඇති කරන්න බැංකුවක් විදියට අපි පුළුවන් උපරිම ශක්තිය දෙනවා. ගැළපෙන ගිණුම් ක්‍රම හඳුන්වා දීලා, ප්‍රතිලාභලබා දීලා, ඉතිරි කිරීමේ පුරුද්දට දිරි දෙන්න අපි සූදානම්. ඒ වගේම, ඔබ ලබා ගන්නා යම් ණය මුදලක් වේද එය උපරිම ලෙස අදාළ කාරණාවට ම පමණක් යොදවන්න. ඒ තමයි වැදගත් ම දේ.

ඒ කියන්නෙ ගෙවුණු 2018, තීරණාත්මක වසරක්...

ඔව්. 2015 වාණිජ බැංකුවක් විදියට පරිවර්තනය වුණාට පස්සෙ, වාණිජ බැංකු ක්ෂේත්‍රයේ දියුණුව සඳහායි අපි වැඩිපුරම කටයුතු කළේ. නමුත් ගෙවී ගියේ එතරම් සතුටු වෙන්න පුළුවන් වසරක් නෙවෙයි. ගිය අවුරුද්දේ අවසන් කාර්තුවේ හඳුන්වා දුන් නව බදු ක්‍රමය නිසා අපිට වැඩි බරක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. නමුත් මේ කිසිදු බරක් ජනතාව මතට නොඑන බැංකුව විසින් පමණක් ම දරන බදු.

වෛද්‍යවරුන් හා ඇතිකරගෙන තිබෙන අලුත් ගිවිසුම කුමක් ද...

පසුගිය වසරේ පටන්, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය හා එක්ව ඔවුන්ගේ බැංකුකරුවා ලෙස අප කටයුතු කරනවා. ඒ අනුව, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සියලු ණය පහසුකම් ලබා දීම සිදු කෙරෙනවා.

සාමාන්‍ය ජනතාව හා ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ඉටුවන සේවාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කළොත්...

වෛද්‍යවරුන් අදාළ ණය, වෘත්තිකයන්ට අදාළ ණය, නිවාස ණය, ලීසිං පහසුකම්, පෞද්ගලික ණය, උසස් අධ්‍යාපන ණය... ආදි මෙතෙක් ක්‍රියාත්මක තනි පුද්ගලයින් ඉලක්කකොට ගත් පෞද්ගලික ගනුදෙනුකරුවන්ට අදාළ සංවර්ධන යෝජනා ක්‍රමවලට අමතරව, එදිනෙදා රැකියා කරන අය, අධ්‍යාපනය අවසන් කළ, නවක වෘත්තිකයන්, ව්‍යවසායකයින්, බැංකුව වෙත අද්දවා ගැනීමේ ප්‍රතිශතය වැඩිකර ගැනීමට අපේ මූලික අවධානය යොමුව තිබෙනවා. ඊට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අදාළ කාරක ප්‍රාග්ධන පහසුකම් වැඩි කිරීමටත්, අයිරා පහසුකම් ලබා දීමටත් වැඩි අවධානයක් යොමු වනවා.

එත‍කොට, 2019 වසරේ මූලික ඉලක්කය...

කිහිපයක් තිබෙනවා. 2019 අවසන් වන විට, DFCC බැංකුවේ වත්කම් ප්‍රමාණය අනිවාර්යයෙන් 20% දක්වා ඉහළ ප්‍රතිශතයකට ගෙන ආ යුතුයි. ඒ වගේම, අපගේ ශාඛා කාර්යාල 138 න් වැඩි ප්‍රමාණයක් ඩිජිටල්කරණය කිරීමත් DFCC ක්‍රෙඩිට් කාඩ් පත රට පුරා ප්‍රචලිත කිරීමත්, PCM කෑෂ් මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා අපගේ මහා පරිමාණ ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය විශාල කර ගැනීමත් ඒ ඉලක්ක අතර ප්‍රධානයි. ඒ වගේ ම, බහුතර තරුණ කණ්ඩායමක් නියෝජනය කරන බැංකුවක් හැටියට, නව ජවයකින් යුතුව මේ සියලු කටයුතු සිදු කෙරෙනවා. ඔවුන් නව ආකල්පවලින් හෙබි තරුණ පිරිසක්. ඔවුන්ගේ කාර්යක්ෂම සේවය, අප වෙත එන සෑම ගනුදෙනුකරුවකු වෙත ම එකසේ ලැබෙනව. එය, අපගේ සාර්ථකත්වයට බලපෑ තවත් ප්‍රබල හේතුවක්.

ඡායාරූප - සුලෝචන ගමගේ

 

Comments