සිහියත් හරියට ලුණු-ගොරකා වාගේ! | සිළුමිණ

සිහියත් හරියට ලුණු-ගොරකා වාගේ!

අද අප කතා කිරීමට සූදානම් වන සූත්‍ර දේශනාව මජ්ඣිම නිකායේ කීටාගිරි සූත්‍රයයි. මෙය ඉතා දීර්ඝ දේශනාවක්. ‍මෙහිදී මා මෙම සූත්‍රය පිළිබඳ සැකෙවින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වනවා.

මේ කීටාගිරි සූත්‍රයේ සඳහන් වනවා බුද්ධ ශාසනයේ සිටින නොයෙකුත් පුද්ගල ප්‍රභේද පිළිබඳව. එහි අවසානයටම සඳහන් වන්නේ ශ්‍රද්ධානුසාරි සහ ධම්මානුසාරි පුද්ගලයන් පිළිබඳවයි. අද අප විග්‍රහ කරන්න බලාපොරොත්තු වන්නේ ‍මේ ශ්‍රද්ධානුසාරි සහ ධම්මානුසාරි පුද්ගලයන් පිළිබඳවයි.

බුද්ධ ශාසනයේ සඳහන් වන ආකාරයට බුද්ධ ශ්‍රවකයන් බොහෝ වශයෙන් සසුනට පැමිණෙන්නේ ගුණ-ධර්ම දෙකක් පදනම් කරගෙනයි. එනම්: බොහෝ විට බුද්ධ ශාසනයට යොමු වී තිබෙන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙනයි. තව පිරිසක් බුද්ධ ශාසනයට පැමිණෙන්නේ ප්‍රඥාව මුල් කරගෙනයි. මෛත්‍රී බුදු රජාණන් වහන්සේ සොළොසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා. ඒ, ශ්‍රද්ධාව මුල් කරගෙනයි. ගෞතම බුදුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවේ ප්‍රඥාව මුල් කරගෙනයි. මේ ආකාරයට ප්‍රඥාව මුල් කරගෙන ගුණ පුරන කෙනා ශ්‍රද්ධාව මුල් කොටගෙන පෙරුම් පුරන තැනැත්තාට අඩු කාලයක් තුළ බුද්ධත්වයට පැමිණෙනවා.

මොකක්ද මේ ඉන්ද්‍රිය?

සාමාන්‍ය බෞද්ධයන් අතරත් ධර්මය පිළිබඳ අවබෝධය ඇති වන්නේ මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යන කරුණු දෙක මුල් කරගෙනයි. මේ ශ්‍රද්ධානුසාරි පුද්ගලයා රූපාවචර ධ්‍යාන ඉක්මවා, අරූපාවචර ධ්‍යාන ලබා නැති කෙනෙක්. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැක කෙලෙස් නැති කිරීමට පත් වෙලා නැහැ‍. ඒ වුණත් බුදු රජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධා මාත්‍රයක්, ආදරයක්, ගෞරවයක් තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා, එවැනි පුද්ගලයන් ළඟ 'ඉමේ ධම්මා හෝති' (එනම්: ඉන්ද්‍රිය සති, ඉන්ද්‍රිය සමාධි, ඉන්ද්‍රිය ප්‍රඥා) තිබෙනවා. පළමුවෙන් අප තේරුම් ගත යුතුයි 'ඉන්ද්‍රිය' කියන්නේ මොකක්ද කියලා. එතකොටයි මේ 'ඉන්ද්‍රිය ධර්ම' කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගත හැක්කේ. ඊට පෙර අප දැනගත යුතුයි තවත් ඉන්ද්‍රිය හයක් අපේ ශරීරය තුළ ඇති බව. එනම්: ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවාත් ඉන්ද්‍රිය කියලයි සලකන්නේ. මේවාට ඇයි අපි ඉන්ද්‍රිය කියලා කියන්නේ? මෙය තේරුම් ගන්න නම් ධර්මයේ තව ටිකක් දුරට යා යුතුයි. උදාහරණයක් ලෙස: අප කියනවා සක් දෙවියන්ට 'ශක්‍ර දේවේන්ද්‍ර' කියලා. එය ශක්‍ර දේව+ඉන්ද්‍ර කියලා පැහැදිලි කරන්න පුළුවන්. මෙතන ඉන්ද්‍ර කියලා කියන්නේ 'නායක' කියන වචනයටයි. දේව+ඉන්ද්‍ර කියන්නේ 'දෙවියන්ගේ නායකයා' කියන නමයි. එසේ නම් ඉන්ද්‍රිය කියන්නේ 'ප්‍රධානියා', 'මූලිකයා', 'නායකයා' කියන නමයි. එවිට ඇස (1. චක්ෂු ඉන්ද්‍රිය) කියන්නේ බැලීමට නායකයායි. ඇසීමට නායකයා කනයි (2. ශ්‍රෝත ඉන්ද්‍රිය). ආඝ්‍රාණයට නායකයා නාසයයි (3. ඝාණ ඉන්ද්‍රිය). රසවිඳීමට නායකයා දිවයි (4. ජිහ්ව ඉන්ද්‍රිය). ස්පර්ශයට නායකයා ශරීරයයි (5. කාය ඉන්ද්‍රිය). සිතන්නට නායකයා මනසයි (6. මනේන්ද්‍රිය). මේ විධියට අප මේ හයට කියන්නේත් 'ඉන්ද්‍රිය' කියලයි.

ශ්‍රද්ධාවට ඇයි 'නායකයා' කියන්නේ?

ඉතින් ඇයි අප ශ්‍රද්ධාවට 'නායකයා' කියන්නේ? ශ්‍රද්ධාව මූලිකත්වය ගන්නේ කුමකටද? අපේ හිත තුළ සිටින අශ්‍රද්ධාව නමැති සතුරු සේනාව පරාජය කරන්නයි. ඒ ශ්‍රද්ධාවක් නැතිකම නැති නිසාමයි ගුණ-ධර්මවලට යොමු වීමට අමාරු වන්නේ. පංචසීලය කැඩුණාම රැකගන්න අමාරුයි. භාවනා කරන අය හරි අඩුයි. බණ අහන්න කැමැති අයත් අඩුයි. අප වෙන දේවල් කරන අතරතුරයි බණ අහන්නෙත්. මේ 'අශ්‍රද්ධාව' කියන සතුරු සේනාව පරාජය කරන බලසේනාව තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තමයි මූලික වන්නේ සැම ගුණ-ධර්මයක්ම ඇති වීමට. මේ කියන ඉන්ද්‍රිය දියුණුවේ පිහිටීම ඉතා වැදගත්. අප බණ ටිකක් අහන්නේ ශ්‍රද්ධාවෙන්. එහෙත් ගොඩාක් වෙලා මේ ශ්‍රද්ධාව තුළ සිත රඳවා තබාගන්න අමාරුයි. මේ ධර්මය ඉතා ගැඹුරුයි; අවබෝධ කරගන්න අමාරුයි; අපේ හිත විසිරෙනවා. එක හිතකින් ඉන්න බැහැ. බුදුන් වඳින්න ගියත් හිත එක් තැනක නැහැ. එහෙත් මේ බුදුන් වැඳීමත් එක් අරමුණක පිහිටුවා කළ හොත් ඒ තුළ අපට ධර්ම ප්‍රීතිය ඇති වනවා. මේ ධර්ම ප්‍රීතියත් සමඟ කය සැහැල්ලු වනවා. පුළුන් ගොඩක් වගේ වලාකුළක් වගේ වෙනවා. සමාධිගත සිතකින් බුදුන් වඳින්න හුරු වන්න ඕනෑ. එවිට ඔබට මේ සුවය ලැබෙනවා. 'ලබති අත්තවේදං' හරියට බණ අහනවා නම් අර්ථය අවබෝධ වීමට පටන් ගන්නවා. 'ලබති ධම්මවේදං' ධර්මය හොඳින් තේරුම් යන්න පටන් ගන්නවා. අර්ථයයි ධර්මයයි හොඳින් වැටහෙන කොට ප්‍රීතිය උපදිනවා 'පීති පීති මනස්ස කායෝපි පස්සම්භති චිත්තම්හි පස්සම්භතී' ප්‍රිතිය නිසා කය සහ සිත සැහැල්ලු වෙනවා. 'පස්සද්ධි කායෝ සුඛිනෝ චිත්තං සමාධියති' සිතයි කයයි සැහැල්ලු වුණාට පසු ඉතා සුව සේ දේශනාව තුළ සිත සමාධිගත වනවා.

අශ්‍රද්ධාවේ සිත පිහිටලා තිබෙනවා නම් හරියාකාරව ගුණ-ධර්මයක් පුරාගන්න බැහැ; සීලයක් පුරාගන්න බැහැ. ධ්‍යානයක් වඩන්න ගියත් එය නිවැරැදිව කරන්න අමාරුයි. මලක් පූජා කරන්න බැහැ. ඒ නිසා අපි පිනක් කරන කොටත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඉස්මතු කරගත යුතුයි. එතකොටයි අශ්‍රද්ධාව කියන සතුරු සේනාව පරාජයට පත් වන්නේ.

කුසීතකමත් සතුරු සේනාවක්!

ඉන් පසු වීර්යය නායකත්වය ගන්නවා. මොකටද කියනවා නම්: කුසීතකම කියන සතුරුසේනාව පරාජය පත් කරන්න. 'විජම්භිකා' කියලත් කියනවා. ගුණ-ධර්ම පුරන්න යන විට කුසීතකම ප්‍රබල වෙලා, නිදිමත එනවා, අලසකම එනවා. 'අරති' කියන්නෙ අකුසල ධර්මයට ඇලෙන්නේ නැහැ කියන එකයි. නින්දා 'තන්ධි විජම්භිකා අරතී වක්ත සම්මතෝ.' මේ සතුරුසේනාව පරාජය කරන්නේ වීර්යයයි. කුසලධර්මයක යෙදෙන විට හොඳින් වාඩි වෙලා සිටිය යුතුයි. අප භාවනා කරද්දී මේ ශරීරය අත්හැරිය යුතුයි. 'භහි තත්තෝ විහරතී' කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භාවනාවේදී ශරීරයයි ජීවිතයයි ගැන කල්පනාව අත්හරින්න කියලයි කියන්නේ. භාවනා කරද්දී කායික වීර්යය අවශ්‍යයි; මානසික වීර්යයත් අවශ්‍යයි. භාවනා අරමුණ තුළම සිත රඳවාගත යුතුයි. මානසික වීර්යය අවශ්‍ය වන්නේ එයටයි.

ධර්මාවබෝධයට අවශ්‍ය වන්නේ සම්මා සතියයි. මෙහි සම්මා සතිය කියන්නේ සතිපට්ටානයට ඇති සිහියයි. එදිනෙදා ජීවිතයටත් සිහිය අවශ්‍යයි. මේ සිහිය හරියට ලුණු-ගොරකා වගේ කියලා අට්ඨකථාවේ කියනවා. මාළු උයන කොට කල් තබාගන්න ලුණු අවශ්‍යයි. සිහිය කියන එක හැම මොහොතකම තිබුණ හොත් සිත අකුසලින් රැකගන්න පුළුවන්.

අනෙක් කාරණාව 'ප්‍රඥාව' කියලා කියන්නේ. අප ප්‍රඥාව කියලා හිතන්නේ දැනුමටයි. ප්‍රඥාවෙන් කෙලෙස් නැති කරනවා.

මේ ඉන්ද්‍රීය ධර්ම තිබෙන කෙනා කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න ඕනෑ; ශ්‍රද්ධාව-ප්‍රඥාව සමව පවත්වාගන්න ඕනෑ. මේ ආකාරයට මේ ඉන්ද්‍රිය තුලනය කරමින්, බණ-භාවනා කරමින් වාසය කළ හොත් මේ ජීවිතයේදීම ධර්මාවබෝධය ලබන්න පුළුවන් බව සර්වඥයන් වහන්සේ දේශනා කර තිබෙනවා.

Comments