සතුට හොයා යන මිනිසුන් කනත්තට දක්කන මාරක සැණකෙළි | සිළුමිණ

සතුට හොයා යන මිනිසුන් කනත්තට දක්කන මාරක සැණකෙළි

සුදත් සමරදිවාකර
තනූජා සූරියබණ්ඩාර

වෙළෙඳ ප්‍රදර්ශන, විනෝද මේලා, සැණකෙළි, කානිවල් ආදී නම්වලින් පෝස්ටර් බැනර් කටවුට් යන එන මහපාරේ ප්‍රදර්ශනය කෙරෙයි. ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ඇතුළු වෙන සියල්ලන්ටම විනෝද වන්නට බොහෝ දේ ඒ තුළ තිබෙන බව සංවිධායකයෝ ප්‍රකාශ කරති. විනෝදය සතුට සිඟමන් යදින්නට සිදු වී ඇති සමාජ වටපිටාවක් තුළ සතුට වින්දනය සොයා සැනසෙන්නට ඇතුළු වන්නන්ට සතුට වෙනුවට කඳුළ උරුම වන්නේ නම් ඒ පිළිබඳ බොහො දේ සිතා බැලිය යුතුය.

පසුගියදා එලෙස විනෝද වන්නට පැමිණි මවක සහ දියණියක මියගිය දුක්බර පුවතක් අසන්නට ලැබුණේ ජංගම සැණකෙළි භූමියකදී නම් නොවේ.

සැණකෙළි විචිත්‍රවත් කරන කතුරු ඔංචිල්ලා, මෙරිගෝ රවුන්ඩ්, පුංචි කෝච්චිය කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා සියල්ලන්ගේ සිත් මොන තරම් නම් විචිත්‍රත්වයකට පත් කරන්නට ඇද්ද? ඉඳහිට හෝ ගමක නගරයක මේ සතුට විඳින්නට අවස්ථා තිබිය යුතුය. ඒ සතුට සතුටක් මිස කඳුළක් විය යුතු නැත. ජංගම සැණකෙළි ඇතුළත විනෝදය බෙදන උපකරණ, ඒවායේ ක්‍රියාකරුවන් සහ අයිතිකරුවන් පිළිබඳ සිතා බලන්නට හෝ සොයා බලන්නට කිසිවෙකු නැත.

සැණකෙළියක් සඳහා කතුරු ඔංචිල්ලාව, පුංචි කෝච්චිය, මැරිගෝ රවුන්ඩ් ආදී යාන්ත්‍රික මෙවලම් ලබාදෙන්නේ ක්‍රම දෙකකටය. එක් ක්‍රමයක් වන්නේ ලැබෙන ආදායමෙන් සියයට හැටක් උපකරණ අයිතිකරුට හා ඉතිරි සියයට හතලිහ සංවිධානය කරන පිරිසට ලබාදීමය. දෙවන ක්‍රමය වන්නේ එක් එක් උපකරණය සඳහා නිශ්චිත මුදලක් නියම කර එම උපකරණ සැණකෙළිය සංවිධානය කරන සංවිධායකයන් වෙත ලබාදීමය. දෙවන ක්‍රමයට උපකරණ ලබාගන්නා පිරිසට ප්‍රධාන ක්‍රියාකරුවන් හැර එම උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සේවකයන් යොදාගැනීමට ද සිදු වේ.

ජංගම විනෝද උද්‍යාන සඳහා විශේෂ පුහුණුවක් ලද සේවකයෝ නොසිටිති . සැණකෙළි පවත්වන්නේ උත්සව සමයේදී පමණක් නිසා ස්ථිර සේවකයන් යොදාගැනීමද කළ හැක්කක් නොවේ. එදිනෙදා අවශ්‍යතා මත සොයාගන්නා ස්ථිර රැකියා නොකරන පිරිසක් ජංගම සැණකෙළි තුළ පවත්වාගෙන යන යාන්ත්‍රික උපකරණ ක්‍රියා කරවීමට යොදා ගැනෙති.

එක් සැණකෙළියක් ඇරැඹීමට මොහොතක් තිබියදී උපකරණ හිමිකරු සමඟ සිදුවූ ගැටුමක් හේතුවෙන් සංදර්ශන පැවැත්වීම වර්ජනය කර සේවකයෝ සියලු දෙනාම පිට වී ගියහ. මුල් දිනයේ සැණකෙළි උපකරණ ක්‍රියාත්මක කිරීමට නොහැකිව සැණකෙළිය අවලංගු කිරීමට සිදු විය. උපකරණ හිමිකරු අවට ගම්වලින් කම්කරුවන් සොයාගෙන විත් ඉතිරි දින සියල්ලම ඉතා සාර්ථක අයුරින් සන්දර්ශනය පවත්වාගෙන ගියේය.

ඒ දින කීපය සඳහා කුලී පදනම මත සේවයට පැමිණි එක් තරුණයෙක් නගරයේ සිටි මුට්ට කරගසන්නෙකි. සැණකෙළි උපකරණ හිමිකරු යටතේ බොහෝ කාලයක් සේවය කළ ඔහුට මේ ව්‍යාපාරය පිළිබඳව අවබෝධ කරගන්න ගත වූයේ කෙටි කාලයක් පමණකි. ඔහු ලබාගත් දැනුම කොතරම්ද කියනවා නම් අද දවස වන විට මේ තැනැත්තා සැණකෙළි උපකරණ කුලියට සපයන ඒ පිළිබඳ නමක් දිනූ ව්‍යපාරිකයෙකි.

එම සැණකෙළි භූමියේ ඉදි කර තිබූ සියලු විනෝද යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට හැකි වූ නමුත් මාරක ළිඳේ මෝටර් සයිකල් පදවන්නට ධාවකයෙකු සොයාගැනීම පහසු කාරණයක් නොවිණි. මාරක ළිඳේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා පැමිණි තරුණ කොලුගැටයාට කරන්නට රාජකාරියක් තිබුණේ නැත. වට වූ මාරක ළිඳ පතුලේ නවතා තිබූ මෝටර් සයිකලය පණගන්වාගත් මේ ළාබාල තරුණයා කම්මැළිකම මඟහරවා ගන්නට වට කීපයක් සයිකලය ධාවනය කළේය.

ලෑලි වටය මතට සයිකලය ගෙන එක් වරක් ධාවනය කළ ඔහුට මේ නම් එතරම් අපහසු කාර්යයක් නොවේ යැයි ප්‍රත්‍යක්ෂ විය. එතැන් පටන් මාරක ළිඳේ මොටර් සයිකල් ධාවනය ප්‍රදර්ශනය කිරීම ඇරැඹිණි. අද ඔහු මාරක ළිඳ තුළ මාරක මෝටර් සයිකල් සංදර්ශන පවත්වන්නෙකි.

ජංගම විනෝද සංදර්ශන නැති නම් කානිවල් සංවිධානය කිරීම ඉතා පහසු කටයුත්තක් නොවේ. එවැනි දෑ සංවිධානය කිරීමෙන් ලාබ ලබන අවස්ථා මෙන්ම පාඩු පිට පාඩු විඳීමට සිදු වන අවස්ථා බොහෝය. මෙවැනි අලාභ සිදු වන බොහෝ තැන්වලදී බොහෝ සංවිධායකයන් කරන්නේ සංදර්ශනකරුවන් අතරමං කර පලා යෑමය. එවන් එක් අවස්ථාවක සැණකෙළි භූමිය තහඩුවලින් ආවරණය කිරීම, විදුලි බුබුළුවලින් අලංකාර කිරීම, ප්‍රධාන වේදිකාව ඉදිකිරීම ඇතුළු කටයුතු රැසක් ඉටු කළ ආයතනයකට මුදල් නොගෙවා සංවිධායකවරයා පලා ගියේය. මේ තැනැත්තාගෙන් මුදල් ලබාගැනීමට නොහැකි නිසා ඔහුට අයත් පුංචි කෝච්චිය, ස්ටේජ් තහඩු අයිතිකරු ලොරියක පටවා රැගෙන ගියේය. ඉන් පසු ඔහු විවිධ උත්සව අවස්ථා සඳහා පුංචි කෝච්චිය කුලියට දීමට පටන්ගත්තේය. එය ඉතා ලාභදායි ව්‍යපාරයක් බව වටහාගත් හෙතෙම විනෝද උද්‍යාන උපකරණ රැසක් මිලදීගෙන ඒවා කුලියට සැපයීම කරගෙන යයි.

ජංගම විනෝද උද්‍යන පවත්වාගෙන යෑමට අවශ්‍ය වන මෙරිගෝරවුන්ඩ් පුංචි කෝච්චිය කතුරු ඔන්චිල්ලා ආදී උපකරණ සපයන සැපයුම් මධ්‍යස්ථාන බොහොමයක් ඇරැඹී ඇත්තේ ඒ ආකාරයටය.

මේ ආයතනවලට එවැනි උපකරණ බොහෝ විට රැගෙන එන්නේ චීනයෙනි. සමහර උපකරණ චීනයේත් අබිලි ද්‍රව්‍ය ලෙස ඉවත් කළ ඒවාය. විදේශවලින් කුණු කොල්ලයට ගෙන එන එම උපකරණවල ප්‍රමිතිය පිළිබඳ හැමදාමත් ගැටලු තිබිණි. මේ උපකරණ රටට ගෙන්වීමේදී නියාමනයක් වී දැයි සිතන තරමටම ඒවා අබලි කසළ විය. පාසලේ පන්සලේ පල්ලියේ ඇතුළු බොහෝ උත්සව අවස්ථා සඳහා සැණකෙළි භාණ්ඩ සපයන ආයතනවල තත්ත්වය ඕකය.

එවැනි ආයතනවලින් විනෝද උපකරණ ලබාගෙන උත්සව අවස්ථාව අලංකාර කරගැනීම හා මුදලක් උපයාගැනීම සියලුම ආයතන වල අරමුණයි. එවන් ආර්ථික අරමුණකින් පෙර අතීතයේ දිනයක සංවිධානය කළ සැණකෙළි බිමක සිදු වූ තවත් එක් දුක්බර සිදුවීමකි මේ.

දිනය එක්දහස් නවසිය හැත්තෑ හතර වර්ෂයේ ජනවාරි මස හතරවනදාය. ස්ථානය කැලණිය ප්‍රසිද්ධ පාසලකි. විදුහලේ වාර්ෂික සැණකෙළිය පැවැත්වෙමින් තිබිණි. වයස අවුරුදු දහ තුනක් වූ ඩී. පි. ඒ. ශ්‍රියානි සිල්වා දැරිය එවකට පදිංචි වී සිටියේ කැලණිය පට්ටිය හන්දියේය. එම විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ ඇය පාසල මගින් සංවිධානය කරන ලද සැණකෙළියට සහභාගි වූයේ සිය බාල මල්ලිලා හතරදෙනා සහ කුඩා නැඟණිය සමඟය. වේලාව රාත්‍රි එකොළහ පසු වී ඇත. ශ්‍රියානි සහ සොයුරු සොයුරියෝ මුදල් ගෙවා ප්‍රවේශපත් රැගෙන කතුරු ඔන්චිල්ලාවට ගොඩවූහ. ඔන්චිල්ලාව කරකැවෙයි. ශබ්දවාහිනියෙන් ඇසෙන මිල්ටන් මල්ලවආරච්චිගේ ගයන ‘එදා රෑ ගුවන්තොටුපළේ දී මා‘ ගීතය ඇය කැරකෙන කතුරු ඔන්චිල්ලාවේ සිට ආශාවෙන් අසාගෙන සිටියාය. ශ්‍රියානිට අසන්නට ලැබුණේ ඇගේ ජීවිතයේ අඳුරුම දවසේ ඇසුණු සොඳුරුම ගීතයෙන් කොටසක් පමණි. ඉන් අනතුරුව ඇයට පියවි සිහිය ලැබෙන්නේ දින හතරකට පසුව කොළඹ මහරො­්හලේදීය.

මීට වසර හතලිස් පහකට පෙර සැණකෙළියක් තුළ ඒ අවාසනාවන්ත ජීවිත අත්දැකීමට මුහුණ දුන් ශ්‍රියානි සිල්වා සිටින්නේ අප ඉදිරියේය. ඇය සිය කතාව කීවාය.

“පුංචි කාලේ මම කොණ්ඩෙ වැව්වෙ ගොඩක් ආසාවෙන්. දණහිසට පල්ලෙහාට තරම් දිගට ඒ කාලෙ මගෙ කොණ්ඩෙ වැවිල තිබුණා. මම ආසාවෙන් පුංචි කාලෙ වවපු කොණ්ඩෙ තමයි මගෙ ජීවිතයට අවාසනාව ගෙනාවේ. කතුරු ඔන්චිල්ලාවෙ නැඟල යනකොට මම දන්නෙම නැතුව මගෙ කොණ්ඩෙ ඔන්චිල්ලාවෙ පැටලිලා එක පාරට කෙස් වලින් කවුරුහරි උස්සනව වගේ දැනුණ මතකයි.

ඊට පස්සේ මට සිහිය එනකොට මගෙ ඇස්දෙක පේන්නෙ නෑ. මූණ ඉදිමිලා ඇස්දෙක වැහෙන තරමටම. මගෙ කොණඩෙ හමත් එක්ක සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහිල්ල කතුරු ඔන්චිල්ලාවේ එතිලා. මම අවුරුදු දෙකක් හිටියෙ ඉස්පිරිතාලෙ. මාස හයක්ම දැඩි සත්කාර ඒකකයෙ. කතුරු ඔන්චිල්ලාවක යන්න ගිහිං මට මගෙ ජීවිතයම නැතිඋනා. ආයෙත් කවදාවත් ඔයාගෙ කොණ්ඩෙ වැවෙන්නෙ නෑ කියල දොස්තරල කියනකොට...” ඇයට කියන්නට හැකි වූයේ එපමණකි. බොහෝ දුර අතීතයේ සිදුවූ අනතුර නිසා දුර්වල වී ඇති ඇගේ දෑසින් කඳුළු ගලා හැලුණේය. ඒ කදුළුවල බොහෝ දේ සැඟ වී තිබිණි.

“අපි හරිම දුප්පත් මිනිස්සු... තාත්තට සන්තකේටම තිබුණෙ ඉඩමක් විතරයි. ඒ ඉඩමත් විකුණල මට වෙදකම් කෙරුවා. මම හින්ද අපේ මුළු පවුලම අසරණ වුණා. මේ සිද්ධිය වුණ දවසෙ ඉඳලා මම ලෙඩෙක් විදිහට බෙහෙත්වලින් ජීවත් වෙනවා.

මට මේ අනතුර වුණේ කොළඹ මරදානේ ඩීන්ස් පාරේ ඒ දවස්වල කානිවල් බඩු කුලියට දුන්න ආයතනයක කතුරු ඔන්චිල්ලාවකින්. පස්සෙ ඒ ආයතනයෙන් මට කොස් ලීවලින් හදපු අල්මාරියක් ගෙනත් දුන්නා. අල්මාරියෙ වටිනාකම රුපියල් හාරසිය පනහක්. ඒ කාලෙ හැටියට ඒ අල්මාරිය ගොඩක් වටිනවා.”

අවුරුදු හතළිස් පහක් ගත වී ඇත. තවමත් විනෝද උයන්වලදී මිනිස්සු මාරක අනතුරුවලට මුහුණ දෙති. ඒ මාරකයන්හි බිහිසුණු අඳෝනා අල්ලසින් යට කර දමති.

Comments