ලේ පිළිකා රෝගීන්ට ජීවය දුන් අපේක්ෂා රෝහලේ ඇටමිදුලු බද්ධය | සිළුමිණ

ලේ පිළිකා රෝගීන්ට ජීවය දුන් අපේක්ෂා රෝහලේ ඇටමිදුලු බද්ධය

පසුගිය 06 වැනි දා බදාදා මහරගම අපේක්ෂා රෝහලට සුවිශේෂි දිනයක් විය. ඒ , මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකය විසින් රෝගීන් 50 දෙනකුට ඇටමිදුලු සාර්ථකව බද්ධ කිරීමේ කටයුත්ත එදින උත්සවශ්‍රීයෙන් සැමරීම යි. මෙය සැමරීමට තරම් වටිනා කාරණවක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මෙය ලංකා‍ව වැනි පුංචි රටකට ඉතා වැදගත් සිදු වීමක් වන්නේ ඇට මිදුලු බද්ධ කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු වුයේ මහරගම අපේක්ෂා රෝහලේ වීම නිසා ය. අදටත් ඇටමිදුලු බද්ධ කිරීම සිදු වන එකම රජයේ රෝහල මහරගම අපේක්ෂා රෝහල නිසා ය.

මෙහි ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවනු ලැබුවේ 2016 දෙසැම්බර් මාසයේදීය. මේ වන විට එම ඒකකයට වසර 2ක් සම්පූර්ණ වී තිබේ. ඊට අවශ්‍ය පුහුණුව සඳහා වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්ගෙන් සමන්විත කණ්ඩායමක්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාන්ත වින්ස්ටන් රෝහල බලා පිටත් වූයේ සාන්ත වින්ස්ටන් රෝහල ඇටමිදුලු බද්ධ කිරීමට නම් දරා සිටින නිසා ය.

“2016 දෙසැම්බර් මාසයේ එම ඒකකය ස්ථාපිත කළේ 2013 විතර ඉඳලා කරපු සැලසුමකට අනුවයි. පසුගිය පෙබරවාරි 06 වැනි දා රෝගීන් 50 දෙනකුට ඇට මිදුළු බද්ධ කිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වූවා. ඒ උත්සවයට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාන්ත වින්ස්ටන් රෝහලේ වෛද්‍යවරයෙකුත් සහභාගි වුණා. එදින උත්සවයට රෝගීන් 50 දෙනාගෙන් 40 දෙනෙක් සහභාගි වුණා. මෙහි තිබෙන විශේෂත්වය තමයි අපි කරපු ඇටමිදුලු බද්ධ කිරීම් 50 ම සාර්ථක වීම. එකම රෝගියකුවත් මරණයට පත් වුණේ නැහැ. අපිට අවුරුදු දෙකට මීට වඩා කරන්න පුළුවන්. ඒත් අපට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැහැ. එක් වරකට රෝගීන් දෙදෙ‍නකුට පමණයි කරන්න පුළුවන්. ඒ දෙදෙනාට විශේෂ කාමර 2 ක් තිබෙනවා. ඒ කාමර දෙකේ අපි රෝගීන් දෙදෙනාට සති 3ක් වත් තබාගෙන ප්‍රතිකාර කරනවා. ඒ අනුව අපිට මාසයකට රෝගීන් දෙදෙනකුට වඩා භාර ගන්න විදිහක් නැහැ. අපේ ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයේ කාර්යය මණ්ඩලය 16 දෙනයි ඉන්නේ. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් ඉන්නවා. වෛද්‍යවරුන් තුනදෙනෙක් ඉන්නවා. හෙදියන් පස් දෙනෙක් ඉන්නවා. ඉදිරියේදී රුධිරගත පිළිකා සම්බන්ධයෙන් විශේෂඥ පුහුණුව ලැබීමට විදේශයට ගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ආපසු ලංකාවට පැමිණේවි. ඒ නිසා අපි රෝගීන් වෙනුවෙන් කාමර 6 ක් වත් ඇතුළත් වන විදියට පහසුකම් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.” යනුවෙන් පැවසුවේ ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයේ රුධිරගත පිළිකා විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක ය.

ඇට මිදුලු බද්ධ කළ රෝගීන් 50 දෙනා අතරින් වයසින් වැඩිම ‍රෝගියා ලෙස සටහන් වී තිබෙන්නේ අවුරුදු 62 ක පිරිමියෙකි. අඩුම වයසින් යුත්ත රෝගියා 17 හැවිරිදි දැරියකි. 2017 අගෝස්තු මාසයේ අ.පො.ස. උසස් පෙළ විභාගයට තොරතුරු තාක්ෂණය අංශයෙන් පෙනී සිටිමින් ඉහළින් සමත් වී විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට සූදානමින් සිටී. ඇට මිදුලු බද්ධ කළ රෝගීන් අතරින් සිංහල වචනයක්වත් කතා කළ නොහැකි, යාපනයේ සිට පැමිණි රෝගිහු හතර දෙනෙක් ද සිටියහ.

ඇට මිදුලු බද්ධ කිරීම සිදු කරනු ලබන්නේ රුධිර පිළිකා වැලඳුණු රෝගීන්ට ය. එහෙත් සෑම රුධිර පිළිකාවකට ම මෙය සිදු නොකෙරේ. එය තීරණය කෙරෙන්නේ රුධිර පිළිකා වර්ගය අනුවය. ඇට මිදුලු බද්ධ කිරීම දෙයාකාරයකින් සිදු වේ.

1. ස්වයං ඇට මිදුලු බද්ධය - රෝගියාගේ ම ඇට මිදුලු රැගෙන බද්ධ කිරීම

2. දායක ඇට මිදුලු බද්ධය - නිරෝගි පුද්ගලයකුගෙන් ලබාගත් ඇට මිදුලු බද්ධ කිරීම

දැනට ශ්‍රී ලංකාවේ, එනම් මහරගම අපේක්ෂා රෝහලේ සිදු කෙරෙන්නේ ස්වයං ඇටමිදුලු බද්ධ කිරීම පමණි. ස්වයං ඇට මිදුලු බද්ධය සිදු කෙරෙන්නේ Multiple Myeloma සහ Lymphoma යන පිළිකා රෝග දෙවර්ගයට ගොදුරු වූ රෝගින්ට ය. එම රෝගීන්ගේ ඇට මිදුලු ලබා ගැනීමට පෙර පරීක්ෂණ රාශියක් ද ප්‍රතිකාර රාශියක් ද කළ යුතු වන්නේ ඔවුන් නිරෝගී පුද්ගලයන් නොවන බැවිනි. ඇතැම් විට ඔවුන් රුධිරගත පිළිකා රෝගයට අමතරව වකුගඩු, දියවැඩියාව, අක්මා, රුධිරය කැටි ගැසීම වැනි විවිධ රෝගවලින් පෙලෙනවා විය හැකිය. ඇට මිදුලු බද්ධ කිරීම සඳහා ඔවුන් යෝග්‍යදැයි පරීක්ෂා කරනු ලබන්නේ එම නිසාය.

ඉන් පසුව එම රෝගීන් වෙනුවෙන් කීමෝ ප්‍රතිකාර ලබා දෙන්නේ නැවත නැවතත් රෝගය මතු වීම වළක්වා ගැනීමට ය.

“රෝගියාගේ පරීක්ෂණ කරලා ඇටමිදුලු බද්ධයට සුදුසු ද කියලා බැලුවාට පස්සේ ප්‍රතිකාර කළ යුත්තේ ඇටමිදුලු සෛල වෙන් කිරීමට බාධාවක් නොවන ආකාරයට වගේම පිළිකා රෝගය මැඬ පවත්වන විදිහටයි. ඊට පස්සේ මූලික සෛල රුධිරයට එකතු වන විදිහට අපි ඖෂධ දෙනවා. ප්‍රමාණවත් මූලික සෛල තියෙනවා නම් අපි ඒ රෝගියාගේ රුධිරයෙන් මූලික සෛල වෙන් කරනවා. ප්‍රමාණවත් නැති නම් ආයේ ගන්නවා. මෙහිදි රුධිරයේ පරිමාව වගේ දෙගුණයක් හෝ ඊට වැඩි පරිමාවක් යන අතරේ තමයි එම වෙන් කරගැනීම සිද්ධ වෙන්නේ.එම අවස්ථාවේ රුධිරය ආපසු රෝගියාගේ ඇඟ ඇතුළට ම යනවා. මූලික සෛල වෙන්කර ගන්නවා.” යනුවෙන් මෙම ක්‍රියාවලිය පැහැදිලි කළේ රුධිර බැංකුවේ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක ය.

ඉන්පසුව එම රෝගීන්ට දින 14 ක විවේකයක් ලබා දෙන අතර ඇට මිදුලු බද්ධ කිරීමට පෙර නැවතත් කීමෝ ප්‍රතිකාර ලබා දීමට නියමිතය. එම රෝගියාගෙන් ලබාගත් මූලික සෛල උෂ්ණත්වය ඍණ 80 යටතේ අධි ශීතකරණය තැන්පත් කරන අතර එහිදී සෛලවලට රසායනික ද්‍රව්‍යයක් එකතු කරනු ලබන්නේ ඒවායේ ජීවී බව රඳවා ගැනීමටය. රෝගියාගේ රුධිරයෙන් මූලික සෛල වෙන් කරගැනීමේ ක්‍රියාවලිය සඳහා පැය 4-6 ක කාලයක් ගත වේ. ඉන් අනතුරුව සෛල සකස් කිරීමේ කටයුත්තට පැය 2 ½ -3 ක් පමණ ගතවේ. සෛල සකස් කිරීම විෂබීජ නොයන ආකාරයට, මනා පුහුණුවකින්, සිදු කළ යුතු කාර්යයකි. මෙම සියලු කාර්යයන් සිදු කරනු ලබන්නේ මහරගම අ‍පේක්ෂා රෝහලේ රුධිර බැංකුව විසිනි.

රෝගියාට ඇටමිදුලු බද්ධ කිරීමේදී රුධිර බැංකුව ලබාගෙන තැන්පත් කර තිබෙන මූලික සෛල හෙවත් ඇට මිදුලු, ශරීර උෂ්ණත්වයට පැමිණෙන තෙක් සකස් කිරීමෙන් පසු විනාඩි 15ක් ඇතුළත රෝගියාට ශරීරගත කරන ආකාරයට ය. මෙම රෝගීන්ගේ ශරීරයේ රුධිර සෛල අඩු නිසා රුධිරය සහ රුධිර පට්ටිකා රෝගියාට දීමට සිදු වේ. එහෙත් මෙම රෝගින් වෙත ලබා දෙන රුධිරය සාමාන්‍ය කෙනෙකුට දෙන රුධිරයට වඩා වෙනස් වේ. එනම් මෙම රෝගින්ට ලබා දෙන්නේ විකිරණයට භාජනය කළ රුධිරයයි.

ඇට මිදුලු බද්ධ කළ පිළිකා රෝගීන්ගේ ශරීරයේ සුදු රුධිරාණු සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බැවින් ඔවුන්ට ලෙඩරෝග සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් නැත. එබැවින් සුළු සුළු රෝග පවා ඔවුන්ට අසාධ්‍ය අන්දමින් බලපෑමට ඉඩ ඇත. විවිධ ආසාදන සහ සංකූලතා ඇති වීමේ අවදානම ඇති බැවින් විෂ බීජ හරණය කළ විශේෂ කාමරවල මෙම රෝගීන් සති 3 ක කාලයක් රඳවා තබා ගැනෙනු ඇත. ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පැමිණි පසු නිවෙස් කරා පිටත් කළ ද මාස 6ක් ගත වන තුරු මෙම රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පසු විපරමක් සිදු කෙරේ.

දායක ඇටමිදුලු බද්ධය සිදු කෙරෙන්නේ ලියුකේමියා රෝගින්ට ය. මෙහිදී සිදු වෙන්නේ නිරෝගි පුද්ගලයකුගේ ඇටමිදුලු බද්ධ කිරීමය. එහෙත් මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. මෙම අවස්ථාවේදි සෛල ගැළපෙන දායකයන් සොයා ගත යුතුය. ඒ සඳහා HLA පරීක්ෂණය කළ යුතුය. රෝගියාගේ සහෝදර සහෝදරියන් ඊට වඩාත් සුදුසු දායකයන් බව වෛද්‍ය විද්‍යාත්මක ව පිළිගැනෙනු ඇත. මෙහිදී දායකයාගේ නිරෝගි බව රුධිර ගැළපීම යනාදි සාධක සියල්ල සැසඳුණු විට රුධිරයෙන් සෛල වෙන් කිරීමේ ක්‍රියාවලිය පෙර ආකාරයටම සිදු කරනු ලබන්නේ දායකයාගෙනි. ඉන් අනතුරුව දායකයාගෙන් වෙන් කරගත් මූලික සෛල හෙවත් ඇටමිදුලු නියමිත දිනයකදී රෝගියාට විනාඩි 15ක් ඇතුළත ලබා දෙනු ඇත. මෙම අවස්ථාවේදී ලියුකේමියා රෝගියාගේ ප්‍රතිශක්තිකරණය දීර්ඝ කාලයක් යටපත් කිරීමට සිදු වේ. එබැවින් විවිධ ආසාදනවලට සහ සංකූලතාවලට ගොදුරු වීමේ අවදානම වැඩිය. දායක ඇටමිදුලු බද්ධ කිරීමේ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් වීමට දීර්ඝ කාලයක් ගත වේ. එ‍බැවින් මෙම රෝගීන් අවුරුදු 3-5 ත් අතර කාලයක් ඉතා පරිස්සමෙන් රැක බලා ගත යුතුය.

“දායක ඇටමිදුලු බද්ධ කිරීම පටන් ගන්න අපිට ප්‍රමාණවත් පහසුකම් නැහැ. අපිට මීට වඩා ප්‍රමාණවත් ඉඩකඩ, පහසුකම් දෙනවා නම් ස්වයං ඇටමිදුලු බද්ධ කිරීම වුණත් මීට වඩා වැඩි සංඛ්‍යාවක් කරන්න පුළුවන්. අපි මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. ඔවුන් අපිට සහයෝගය ලබා දෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. දැන් එන්න එන්න රෝගීන් වැඩියි. ඇටමිදුලු බද්ධ කිරීමට රෝගීන් පොරොත්තු ලේඛනයේ ඉන්නවා. මගේ උත්සාහය 2019 දෙසැම්බර් වන විට කොහොමහරි ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකය පුළුල් කරලා දායක ඇටමිදුලු බද්ධ කිරී‍මේ කටයුත්ත පටන් ගන්න. මම එක පාරටම මේ වැඩේ පටන්ගත්තේ නැහැ. පියවරෙන් පියවර තමයි අපි පැමිණියේ මුලින්ම ඒකකය හදන්න සැලසුම් කළා.

වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමකට පුහුණුව ලබා ගැනීමට කටයුතු කළා. ඊට පස්සේ ඒකකය ආරම්භ කරලා ස්වයං ඇටමිදුලු බද්ධ කිරීමෙන් ඉතා සාර්ථක ගමනක් ඇවිත් ඉන්නවා.

අපේ ජයග්‍රහණයේ රහස අපි පියවරෙන් පියවර ළඟා වීම කියලා මම විශ්වාස කරනවා. හැබැයි මෙතැනදී ගෞරවය හිමි විය යුත්තේ ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයට විතරක් නොවෙයි. ලේ බැංකුව,ක්ෂුද්‍ර ජීවි අංශය, රක්තවේද අංශය මේ හැමෝම එකතු වෙලා තමයි ඇටමිදුලු බද්ධ කිරීමේ කටයුත්ත කරන්නේ. ඒ නිසා ඔවුන්ටත් ගෞරවය හිමි විය යුතුයි.” යනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයේ ප්‍රධානි, පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ සඳහන් කළේ නිහතමානිත්වය.

රුධිරයෙන් සෛල වෙන් කිරීම රුධිර බැංකුව විසින් සිදු කරනු ලබද්දී ආසාදන රෝගවලින් වැළැක්වීමේ කාර්යය සිදු කෙරෙන්නේ ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍ය සමන්මලි ගුණසේකර ඇතුළු කණ්ඩායමයි. ඇටමිදුලු පරීක්ෂා කිරීමේ කටයුතු රක්තවේද විශේෂඥ වෛද්‍ය ශෂිකලා සුරේෂ් ඇතුළු කණ්ඩායම අතින් සිදු වේ. මේ අනුව ඔවුන් සියලු දෙනා දම්වැලක පුරුක් මෙන් එකට බැඳී සිටින්නේ රුධිරගත පිළිකා රෝගීන්ගේ අපේක්ෂා ඉටු කිරීමට ය.

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments