මුදලාලිලාගේ ඉල්ලමෙන් වළ පල්ලට යන පැල්මඬුල්ලේ පුංචි ළමයි | සිළුමිණ

මුදලාලිලාගේ ඉල්ලමෙන් වළ පල්ලට යන පැල්මඬුල්ලේ පුංචි ළමයි

“රත්නපුරේ මිනිස්සු මැණික් ඉල්ලම් ටිකක් ගරන්නේ නැතුව මාළු බාන්නද?“ යැයි සමහරු අසති. එවැනි කතා බහුලව ඇසෙන්නේ අනවසරයෙන් ඉල්ලම් සොයා පතල් කපද්දී පොලීසියට අසු වූ අවස්ථාවලදී ය. වෙනත් රැකියාවක් නැතිව අන්ත අසරණ මිනිස්සු බොහෝ දෙනෙකු සිය ජීවිකාව ගෙන යන්නේ ගඟේ, ඇළේ, දොළේ වැලි ටිකක් ගැරීමෙනි. එසේත් නැත්නම් මැණික් ලැබෙන හෝ ලැබුණ ප්‍රදේශවල කුණුපස් සේදීමෙනි. මේ කුමන තැනක තිබී හමුවුවද මැණික් ගලේ වටිනාකම අඩුවන්නේ නැත.

රත්නපුර දිස්ත්‍රික්කයේ භූමියෙන් වැඩි කොටසක් මැණික් සම්පත පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. මැණික් නෙළාගැනීම සඳහා පතල්කරුවෝ සහ පතල් කම්කරුවෝ විවිධ ක්‍රම භාවිතා කරති. බලපත්‍ර සහිතව මෙන්ම රහිතවද මැණික් කැණීම් සිදු කරයි. එයින් ලැබෙන මැණික් වාසනාව නිසා අද රුපියලක් අතේ නැති පුද්ගලයෙකු හෙට කෝටිපතියෙකු, ලක්‍ෂපතියෙකු බවට පත් වෙයි. එයද පින පව දෙක අනුව සිදු වන බව බෙහෝ දෙනෙක් වමේ සියල්ලම නිවැරදිය. එසේ විය යුතුය. එහෙත් අප කියන්නට යන කතාව එතරම් සුන්දර එකක් නොවන බව සහතිකය. අවිධිමත් හා අනවසර මෙන්ම අශීලාචාර පතල් ක්‍රියාකාරකමක් හේතුවෙන් අනූ නවයෙන් ජීවිතය බේරාගත් පැල්මඩුල්ල නීලගම පදිංචි ධර්මරාජ වශීගරන් නැමති දහතුන් හැවිරිදි පාසල් දරුවා අප සමඟ පැවසූ කතාව පුදුම සහගතය.

“පසුගිය පෙබරවාරි පස් වැනිදා පෙරවරු 10.00 ට විතර ඒ සිද්ධිය වුණේ. ඒ වේලේ මට වතුර බොන්න ඕන වුණා. මම පන්තියේ සිටි ගුරුතුමියට කියලා පන්තියෙන් එළියට ගියා. ටිකක් ඉක්මනට නැවත පාඩම අහගන්න ඕන නිසා වේගෙන් දිව්වා. වතුර බීලා ගිය වේගෙන්ම ආපසු එද්දී එක පාරටම කකුල් දෙකම පොළොව යටට බැස්සා. එක කකුලක් උඩට ඔසවල ගොඩට ගන්න හැදුවා. කොහොමත්ම ඒක සාර්ථක වුණේ නැහැ. බැරිම තැන ක්‍ෂණිකවම ඒක කෙළවරේ මතු වෙලා තිබුණු සිමෙන්ති ගැටියෙ එල්ලුණා. මට දෙවියන් සිහිවුණා. බැම්මේ එල්ලිලා ඉන්න ගමන්ම හයියෙන් කෑ ගැහුවා.

ඒ වේලාවෙ පන්තියේ යාළුවොයි, ගුරුවරුයි දුවලා ඇවිත් මට ගොඩට එන්න උදව් කළා. මම හරියට කල්පනා කළේ නැති නම් වළට වැටෙනවා. පස් ගිලා බහිනවත් එකක්ම දුඟද හමන ජලයෙන් පිරී ගියා. පෙණ දාගෙන පිරුණු වතුරට වැටුණ නම් මට ජීවත් වෙන්න ලැබෙන එකක් නැහැ. දැන් වතුර වළක් දකින කොටත් මගේ ඇඟ ගැහෙනවා. මගේ දණහිස් දෙක හොඳටම තුවාල වුණා. කහවත්ත රෝහලට ගිහින් ප්‍රතිකාර ගත්තා.” වශීගරන් සිසුවා පවසයි.

ඔහු ඉගෙන ගන්නේ පැල්මඩුල්ල අංක 01 දෙමළ විද්‍යාලයේ අට වැනි වසරේ. තම සොයොහුරා සහ සහෝදරිය ඉගෙන ගන්නෙත් ඒ පාසලේ. පියා ධර්මලිංගම්. ස්ථිර රැකියාවක් නැහැ. මව විදෙස් ගතවෙලා. වසරකට කලින්. වශීගරන් අප සමඟ කීවේ. “මම මැරුණා නම් මගේ අම්මා පිටරට ඉඳලා විඳින දුක්වලට වන්දි ගෙවන්නේ කවුද?” කියලයි.

දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන ගමේ පාසලට පැමිණෙන කුඩා දරුවන්ට පාසල් බිම අනාරක්‍ෂිතද? මීට පෙරද පාසල් ගොඩනැගිලි අසල පතල්වල දෝනා නිසා හෑරුණු වළවල් රැසක් දැකගත හැකිය.

සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පති එම්. මෝහන්රාජ් මහතා පවසන්නේ මෙවැනි දෙයකි.

“මේ පාසල ආරම්භ කර ඇත්තේ 1928 වර්ෂයේදී එංගලන්තයේ සුදුමහත්වරුන්. තේ කර්මාන්තයේ නියැළී අයගේ දරුවන් සඳහා අධ්‍යාපනය හැදෑරීමට එදා ඉඳලා පාසලේ ගුරුවරු බඳවාගත්තේ වත්තෙන්. ඒ අයට වැටුප් ගෙව්වේ වතු පාලනාධිකාරයෙන්. 1984 දී මේ පාසල රජයට පවරාගෙන සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතට පත් කළා. එදා ඉඳලා සියලු කටයුතු සොයා බලන්නේ සබරගමු පළාත් සභාවෙන්. මේ වන විට පාසලේ දරුවන් හාරසිය හැත්තෑවක් ඉගෙනුම ලබනවා. ගුරු සංඛ්‍යාව විසිතුනයි. දැන් දෙවැනි පන්තියේ පාසලක්.

අපේ පාසල පිහිටි භූමියේ හැම තැනකම ඉස්සර මැණික් ලැබුණා. වැසිකිළි වළක් කැපුවත් ඒ තැනින් මැණික් ලැබෙන නිසා අත්තිවාරමක් කපන්නවත් හරිම අමාරුයි. මට හිතෙන හැටියට දැන් නම් මේ ඉඩමේ මැණික් නැහැ. මුලින් කැපූ පතල්වල දෝනා තමයි මේ මතු වෙන්නේ.

එක කාලෙක පාසලේ ක්‍රීඩා පිටියේ තිබුණු ඉල්ලම් මැණික් සංස්ථාවෙන් අරගෙන ගියා. ඉඩම අක්කර දෙකක් විතර තිබෙනවා. 1996 දී පාසලට ලැබුණු දෙමහල් ගොඩනැගිල්ල ඉදි කිරීමට යොදා ගන්න වුණේ ක්‍රීඩා පිටියේ කොටසක. 2016 අවුරුද්දේ සිංහල හින්දු අලුත් අවුරුද්දට පාසල නිවාඩු දුන්නා විතරයි ගමේ කීප දෙනෙක් පාසල් ගොඩනැගිල්ල අසලම මැණික් පතලයක් හාරලා තිබුණා. ඒ වෙලාවේ අඩි 10ක් පමණ ගැඹුරු වළක් මම මවුපියන් සමඟ එකතු වෙලා වහලා දැම්මා. පාසල් වත්ත අවට පතල් කපලා. මතුපිටින් පාසල් වත්තට එන්න බැරි නිසා උඩට නොපෙනෙන්න දෝනා හාරලා මේ විනාශය කරලා තිබෙන්නේ. මම දන්නේ නැහැ. තව කොතැනක මේ වගේ අනතුරු දායක තැන් තියෙනවාද කියලා.

හදිසියේම පසුගිය 06 වෙනිදා පතල් දෝනාවලට ඇද වැටුණු දරුවාගේ ජීවිතය බේරුණේ පෙර පිනට. මේ වන විටත් පාසල් වත්තේ නොවැසූ පතල් වලවල් කීපයක් තිබෙනවා. පාසල් ගොඩනැගිලිවලත් පේව්මන්ට් ගිලා බැහැලා වතුර උල්පත් මතු වෙලා.

2016 ගංවතුර හා නාය යෑම් නිසා අපේ පාසලත් දැඩි අපහසුතාවට පත් වෙලා. එදා පැල්මඩුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, පළාත් අධ්‍යාපන කාර්යාලය මැදිහත් වෙලා රුපියල් පහළොස්දහස් දෙසීය තිස්තුනයි ශත හැත්තෑපහත් ගෙවලා භූවිද්‍යා හා කැණීම් කාර්යාංශය මඟින් වාර්තාවක් කැඳෙව්වා. එම වාර්තාවේ තිබුණේ පාසල් ගොඩනැගිලිවලට අනතුරක් නැහැයි කියලා. නැවත අපි කිව්වා මීට වඩා අනතුරු වී තිබෙන්නේ පාසල් භූමිය කියලා. එදා ආපදා කළමානකරණ මධ්‍යස්ථානයෙන් ඊට අවශ්‍ය සහාය ලබා දෙනවා කිව්වත් ඉටු වුණේ නැහැ.

මේ වන විට අපේ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා අපට කියලා තිබෙනවා මුදල් කොච්චර වැය වුණත් කමක් නැහැ දරුවාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගතයුතු ඕනෑම පියවරක් ගැනීමට බලාපොරොත්තු වන බව. දැනට මෙම ගිලා බැස්ම වූ ස්ථානයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලේ පන්තිවල දරුවන් සහ ගුරුවරු රැඳී සිටීමට අකමැත්තක් දක්වනවා.

කේ. විජේ මහතා - අපේ සහෝදර සහෝදරියන්ගේ ඔක්කෝම දරුවන් එන්නේ මේ පාසලට. මේ වගේ අනතුරු වන විට දරුවන් පාසලට එවන්න බයයි. ගිලා බැහැපු පතල් වළ අඩි 8 - 9ක් ගැඹුරුයි. තව මොන පැත්තෙන් පාසල් වත්තට දෝනා ඇතුළු වෙලාද කියලා අපි දන්නේ නැහැ. මතුපිටින් හොඳ ශක්තිමත්ව පෙනුණාට පොළොව ඇතුළේ තත්ත්වය අවදානම් බව පැහැදිලියි. බලධාරීන් සොයා බලා දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුයි. ගමේ උදවියත් තමන්ගේ දරුවන් එන පාසල රැකගැනීමට උදව් කළ යුතුයි.

සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පු ආරච්චි මහතා.

“උදේ පාසලට පැමිණෙන දරුවා පිළිබඳ අපි වග කියන්න ඕනෑ. හොඳ නරක දෙකම අපට උරුමයි. ගුරුවරයා හා විදුහල්පති කියන්නේ සමාජයේ සෑම විටම දැඩි අවදානයට ලක් වන උදවිය. සිදු වන සෑම ක්‍රියාවකම අවසාන වගකීම එන්නේ අපේ නිලධාරීන්ට. දරුවාගේ ආරක්‍ෂාව පිළිබඳ කාරණයේදී පාසලේ පෙනෙන්නට තිබෙන අනතුරුවලින් දරුවා පරෙස්සම් කරගැනීම පහසුයි. නමුත් ඇස් මට්ටමට නොපෙනෙන පොළොව යට තත්ත්වය පිළිබඳ නිශ්චය වශයෙන් අපට කියන්නට බැහැ.

පාසල පන්සල, කෝවිල සහ පල්ලිය කොතැන වුණත් තමන්ට වාසියක් තිබෙනවා නම් ඕනෑම හානියක් සිදු කිරීමට අද අපේ මිනිස්සු යොමු වෙනවා. මිනිසුන්ගේ සංවේදී සිත් අතුරුදන්වීම මීට ප්‍රධාන සාධකයක් ලෙසයි මම දකින්නේ. පැල්මඩුල්ල අංක 01 දෙමළ විද්‍යාලයේ දරුවගේ සිද්ධිය කිසි විටෙකත් බැහැර කිරීමට පුළුවන් කමක් නැහැ. එය බරපතළ සිදුවීමක්.

මේ වන විට පැල්මඩුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ වාර්තාවක් කැඳවා තිබෙනවා. ඊට අදාළව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මීට පෙර මෙම විද්‍යාලයේ භූමිය පිළිබඳ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මඟින් කළ පරීක්‍ෂණයේදී පාසල් ගොඩනැඟිවලට හානියක් නොවන බව දන්වා තිබෙනවා. එහෙත් පාසල් භූමිය තුළ පවතින මෙවැනි අනාරක්‍ෂිත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය සහ අවධානය අවශ්‍යයි. පතල් දොනාව හැරූ තැනැත්තන්ගේ දරුවකු වුණත් මෙවැනි අනතුරකට ලක් විය හැකි බව හැම දෙනාම සිහිතබාගත යුතුයි.”

රත්නපුර කියූ සැණින් ඕනෑම කෙනෙකුට මතකයට නැඟෙන්නේ මැණික්. ඒ සමඟම පතල්. සේදී ගිය ගං ඉවුරු. විශාල පස්කඳු ගොඩගසා ඇති අයුරු. රූප සටහන් පෙළක් ඔබේ මනසේ සටහන් වෙනවා ඇති. ඒ අතර පැල්මඩුල්ල කියන්නේ ප්‍රමුඛ නමක් උසුලන ප්‍රදේශයක්. වර්තමානය වන විට මේ තත්වයේ විශාල වෙනසක් හා පරිවර්තනයක් දකින්නට තිබෙනවා. පවතින නීති රීති අනුවත් ප්‍රධාන මැණික් ව්‍යාපාරිකයන් පරිසරය ගැන අවබෝධයෙන් සහ අවධානයෙන් කටයුතු කරන නිසා අනතුරු නිර්මාණය වීම අඩු විය හැකියි.

සමහරුන්ට අවශ්‍ය මුදල් පමණයි. පොදු දේපළවලට ජීවිතවලට කොතෙක් හානි සිදු වුණත් තම ආශාව පසුපස හඹා යෑම නතර කිරීමට මිනිසුන් තාමත් සූදානම් නැත. මීට වසර ගණනාවකට පෙර පතල් දෝනාවලින් මතු වුණු අනතුරුදායක කතා වැඩිපුරම අසන්නට ලැබුණේ රත්නපුරයෙන්. රත්නපුර, පැල්මඩුල්ල, බළන්ගොඩ මාර්ගය ඉදිකිරීමේදී තිරිවනාකැටිය, කැටන්දොළ, රිල්හේන පැල්මඬුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශ දෝනා සවි කළ රබර් කඳන් මත තිබුණු බව අප අසා ඇත. එපමණක් නොව පැල්මඩුල්ල නගරයම පතල් දෝනා මත පිහිටා ඇති බවට විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් පැල්මඩුල්ල පුණ්‍ය භූමියේ ඉල්ලම් නොතිබූ තැනක් නැතුවා සේම එම ඉල්ලම් වල මිණිකැට නොලැබූ අවස්ථාද ඉතා විරලය. වර්තමානය වන විට පතල් කර්මාන්තයේ විවිධ තාක්‍ෂණික ක්‍රම භාවිත කෙරේ. නමුත් මැණික් සම්පත නෙළාගැනීමේ රජයේ නිර්දේශිත ක්‍රමවේදයක් ද ඇත. ඊට අදාළ නීතිරීති මාලාවක්ද පනවා ඇත. එමඟින් පරිසරයත්, ජනජීවිතයත්, සතා සිවුපාවාත් මිහිපිට ආරක්‍ෂිතව ජීවත් කරවීමට අවශ්‍ය පසුබිම සකසා ඇත.

එහෙත් නොහික්මුණු සිත් ඇත්තන්ගේ අශික්ෂිත ක්‍රියා බොහෝ දෙනෙකු අනතුරේ රඳවා තිබේ. රජයක් වශයෙන් රත්නපුරේ මිනිසුන්ට මැණික් සම්පත නෙළාගැනීම සඳහා නීතිමය සහනයන් ලබා දෙනවා සේම එකී කර්මාන්තයේ නියැළී සියලු දෙනාගේම වගකීම වන්නේ තවත් කෙනෙකුට එමඟින් හිංසාවක් නොවන පරිදි මැණික් කර්මාන්තයේ යෙදීමයි. එසේම නීති උල්ලංඝනය කරන්නවුන් සඳහා නීතිය බලගන්වන ආයතනවලට හැකියාවක් ඇත. එය එසේ නොවන්නේ නම් කරුණු සොයා බැලිය යුතුය.

අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පමණක් පාසල් දරුවාගේ ආරක්‍ෂාව තහවුරු කළ නොහැකිය. බාහිර පරිසරයෙන් සිදු වන හානි වළක්වාගැනීම සඳහා ඊට අදාළ සියලු ආයතන තම යුතුකම් හා වගකීම් ඉටු කිරීම ප්‍රමුඛ කොට සැලකිය යුතුය. රත්නපුර දිස්ක්‍රික්කයේ මේ පාසල පමණක් නොව, වාර්තා නොවූ තවත් බොහෝ පාසල් මෙවැනි අනතුරුදායක තත්ත්වයන් තුළ පැවතිය හැකි වන අතර මේ සඳහා වගකිව යුත්තන් තම පරම පූජනීය සේවය සැලසිය යුත්තේ එක් දරුවකු හෝ තම ජීවිතයෙන් වන්දි ගෙවීමට පෙරය.

Comments