දෙවියන්ට පූජා කළ ලේ ගොටුවට ප්‍රේතයෙක් ඇදී එයි | සිළුමිණ

දෙවියන්ට පූජා කළ ලේ ගොටුවට ප්‍රේතයෙක් ඇදී එයි

මිනිස්සු ජීවත්වීම සඳහා පහසු ආදායම් මාර්ග සොයති. එය පෘථග්ජනයන්ගේ සොබාවයකි. ආගමික දිවි පෙවෙතක් ගෙවමින් උදේ හවස මල් පහන් පුදති. පිරිත් කියති. ඒ මඟින් තවත් අයගේ ලෙඩ දුක් සුවපත් කරන්නට යැයි ආශීර්වාද කරති. නූල් බඳිති. කර්ම විපාක අනුව ලෙඩ දුකට පත් මිනිස්සු එසේ පිදුරු ගස්වල ද එල්ලෙති. ශීලයක නොපිහිටා, අධිෂ්ඨාන නොකර විශ්ව ශක්ති ලැබිය නොහැකිය.

තව අයෙක් දෙවිවරුන් නමින් දේවාල හදාගෙන පුද පූජා පවත්වති. “දේව වරමින්” යැයි සාත්තර කියති. අප අනාදිමත් කාලයක් තිස්සේ අනන්ත සසර ගමනේදී සම්බන්ධකම් පැවැත්වූ ලේ ඥාතීහු විශ්වය පුරා ද අප අවට ද සැරිසරති. එ‍ෙස් පුද පූජා පවත්වන විට එවැනි භූතාත්ම ඊට ඇල්ම බැල්ම හෙළයි. හරියට කෑමක් බීමක් නැතිව දුක් විඳින එවැනි ඥාති ප්‍රේතයන් මෙවැනි තැන්වලට කිට්ටු කරන්නේ ද එල්ලෙන්නට වැල් නැතිව සිටින අයට අවස්ථාවක් ලැබුණු බැවිනි.

ඥාතියාගේ ශරීරයට රිංගා ගෙන යම් යම් ක්‍රියා කරමින් බාහිර මිනිසුන් ඇද ගැනීමට උදවු කරති. සමහරු හිස කරකවමින්, උඩ පනිමින්, අසාමාන්‍ය දේ කරමින් “සාත්තර කියනවා යැයි පැමිණෙන රෝගියාට ගැළපෙන ලෙස කතා කරති. ඒ මිසක කුසල විපාකවලින් ඉතා සියුම් වූ ශරීර ලැබ “තන්මාත්‍ර” මය මිහිරි ආහාර අනුභව කරන දෙවියෝ මේ තැන්වලට නොඑති.

තුන් මුනින් දහදිය වගුරුවමින් දඟලන කපුවන්ගේ අඹ ගැට, අන්නාසි ගැට, වඩේ, පකඩේ, මුරුක්කු කන්නට දෙවියෝ නොවඩිති. දෙවියන්ගේ නාමයෙන් මේ තෙල් බැඳුම් කන්නට එන්නේ කපුවාගේ ඥාති ප්‍රේතයාත්, ඒ ප්‍රේතයාගේ පිරිවරත්ය. කෙසේ නමුත් එවැනි දේවාලවලින් කපුවා පමණක් නොව ඥාති ප්‍රේතයෝ ද යැපෙති. මේ ඥාති ප්‍රේතයෝ රෝගියා සමඟ එන ප්‍රේතයන්ගේ උදවු උපකාර ඇතිව වර්තමානයට ගැළපෙන සාත්තර ද කියති.

නිට්ටඹුවේ ලලිත් ජ්‍යොතීර් විද්‍යාව හා ගුප්ත විද්‍යා ඇසුරෙන් ජීවිකාව ගෙන යයි. හතළිස් පස් හැවිරිදි ඔහු තුන් දරු පියෙකි. ඔහුත්, බිරියත්, දරු තිදෙනාත්, රුධිරයේ රතු රුධිරාණු හීනවීම නිසා අසනීප වෙන්නට වූහ. ඊට අමතරව හීනෙන් බියට පත්වී කෑ ගසාගෙන අවදිවීම, සුළු දේටත් පවුලේ අය සමඟ රණ්ඩු සරුවල්වීම නිසා පවුලේ පස් දෙනාම අසනීපයටත් දුකටත් පත්වූහ. අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාර ගන්නට ගියත් ඔවුන්ගේ ශරීරවල රතු රුධිරාණු හීනතාවට හේතුව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය නොවීය. වත් පිළිවෙත්වලින් ද සුවයක් සහනයක් නොවීය. අන්තිමට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධස්ථානය සොයා ගෙන පවුලේ අය සමඟ ලලිත් පැමිණියේය. ආධ්‍යාත්මීය උපදේශක මුණ ගැසී තම පවුලේ අසනීප තත්ත්වයන් විස්තර කොට ප්‍රතිකාර ඉල්ලා සිටියහ.

ලලිත් එය විස්තර කළේ ද අභිමානයකිනි. “මහත්මයා ඉතාම ප්‍රබල දෙවි කෙනෙකුගේ ආශීර්වාදයක් මට තියෙනවා. ඒ බලයෙන් මම රෝගීන් සුවපත් කරනවා. ජ්‍යොතිෂ කටයුතුත් කරනවා. දැන් පහත් මට්ටමේ අමනුෂ්‍ය බලවේගයකින් මගේ කටයුතුවලට බාධා කරනවා. මට කර්ණ මුණ්ඩයක් තියෙනවා. (භූතාත්මයක් කනට කොඳුරා තොරතුරු කීම. එය ප්‍රේතයෙකු බන්ධනය කැර ගැනීමෙන් සිදු කරන ක්‍රියාවකි.) ඒ කර්ණමුණ්ඩ බලයෙන් මට සාස්තර කියන්නත් පුළුවන්.” යැයි කයිවාරුවක් ගැසීය.

“ඔබ අදහන දෙවියන් මහා ප්‍රබල කෙනෙක් නම් අමනුෂ්‍යයන් බලපෑම් කරන්නේ කොහොමද? ඒ වගේ අමනුෂ්‍ය බලපෑමක් ඔබටත්, පවුලේ අයටත් එළඹෙන බව කර්ණ මුණ්ඩයෙන් කල් ඇතුව කිව්වේ නැද්ද? අනුන්ගේ ලෙඩ සුවපත් කරන තමුන්ට තමුන්ගේ පවුලේ අය සුවපත් කරගන්න බැරි වුණේ මොකද?” යි ගවේෂකවරයා ඇසීය.

“මහත්මයා මම කඩවර දෙවියන්ට ලේ පූජාවකුත් කළා. දෙවතාවක් ම අත කපලා ලේ ගොටු පලතුරු වට්ටියකට තියලා පූජා කළා” යැයි ද ඔහු කීවේය.

“හොඳයි හොඳයි අපි බලමු ඔය දෙවියෝ කවුද කියලා?” යැයි කී ගවේෂකවරයා රෝග පරීක්ෂා කරන්නට අදාළ ක්‍රමවේදයේ යෙදුණේය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ලලිත්ගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

“මාතියා, නාම් රාමා, රාමයියා” භූතයා කීවේය.

“තමුන් දෙමළ කෙනෙක් ද?”

“ආමාංග... ආමංග.. මාතියා... මම දෙමළ මුනියා තමයි.”

“ඇයි මේ පවුලේ අයට හිරිහැර කරදර කරන්නේ?”

“මේවා තමුන්ම ඇති කරගත්ත කරදර තමයි මාතියා.”

“ඒ මොකද රාමා?”

“මේ මුනියා කතරගම ගියා. අපිත් කතරගම ඉන්නවා. ඒත් අපට මහ දේවාලට යන්න බෑ. දේවාලෙ වටේ ඉන්නවා. මේ මුනියා දවසක් කඩවර අප්පච්චිගේ දේවාලෙ ළඟදී අත කපලා ලේ ගොටුවක් පූජා කළා. බ්ලේඩ් තලයකින් අත කපන කොටම ‍ඒ ලේ සුවඳට මම ඇදිලා ආවා. අතේ කැපුම් තුවාලය ළඟින් මේ ශරීරය ඇතුළට රිංගුවා. මම ලේ උරා බොනවා. මා එක්ක තව පිරිසක් ම ඉන්නවා. ඒ අය ලේවල සුවඳ උරා බොනවා. මේ පවුලෙ ම අයගේ ලේවල ඕජාව උරා බොනවා.” ප්‍රේතයා කීවේය.

ලලිත් පියවි සිහියට පත් කොට මේ කතාව ඇත්තදැයි ගවේෂකවරයා ඇසීය.

“මගේ කර්ණමුණ්ඩ ශක්තිය වැඩි දියුණු කර ගන්න කතරගමදී කඩවර පූජාවක් කළා. ඒකට මගේ අත කපලා ලේ ගොටුවක් පූජා කරපු එක ඇත්ත” යැයි ඔහු කීවේය.

“දෙවියෝ මිනිස්සුන්ගේ ලේ බොන ජාතියක් නොවෙයි. ලේ බොන්නෙ ලේවල සුවඳින් යැපෙන්නෙ පෙරේතයෝ. ඔබ මහා මිත්‍යාවක ඉන්නේ. ඒ මිත්‍යාව නිසා මේ නෝනත් දරුවො තුන් දෙනාත් අමාරුවේ වැටිලා. ලොකු වචනවලින් ලොකුකම පෙන්නන්න ගිහින් මහා පාපයක් කරගන්නවා. මහා ශාස්ත්‍රඥයෙක් බව පෙන්නලා අහිංසක මිනිස්සු අමාරුවේ දාලා. ඔය ව‍ෙග් වැඩ කරන කොට දෙවියන්ගේ නාමයෙන් වැරදි කරන කොට දෙවියෝ සාප කරනවා. තමුන් මෙච්චර කල් දෙවියෙක් කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ දෙමළ ප්‍රේතයෙක්. රාමයියා තමුන්ගේ ඇ‍ඟේ ලේ බොනවා. පවුලේ අනෙක් අයගෙත් එහෙමයි.” යැයි කියන විට ලලිත් ගේ බිරියත් දරු තිදෙනාත් යථාර්ථය වැටහී කම්මුලට අත් තබාගෙන නින්දෙන් අවදි වූවක් සේ සැබෑ ලෝකය දැක පුදුමව බලා සිටියහ.

ලලිත් තමන්ට සිදු වූ මදි පුංචිකම දරාගෙන පරාජය බාර ගෙන අසරණව කල්පනා කරන්නට විය.

“තමන්ගේ ලාබ ප්‍රයෝජනය සඳහා අනුන් රවටන්න ගිහින් දැන් තමන් රැවටිලා හිටියා ඇති. දැන් ඔය දේවාල කෙරුවාව අත හැරලා ජ්‍යොතිෂ්‍ය හරියට දන්නවා නම් ඒකෙන් යමක් උපයාගෙන ජීවත්වෙන්න බලන්නැ”යි ලලිත්ට අවවාද කළ ගවේෂකවරයා යළිත් භූතාත්මය දිෂ්ටි ගන්වා කතා කළේය.

“රාමා දැන් මේ අය අතහැර ආපහු හිටපු තැනකට යන්න ඕනැ.”

“එතකොට මමයි මගේ පිරිසයි කන්නේ පොන්නේ කෝම ද? බෑ බෑ යේක නම් කරන්න බෑ.”

“තමුන් ප්‍රේතයෙක්. මිනිස්සුන්ට ලෙඩ කර මරන්න ‍ඉඩ දෙන්න බැහැ. වහාම ඉවත් වෙලා යන්න ඕනෑ” යි කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතයා දවාලන්නට විය.

“දැවිල්ලයි... දැවිල්ලයි.. පිච්චෙනවා.. එපා එපා මාතියා... නාම් පෝරේන්... මං.. යනවා... මං... යනවා...”

“කොහේටද යන්නේ?”

“කතරගමට ම යනවා” ප්‍රේතයා යළිත් නොඑන්නම පලා ගියේය.

නොදන්නා මඟුල් කරන්නට ගොස්, අනුන් රවටා අමාරුවේ දමා ආස්වාදයක්, ලාබයක්, ප්‍රයෝජනයක් ලබන්නට සිතන අය තමන් කරා එ‍ළඹෙන ආදීනව ගැන ද කල්පනා කළ යුතුය.

Comments