ඩුබායි මෙහෙයුමෙන් පසු කුඩුපට්ටම්වන ලංකාවේ කුඩු කල්ලි | සිළුමිණ

ඩුබායි මෙහෙයුමෙන් පසු කුඩුපට්ටම්වන ලංකාවේ කුඩු කල්ලි

පසුගිය හතර වැනිදා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රබලතම අපරාධකාරයා වන මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනෙකුගෙන් සමන්විත පිරිස තවමත් සිටින්නේ බර් ඩුබායි පොලිසිය බාරයේය. අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතර කාන්තාවන් නැති බව කීවත් කාන්තාවන් සහ විදේශිකයන්ද ඒ අතර සිටින බවට දැන් වාර්තා වෙමින් ඇත.

අත්අඩංගුවට පත් කණ්ඩායමේ සිටින්නේ යැයි මාධ්‍ය වාර්තා කළ ‘අංගොඩ ලොක්කා‘ නමැති අපරාධකරු ඩුබායි පොලිස් අත්අඩංගුවේ නොමැති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් මේ අපරාධකාරයන් පිරිසට සිදු වන්නේ කුමක් ද යන්න තවමත් නිශ්චිත ලෙසම මෙරට කිසිදු අයෙකුට තීරණය කළ නොහැකිව තිබේ.

බොහෝ උසස් පොලිස් නිලධාරින්ගේ අදහස වී ඇත්තේ මධුෂ් මෙරටට ගෙන්වා නොගෙන එරට තුළදීම දැඩි දඬුවම් පමුණුවිය යුතු බවය. එයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටින්නේ මධුෂ් මෙරටට ගෙන්වුවහොත් නැවතත් බන්ධනාගාරයේ සිට හෝ අපරාධ මෙහෙයවමින් අහිංසක මිනිසුන් පීඩනයට පත් කළ හැකි බවය.

කෙසේ වෙතත් මධුෂ් ඩුබායි පොලිසියට කොටු කර දීමට උගුල් ඇටවූ ඔහුගේ විරුද්ධ පාර්ශ්වකරුවන්ගේ අරමුණද ඔහුව එරටම රඳවා තබා දඬුවම් පැමිණවීම කළ යුතුබව යැයි ඒ පිළිබඳ සොයා බැලීමේදී තොරතුරු වාර්තා වේ. නමුත් තවත් අයගේ මතය වී ඇත්තේ මධුෂ් මෙරටට ගෙන්වුවහොත් ඔහු සමඟ සබඳකම් පැවැත්වූ බොහෝ දෙනෙකුගේ පැටිකිරිය හෙළි කරගත හැකි බවයි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට පසුව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ලෙසින් මහත් ව්‍යසනයක් කළේ යැයි කියන මධුෂ්ට ඔහු සමඟ ඍජු සබඳතා පැවැත්වූ සහචරයන් දෙසීයකට අධික පිරිසක් මෙරට සිටි බවට වාර්තා වේ. ඔහු තම පිරිවර සාදාගෙන ඇත්තේ අමුතුම ආකාරයකටය. එනම් බන්ධනාගාරවල ඇප ගෙවා ගැනීමට හැකියාවක් නොමැතිව ළතැවෙන, විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගිය අයට ඇප ලබා දෙමින් සූක්ෂ්ම ලෙස තම කණ්ඩායමට එක්කරගෙන තිබේ. මෙහිදි මධුෂ් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට විශේෂත්වයක් දක්වා තිබුණේ එවැනි අයට ගිනිඅවි පිළිබඳව තිබෙන පුහුණුව නිසායි. එලෙසින් ගොඩනැගුණ පාතාල බලකාය, මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට පත්වීමත් සමඟ දැන් අතරමං වී ඇත. තත්ත්වය එලෙස වීමට හේතුවී ඇත්තේ මධුෂ් එල්ටීටීඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ 'තියරිය' අනුගමනය කිරීමයි. මේ වන තුරුත් මේ පාතාලයාගේ ගෝලයෝ එකිනෙකා නොහඳුනති. අපරාධයක සියලු සාමාජිකයන් ඩුබායි සිට දුරකථන ඔස්සෙ සම්බන්ධීකරණය ක‍ර තිබුණේ ඔහුය.

මත්කුඩු කලාප

දැන් මධුෂ්ගේ කල්ලියේ කප්පම් ගැනීම ශීඝ්‍රයෙන් අඩුවෙමින් තිබේ. ඔහුගේ ප්‍රධානතම අපරාධ චෝදනාව වුයේ කුලියට මිනීමැරීම, මංකොල්ලකෑම සහ කප්පම් ගැනීමය. වෙලේ සුදා, ශිරාන් බාතික්, සිද්දික්, කුඩු ලාල්, කොස්ගොඩ සුජි, දෙවුන්දර කුඩු තමිල් වැනි මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරයන්ට අයත්ව තිබුණාක් මෙන් වෙන්වූ මත්කුඩු කලාපයක් මධුෂ්ට තිබී නැත. එහෙත් ඔහු සිය සහචරයන් යොදවා මත්කුඩු බෙදාහැරීම රටපුරාම ගජරාමෙට කරමින් ලක්ෂ ගණනින් මුදල් උපයා තිබිණි.

ඩුබායිහීදි මධුෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරට දී මධුෂ්ගේ සහචරයන් 15කට අධික පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු රටපුරා විහිදුණු පොලිස් ස්ථානවලින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අය අතර සූරියවැවදී අත්අඩංගුවට ගැනුණු අසේල එරංග සහ නාලක සුසන්ත මධුෂ්ගේ පියාණන්ගේ අවමංගල කටයුතුවල ප්‍රධාන කාර්යභාරයක් සිදු කළ ඔහුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රාදේශීය නායකයෝ දෙදෙනෙකි.

තවද ඩුබායිහි අත්අඩංගුවේ පසුවන අනුෂ්ක කවිෂාල් හෙවත් තලල්ලේ යංගගේ නිවෙසේ තිබී හමුදා නිල ඇඳුම් කට්ටල සහ ජීවඋණ්ඩ ඇතුළු උපකරණ කිහිපයක්ද හමුවී තිබේ. එම හමුදා නිල ඇඳුම් යුද හමුදාවෙන් පන්නා තිබුණේ යංගගේ නැන්දණියගේ පුතෙකු වන කසුන් නමැති යුද හමුදා සෙබළෙකු විසිනි. ඔහුද පසුගියදා අනුරාධපුරයේදී අත්අඩංගුවට ගැනිණි. එම යුද ඇඳුම් සහ උපකරණ කිසියම් අපරාධයකට රැගෙන එන්නට ඇතැයි සැක කෙරේ. එසේම පසුගිය සතියේ මධුෂ්ගේ තවත් ප්‍රබලතම ගෝලයෙකු වූ මහවත්තෙ චාමර නමැත්තාද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැනුණේ මට්ටක්කුලියේදී මත්ද්‍රව්‍යද සමඟිනි.

ඩුබායි පොලිසියට කොටුවූ අනෙක් ප්‍රබලතම අපරාධකාරයන් දෙදෙනා වනුයේ මොහොමඩ් නජිබ් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපාන ඉම්රාන් සහ අහුන්ගල්ලේ බුද්ධි ය. මධුෂ් ඩුබායි පොලිසියට කොටු කර දීමට තිරය පිටුපස සිට මෙහෙයුම දියත් කළ අයගේද ප්‍රධානම අරමුණ වී ඇත්තේ මධුෂ් සමඟ කංජිපාන ඉම්රාන් සහ බුද්ධිව කොටුකර දීම බවට තොරතුරු වාර්තා වේ.

වර්ෂ 2015 දී ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවේ සිට මධුෂ් ඇප මත මුදා හැරීමෙන් පසු ව්‍යාජ ගමන් බලපත්‍රයක් සාදා ඔහු ඩුබායි වෙත ගෙන්වාගෙන සියලු පහසුකම් සලසා දී ඇත්තෙ කංජිපාන ඉම්රාන්ය.

මේ අපරාධකරුවා තම පළමු බිරිය වූ සිත්ති රිනේෂා ද පසුගිය අගෝස්තු 26 වැනිදා මාලිගාවත්තෙ ජුම්මා මස්ජිඩ් හංදියේදී වෙඩික්කරුවන් යොදවා ඝාතනය කළේය. පොලිස් ආරංචි මාර්ග ප්‍රකාරව කංජිපාන ඉම්රාන් පසුගිය දිනවල කොළඹ සිදුවූ අපරාධ රැසකටම වගකිව යුත්තෙකි.

ගෙවුණු වසරේ මාර්තු 19 වැනිදා මත්ද්‍රව්‍ය ගැටුමක් හේතුවෙන් ආමර් වීදියේදී ඇන්ටන් රාජ් නමැත්තා ඝාතනය කළේ ඉම්රාන් සහ මධුෂ්ගේ සහචරයෝය. පසුගිය කාලයේ කොළඹ ජම්පටා වීදිය මුල් කොටගෙන සිදුවූ ඝාතන රැල්ලේ කුඩු සෙල්විගේ පාර්ශ්වයට සහාය දුන් පුද්ගලයන් දෙදෙනා මධුෂ් සහ ඉම්රාන්ය. පසුගියදා 03 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාලිගාවත්ත ඝාතන බොහොමයකටම යතුරුපැදිය පැදවූ මැල්වත්තෙ රිල්වාන් අත්අඩංගුවට ගැනීමත් සමඟින් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ සියාම්, ෆාත් පයිසර්, අජිනි, ආවි, ඉබ්‍රි වැනි ඉම්රාන්ගේ බොහොමයක් ගෝලයන් ඩුබායිවලට ගෙන්වාගෙන තිබුණේ මෙරට සිටියහොත් සිරබත් කන්නට වන හෙයිනි.

ෆාත් ෆයිසර් යනු පසුගිය කාලයේ කොළඹ සිදුවූ වෙඩි තැබීම් කීපයකටම යතුරුපැදිය පැදවූ අයෙකි. අජිනි ඉම්රාන්ගේ පළමු බිරිය රිනේෂාගේ ඝාතකයා වන්නේය. එම ඝාතනයෙන් පසුව ඔහු ඩුබායිවලට පලාගොස් ඇති බව වාර්තා විය.

සියාම් යනු මධුෂ්ගේ සහ කංජිපාන ඉම්රාන්ගේ මුදල්වලින් මෙරට සිට ව්‍යාපාර කළ තැනැත්තෙකි. කොස්මල්ලි විසින් මධුෂ්ගේ සහ ඉම්රාන්ගේ මුදල් ආයෝජනය කළ රිස්කාන් ඝාතනයෙන් පසුව මේ අපරාධකරුවන් දෙදෙනා සිය ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කළේ සියාම් හරහාය.

මීට වසර හත, අටකට පමණ පෙරදී ඩුබායි රටට ගිය කංජිපාන ඉම්රාන් පසුගිය කාලයේ මෙරට දී සිය සහචරයන් යොදවා දිනකට හෙරොයින් කිලෝග්‍රෑමයක් පමණ විකුණමින් එක් දිනකදී කෝටි ගණනින් මුදල් ඉපැයූ අයෙකි. ප්‍රධාන ලෙසම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන කංජිපාන ඉම්රාන් ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල ඉන්නා ජාවාරම්කරුවන් සමඟද සබඳතා ගොඩනඟාගෙන මෙරට තුළ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවමින් සිටියේය. ඔහුට පාකිස්තානයේ 'කුඩු රජා' ලෙස සැලැකෙන ඉන්දියාවේ මුම්බායි ප්‍රහාරයට ද අත්‍යවශ්‍ය අපරාධකාරයෙක් වන වත්මනෙහි ඩුබායිහි වෙසෙන ඉබ්‍රහිම් ඩාවුඩ් සමඟද සබඳතා තිබූ බවට සැලවේ.

ඉම්රාන් සහ බුද්ධි

අනූව දශකයේ මුල් භාගයේදී හිටපු නාගරික මන්ත්‍රීවරයකු වූ ඉමිටියාස් හරහා කුඩු නූර් වැන්නන්ගෙන් ආරම්භ වූ මෙරට මුස්ලිම් පාතාලයේ තිඹිරිගෙය වන මාලිගාවත්තේ ශ්‍රී සද්ධර්ම මාවතේ විසූ කංජිපාන ඉම්රාන් රැකියාවක් ලෙස කරනු ලැබුවේ කැඳ විකිණිමය. මාලිගාවත්ත පාතාලයට නම ගිය ඉසව්වක් වන ඇපල්වත්ත ලෙසින් හඳුන්වන ප්‍රදේශයේ තිබෙන ජුම්මා මස්ජිඩ් මාර්ගයේ කරත්තයක කැඳ විකුණමින් ඔහු සිය ජීවිකාව කරගෙන ගියේය.

කැඳ විකුණමින් සිටි ඉම්රාන් කොලු ගැටයා දමිළ බසින් කැඳ මුට්ටිය හඳුන්වන 'කංජිපාන' වචනයද නමේ ඉදිරියට එක්කර කැඳ රස්සාවෙන්ම එම ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් විය. මේ වන විට 38 වැනි වියේ පසුවන ඔහු කුඩු නූර්ගෙන් පසුව මාලිගාවත්තෙ බිහිවූ පාතාල කල්ලි කිහිපයක් අතරින් ප්‍රබලම කල්ලියක් වූ ජුම්මා මස්ජිඩ් මාර්ගයේ විසූ ෆාජිගේ කල්ලියට එක්වූයේය. අනතුරුව ඉම්රාන් ෆාජි ඇතුළු එම කල්ලියේ ප්‍රබලයන් වූ මාමස්මින්, ටෝජි, බයියා, මංජල් අක්‍රම් වැන්නන්ට ආවතේව කරමින් සිටියේය.

ෆාජිගේ ඝාතනයෙන් පසුව කංජිපාන ඉම්රාන් ඩුබායි රටට පැන ගොස් ගියේය. ඒ වර්ෂ 2009 දීය. මේ වන විට කංජිපානගේ රූප ස්වභාවයද සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. ජාවාරම් හරහා මුදල් අත මිට සරුවීමත් සමඟ මුල් කාලයේ ඔහු ගැන සොයා බැලු බිරිය වූ රිනේෂාව අත්හැර දැමූ ඉම්රාන්ගේ වත්මන් බිරිය වනුයේ පාතාල ප්‍රබලයකුව සිටි මංජල් අක්‍රම්ගේ බිරින්දෑවරුන්ගෙන් කෙනෙකි. දුල්ෆරා නමැති එම කාන්තාව මංජල්ට දාව උපන් දරුවන් තිදෙනාද සමඟ පසුගිය කාලයේ ඩුබායිහි වාසය කළාය.

ඇයට ඉම්රාන්ට දාවද වසරක පමණ වයසැති දරුවකු සිටින බවට සැලවේ. එම කාන්තාවගේ සාලමුල්ලෙ සහ මාලිගාවත්තෙ වෙසෙන සහෝදරියන් දෙදෙනෙකුගේ පුත්‍රයන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බවට වාර්තා වේ. එම දෙදෙනා ඩුබායි සිට කංජිපානගේ සියලු ජාවාරම්වල මූල්‍ය ගනුදෙනු වල නිරතව ඇත. ඊට හේතුව වන්නේ කංජිපාන ඉම්රාන් නිසි අධ්‍යාපනයක් ලැබූ අයෙක් නොවීමය.

පසුගිය 15 වැනිදා රාත්‍රියේද කංජිපාන ඉම්රාන්ගේ මෙරට ගෝලයන් විසින් ඔහු සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ ෆාජිගේ බිරිය වූ කුඩු චූටි නමින් හැඳින්වූ ආශා ෆාරි නමැති කාන්තාවටද වෙඩි තබා බරපතළ තුවාල කර තිබිණි.

ඩුබායිහි අත්අඩංගුවට පත් මධුෂ්ගේ ගෝල පිරිස අතර සිටින රොටුඹ අමිල පසුගිය ඔක්තෝබර් මාසයේ රොටුඹේ සිදුවූ දෙදෙනෙකුට වෙඩි තැබීමේ අපරාධයට අදාළව පොලිසියට අත්‍යවශ්‍ය සිටි අයෙකි.

ඊට අමතරව තලල්ලෙ යංග, මිරිස්සෙ සන්ෂයින් සුද්දා වැනි හඳුනාගත් අය අතර සිටින මධුෂ්ගේ ප්‍රබලම අපරාධකාරයා වන්නේ අහුංගල්ලෙ බුද්ධිය. ගුවන් හමුදාවේ සිටි අයෙක් වන ඔහු මධුෂ් සහ අංගොඩ ලොක්කා විසින් සැලැසුම් කළ කළුතර බන්ධනාගාර බස්රථයට ප්‍රහාරයක් දියත් කිරීමේ ප්‍රධාන සැලැස්ම දියත් කළ පුද්ගලයාද වේ. රංගජීව ඇතුළු පිරිසට එල්ල කළ ප්‍රහාරයේදී මධුෂ්ගේ නියෝග මත සියල්ල සැලැසුම් කළේ ඔහු විසිනි. පසුගිය කාලයේ මධුෂ් විසින් දියත් කිරීමට සැලැසුම් කළ ප්‍රභූ ඝාතන සැලැස්ම වෙනුවෙන් මඩකලපුවෙන් නිවෙසක් මිලදී ගෙන තිබුණේද ඔහු බවට වාර්තා වේ.

ගිය වර්ෂයේ මධුෂ් විසින් මඩකලපුවට එවන ලද ටී56 ගිනිඅවි තොගයක් ඩිමෝ බට්ටා රථයක දමා කොළඹට රැගෙනවිත් ඉන් කිහිපයක් ඉම්රාන්ගේ සහචරයන්ට කොළඹදී බෙදා දී ඉතිරි ප්‍රමාණය අහුන්ගල්ලට රැගෙන ගොස් සඟවා තැබුවේද බුද්ධි විසිනි. ඔහුට එල්ටීටීඊ සංවිධානයේද සබඳතා තිබූ බවට සැලවේ. පසුගියදා කොළඹ සිදුවූ ඝාතන වැලකම වෙඩික්කරුවා වූ මධුෂ්ගේ ගෝලයකු වන නාවික හමුදාවේ පලාවිත් සිටි මධුෂාන් නමැත්තා පසුගිය සැප්තැම්බර් 15 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ පාපෝච්චාරණයෙන් ඒ සියල්ල අනාවරණය කරගත්තේය. කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරින් මධුෂාන් කොටුකරගත් දිනට පසු දින බුද්ධි සහ එම ගිනිඅවි තොගය අත්අඩංගුවට ගැනීමට අහුන්ගල්ලට යද්දී ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් විසින්ම බුද්ධිට ලබාදුන් හෝඩුවාවක් මත සියලු ගිනිඅවි වළෙන් ගොඩගෙන බුද්ධි ද මාරුවී ගොස් තිබිණි. එම පාවාදීම නිසා ගැලවුණු බුද්ධි පසු දිනම ඩුබායි වෙත පැනගත් අතර එසේ ගිය ගමන ඔහු එලෙස අත්අඩංගුවට පත්වන තෙක්ම ඩුබායිහි රැඳි සිටියේ මෙරට ආරක්ෂක අංශවලින් ගැලවීමක් නොමැති බව දත් හෙයිනි.

ප්‍රභූ ඝාතන තැත

කෙසේ වෙතත් ඩුබායි හී අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා ගැන තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් මධුෂ් ලවා සිදු කරන්නට වූ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය ගැන සිදු කෙරෙන පරික්ෂණ වෙනුවෙන් පසුගිය 13 වැනිදා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව අධිකරණය හමුවේ කරුණු දැක්වීමකදීය.

එහිදී කියැවුණේ 2016 ජුනි 17 දින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හමුවීමට ගොස් ඇති බවයි. එදින ත්‍රස්ත විමර්ශන කොට්ඨාස පිවිසුමේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු ඔහුගෙන් විමසා තිබුණේ 'ඔබ කවුරු මුණගැසෙන්නද යන්නෙ' කියායි. ඊට උරණ වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා එම කොස්තාපල්වරයා එසැණින් කැඳවා බැණ වැදී පසුව ස්ථාන මාරු කර දඬුවම් කර ඇත. එම සිදුවීමත් සමඟින් අමල් පෙරේරා සහ නාලක සිල්වා අතර කෙතරම්නම් ළඟ ඇසුරක් තිබී ඇතිද යන්න ගම්‍ය වේ. එසේම අමල්, මධුෂ්ගේ සාදයටද එක්ව සිටීමෙන් තිදෙනා අතර කලෙක සිටම ඇසුරක් තිබූ බවටද සැකයක් මතු වේ. එය ඉදිරියේදී පරීක්ෂණ නිලධාරින් හෙළිකර ගනු ඇතැයි විශ්වාස කෙරේ.

Comments