කිසිම මත්ද්‍රව්‍යයකට මිනිසා තුළ සතුට ඇති කිරීමේ හැකියාවක් නෑ | සිළුමිණ

කිසිම මත්ද්‍රව්‍යයකට මිනිසා තුළ සතුට ඇති කිරීමේ හැකියාවක් නෑ

මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් නීතිගත මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ලෙස කොටස් දෙකක් තිබේ. දුම්වැටි, බියර්, අරක්කු වැනි මද්‍යසාර නීතිගත මත්ද්‍රව්‍ය ලෙස සැලකේ. කසිප්පු, ගංජා, හෙරෝයින්, විවිධ මත් පෙති වැනි මත්ද්‍රව්‍ය නීති විරෝධී මත්ද්‍රව්‍ය වේ. එලෙස වර්ග කළද මේ බෙදීම කිසිම ප්‍රායෝගික දෙයක් ලෙස දැකිය නොහැකිය. එය ඓතිහාසික වැරැද්දකි.

මේ මත්ද්‍රව්‍ය ලේඛනය සැලකීමේදී මිනිසාට වැඩිම හානිකර දුම්වැටියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව වාර්ෂිකව ලංකාවේ දුම්වැටි නිසා මරණ 15,000-20,000ක් පමණ වේ. මද්‍යසාර හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව 10,000-15,000 අතර ප්‍රමාණයකි. එයට සාපේක්ෂව හෙ‍රෝයින් සහ ගංජා මරණ සිදු වන්නේ ඉතා අවම වශයෙනි. එහෙයින් හෙරෝයින්, ගංජා වලින් සිදුවන හානියක් නැති යැයි අදහස් නොකළ යුතුය.

සිගරට් දුමාරයේ හානිකර රසායනික ද්‍රව්‍ය 4000ක් පමණ තිබේ. එයින් රසායනික ද්‍රව්‍ය 30ක්ම පිළිකාකාරක වේ. අනෙක් මත්ද්‍රව්‍ය වල හානිකර රසායනික ද්‍රව්‍ය ලෙස ඇතුළත් වන්නේ එකක් හෝ දෙකක් වැනි අඩු ප්‍රමාණයකි.

මත්ද්‍රව්‍යවල තිබෙන ගැටලුව මරණය පමණක් නොවේ. හෘදධාබාධ, අක්මාවල නහරවල ලේ ගමනය අඩාළ වීම, පෙණහලු පිළිකා, සිරෝසිස්, ඇදුම, හතිය, ස්නායු ආබාධ, ලිංගික බෙලහීනතාව වැනි රෝග රැසකට මාර්ගය එමඟින් විවෘත වේ.

මේ වන විට වෙළෙඳපොළට තවත් අමතර මත්ද්‍රව්‍ය රැසක් පැමිණ තිබේ. පෙති වර්ග එහි දී ප්‍රධාන ය. සතුට රැගෙන එන රසායන ද්‍රව්‍ය ඒවායේ තිබෙන බව සමහරු විශ්වාස කරති. එහෙත් එවැනි තත්ත්වයක් නැති අතර නිදිමත ගතිය ඇති කරන රසායනික ද්‍රව්‍ය ඒවායේ අන්තර්ගතව තිබේ. බොහෝ දෙනා එය වැරැදියට අවබෝධ කරගෙන තිබේ. ඒ අනුව නිද්‍රාශීලීත්වය සැපයක් ලෙස ඔවුහු සලකති.

මේ කියන මත්ද්‍රව්‍ය පිළිබඳ සැලකීමේදී සුවිශේෂ කාරණයක් තිබේ. එනම් කිසිම මත්ද්‍රව්‍යයක මිනිසාට සතුට, සුවයක් ඇති කිරීමට ඇති නොහැකියාවයි. සතුට ඇති කිරීමට මත්ද්‍රව්‍යවලට හැකියාවක් පවතින බව කිසිම වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයකින් ද තහවුරු වී නැත. මේ අති බහුතරයක් මත්ද්‍රව්‍යවලින් ස්නායු අවපීඩනයක් ඇති කිරීමක් සිදුවේ. මත්ද්‍රව්‍ය භාවිත කළ පිරිස්වල දෙනෙත් අඩවන් වී ඇත්තේ මේ නිසාය. මොළය නිදිකරවන, ස්නායු පද්ධතිය අඩපණ කරවන දෙයකින් සතුට ලබා ගැනිමේ හැකියාවක් කිසිසේත්ම නැති බව මෙහිදී කිව යුතුය

එසේ නම් මත්ද්‍රව්‍යවලට පෙලඹීමක් ඇති වන්නේ ඇයි යන්න අප විමසා බැලිය යුතුය. ඒ පෙලඹීම කෙරෙහි බලපා ඇත්තේ මේ සඳහා සමාජයේ නිර්මාණය කෙරී ඇති විවිධ අදහස් ය. සතුටට හේතුවේ. මොළය උත්තේජනය කෙරේ. ප්‍රශ්න අමතක කළ හැකිය. ලිංගික ශක්තිය උද්දීපනය කෙරෙයි. ශරීර ශක්තිය වැඩිවේ. වැනි මතවාද සමාජයේ ඇති කිරීමෙන් ඒ සඳහා පෙලඹීමක් ඇති කර තිබේ. මේ රැවටීම නිසා බොහෝ පිරිස් මත්ද්‍රව්‍යවලට යොමු වී තිබේ.

ජනමාධ්‍ය සැලකූ විට මත්ද්‍රව්‍ය නිවාරණයට දෙන ඉඩකඩ ප්‍රමාණවත් නැත. ‍මත්ද්‍රව්‍ය නිවාරණය යම් හෝ දෙයක් ඉදිරිපත් කළ විට ද එම අවස්ථාවලද අනියමාර්ථයෙන් කෙරෙන පෙලඹීමක් එහි තිබෙන බව අප කළ නිරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ජනමාධ්‍යයන්හි මත්ද්‍රව්‍යවලට කරන පෙලඹීම සාපේක්ෂව ඉහළ බවද මෙහිදී පැවසිය යුතුය. මේ හැම අවස්ථාවේදීම ජනතාවගේ මනසට මත්ද්‍රව්‍ය මගින් සතුටක් ඇති කරයි යන මිථ්‍යා මතය ප්‍රචලිත ‍කෙරේ. අසත්‍යයක් වුව දිගින් දිගටම ප්‍රචාරය වීමෙන් ජනතාව තුළ මත්ද්‍රව්‍ය කෙරෙහි උනන්දුවක් ඇති කරවන බව කිව යුතුය.

මත්ද්‍රව්‍ය භාවිතයේ ආර්ථික හානිය ගැන ජනතාව නොදැනුවත් වීමද දක්නට ලැබේ. දුම්වැටි 5ක් භාවිත කරන අයකු මසකට රුපියල් 7500ක් දිනකට නිකරුණේ විනාශ කරයි. එපමණක් නොව රොගියකු වීමෙන් පසු ඒ සඳහා වැය කළ යුතු මුදල ද මෙපමණකැයි කිව නොහැකිය.

වර්තමානයේ පාසල‍්වල මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි බව පිළිගැනේ. ඇත්තෙන්ම මෙයට හේතු වි තිබෙන්නේ ද අනවශ්‍ය ප්‍රචාරණයයි. කිසියම් පාසලක සිසුවෙකු සතුව මත්ද්‍රව්‍ය තිබුණු බව හෙළි වූ විට එය සමාජ පර්ධතිය තුළ වේගයෙන් ප්‍රචාරය වේ. ඒ නිසා සෙසු සිසුන් තුළද මානසික පෙලඹීමක් ඇති වේ.

සමහර පුවත්පත්වල අදාළ මත්ද්‍රව්‍ය, පෙතිවල නම පවා සඳහන් කරයි. මෙය ළමුන්ට මේ සඳහා ‍යොමු විමට කරන ප්‍රබල පෙලඹවීමකි. පාසලක සිසුන් කිහිපදෙනෙකු මත්ද්‍රව්‍යවලට යොමු වී සිටින විට, ඔවුන් මඟින් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි කරගැනීමට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් යොමු වී පවතින බව ද පෙනී යන කරුණකි.

පසුගිය කාලයේ ගංජා පිළිබඳ විශාල කතාබහක් ගොඩ නැඟිණි. එය ඖෂධයක් බවත් කියැවිණි. තවද ලෝකයේ බොහෝ රටවල් එය නීතිගත කර ඇති බවද කියැවිණි. එහෙත් ඒවායේ කිසිම විද්‍යාත්මක සත්‍යතාවක් නැත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ගංජා ඖෂධයක් ලෙස ගතයුතු ආකාරය පෙන්වා දී තිබේ. එහිදී සුළු ව‍ශයෙන් ගංජා රැගෙන විෂ හරණය නම් ක්‍රියාවලියකට ලක් කළ යුතු බව කිය‍වේ. පසුව ඖෂධ සමඟ මිශ්‍ර කළ භාවිත කළ යුතු බව කි‍යවේ. එවැනි ක්‍රියාවලියක් අනුව ගංජා ඖෂධයක් ලෙස ඉතා ස්වල්ප ප්‍රමාණයක් යොදා ගත්තද එය විශාල වශයෙන් භාවිත කළ යුතු ඖෂධයක් බව කිසි විටකත් සඳහන් නොවේ. ඇතැම් විද්වතුන් ද නොදැනුවත් බව හෝ හිතාමතා හෝ මේ ගංජා පිළිබඳ ව්‍යාජ මතය වැපිරවීමේ ගොදුරක් වී ති‍බීම කනගාටුවට කරුණකි. ස්නායු සෛල දැඩි ලෙස විනාශ වීම, මානසික රෝගීන් බිහිවීම, පෙණහලු රෝග ආබාධ ඇති වීම ගංජා භාවිතයේ තිබෙන විනාශකාරී අවස්ථා කිහිපයකි. ‍ලෝකයේ රටවල් ගංජා නීතිගත කරවීමට උත්සාහ කරන කතාවේ තිබෙන්නේ වාණිජ පදනමකි.

මෙහිදී අප තහවුරු කරගත් තවත් කරුණකි. ඒ, මේ සෑම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක්ම එකට බැඳී පැවතීමයි. මේ නිසා එක ව්‍යාපාරයක් බිඳ වැටෙන විට අ‍නෙක් ව්‍යාපාරය එහි හිඩැස පුරවන බවක් පෙනී යයි. මේ පිරිස් මත්ද්‍රව්‍යවලට එරෙහිව ගොඩ නැඟෙන ජාතික ප්‍රතිපත්තිවලට පවා බලපෑම් කිරීමට සමත් පිරිසක් බවද කිව යුතුය.

හෙරෝයින් මත්ද්‍රව්‍ය ගැන ද මෙහිදී කිව යුතුය. ලංකාවේ හෙරොයින් භාවිතය පිළිබඳ සමීක්ෂණ පවත්වන ප්‍රධාන ආයතන දෙකක් තිබේ. මේ අනුව හෙරොයින් භාවිත කරන පිරිස් සෑම සමාජ මට්ටමක සිටිති. සමාජ ආර්ථික පසුබිම දුර්වල පිරිස් 60%ක පමණ සිටින බව මෙහිදී සමීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ඉතිරි 40% ධනය, බලය තියෙන පිරිසයි.

ඉහළ සමාජවල පිරිස සාමාන්‍ය ජනයාට විවෘත නොවේ. එවිට ඔවුන්ව පුනරුත්ථාපන කඳවුරුවලට ගෙන යෑමක් සිදු වන්නේ නැත. ඔවුන් විදේශගත කර, පෞද්ගලිකව ප්‍රතිකාර කරවයි. එවිට ඒවා සමීක්ෂණ වාර්තාවලට හසු වන්නේ නැත. එවිට අපට හසු වන්නේ බලය, ආර්ථිකය දුර්වල වූ පිරිස් ය. ඒ අනුව හෙරෝයින් භාවිතයට සාමාන්‍ය පවුල්වල පිරිස් පමණක් බිලිව ඇති බව පෙනුණද එය සත්‍ය නොවේ.

මෙහිදී පුනරුත්ථාපන ක්‍රියාවලිය ගැනද කතා කළ යුතුව පවතී. නිවරැදි, පලදායි පුනරුත්ථාපන ක්‍රම ව්‍යාප්ත කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැත. හෙරෝයින් ලබාගත් පිරිස් පුනරුත්ථාපනය සඳහා ලෝකයේ පිළිගත් ක්‍රමවේද කිහිපයක් පවතී. මනෝ විද්‍යානුකූලව ප්‍රතිකාර කිරීම ඉන් එක් ක්‍රමයකි.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීමේදී ශාරීරික වේදනාවලට මුහුණ දීමට සිදු වන බව පිළිගැනීමක් තිබේ. එහෙත් එය මවා ගත් මිථ්‍යාවකි. ශාරීරිකව යම් අපහසුතාවක් පැමිණියද එය පෙන්වා දෙන තරම් ඉතා විශාල තත්ත්වයක් නොවේ. ‍මෙහිදී සිදු වී ඇත්තේ ‍වෙළෙන්ඳන් විසින් මේ පිරිස බිය වැද්දීමය. එසේ බිය වීම නිසා හෙරෝයින් වැනි මත්ද්‍රව්‍යවලින් ගලවාගැනීමේ දියුණු ක්‍රමවලට පිරිස් යොමු කරගැනිමේ යම් අපහසුබවක් තිබේ.

රටේ බොහෝ තැන්වල පුනරුත්ථාපන කඳවුරු බිහි කර තිබෙන බවක් පෙනී යයි. ඒ කඳවුරුවල කෙරෙන මූලික දේ වන්නේ හෙරෝයින් නැති පරිසරයක බලහත්කාරයෙන් නවතාගෙන සිටීමය. එවැනි පරිසරයක මාසයක් පමණ සිටින විට ඔවුන්ගේ මානසික සහ ශාරීරික තත්ත්වයන් සමනයට පත්වේ. ඉන්පසුව තවත් මාස කිහිපයක් ඔවුහු එම කඳවුරුවල නවතාගෙන තබා සමාජය මුදා හැරෙති. එසේ මුදා හැරෙන්නේ කලින් ඔවුන් සිටි සමාජ පරිසරයට ය. එවිට ඔවුන්ගෙන් අපේක්ෂිත ප්‍රතිපලය උදා වන්නේ නැත.

සාකච්ඡා කළේ - මලිඳු මල්දෙණිය

Comments