අතහැරෙන්නට පෙර අතහරින්න | සිළුමිණ

අතහැරෙන්නට පෙර අතහරින්න

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

අප රැගෙන යන්නේ හොඳ නරක පමණක් නම් කුමට මේ සා රැස් කරන්නට වෙහෙස වෙමුද? මිනිසකුට ජීවත් වීමට අවශ්‍ය වන්නේ කෙතරම් සුළු දේවල් කිහිපයක්ද? මහලු වන විට මේ කිහිපයෙනුත් කිහිපයක් අතහැරීමට සිදු වෙයි. එසේ නම් සුළුවෙන් ජීවත් වී හැකි තරම් ගෙන යා හැකි දෑ සූදානම් කරගත යුතුය.

මුලින්ම කිව යුතු දෙය නම් ධාර්මිකව උපයාගත් ධනයෙන් සැපසේ ජීවත් වීම බුදු දහමෙන් අනුමත බවය. බුදු දහමෙන් අනුශාසනා කරන්නේ එය “මගේ” යැයි දැඩිව අල්ලාගනිමින් ඒ කෙරේ ලෝභයෙන් නොබැඳෙන ලෙසයි. සුවය විඳින්න. එය නිත්‍ය නොවන බව අවබෝධයෙන් විඳින්න. එවිට වෙනස් වීම් දරාගත හැකි වෙයි. එසේ නම් උත්සාහ කරන්න අතහරින්නට පුරුදු විය යුතු අයුරු තේරුම්ගැනීම වැදගත්ය.

පළමුව ඔබ, ඔබේ කය අතහැරිය යුතු වෙයි. කයට අනවශ්‍ය අවධානය දීම, අනවශ්‍ය සැරසිලි කිරීම, අනවශ්‍ය වියහියදම් සහ නුඋවමනා සැප ලබාදීම අතහරින්නට හැකි දැයි උත්සාහ ගෙන බැලිය යුතුය. ඒවා කෙතෙක් දුන්නද එය දිරා යෑම නැවැත්විය නොහැකිය. දිනෙන් දින කය අවපක්ෂයට ගමන් කරන දෙයක් බව තේරුම්ගත යුතුය. එම නිසා කය සැරැසීමට උවමනාවට වඩා වැය කරන කාලය, ධනය, ශ්‍රමය අර්ථවත් යමක් වෙනුවෙන් වැය කරන්නට උත්සාහ ගත යුතුය.

ඔබ තේරුම් ගත යුතු මූලික කරුණ නම් කයට ආහාර, ඖෂධ, විවේකය දීම කළ යුතු බවය. කය හොඳින් පිරිසුදු කර තමාටත් අනුන්ටත් ප්‍රියමනාප ආකාරයට චාම්ව සරසවන්නට ඔබට හැකි විය යුතුය. කය මනාව පරිහරණය කරන්න. එහෙත් මෙය මගේය මාගේය යනුවෙන් අල්ලාගැනීමෙන් වැළකිය යුතුය. රසමසවුළුවලින් සංතර්පණය කර වටිනා ඇඳුම් පැලඳුම්වලින් සරසවා හැඩ බැලු මේ මාගේ ශරීරය යැයි කියා උදම් ඇනිය යුතු කිසිවක් එහි නැති බව සිහියෙන්, අවබෝධයෙන් මෙනෙහි කළ යුතුය.

අතීතයේ මම මේ ආකාරයේ රූපත්ව කඩවසම් පෙනුමැතිව උන්නෙමියි සිතා මෙය මාගේමය යනුවෙන් කයට ලොබ බැඳීම අතහරින්නට වග බලාගත යුතුය. ඔබගේ රූපය කැඩපතින් දකින විට ඔබ ආ ගමන දිරා ගිය රූපය හා සසඳන්නට උත්සහ කළ යුතුය. කෙතරම් අනිත්‍යයද මේ කය. කෙතරම් ආශා කළද යෞවනයේදී මේ කය තිබූ රූපත් කඩවසම් පෙනුම නවත්වාගැනීමට හැකි නොවීය. දිරා යෑම පාලනය කළ නොහැකි විය. “මා මෙය දර කොටයක් මෙන් මෙහි දමා යා යුතු නොවේද?”යැයි සිතා කයට ලොබවීම අතහැරිය යුතු වෙයි.

දෙවනුව ඔබේ පවුල අතහරින්නට උත්සහ කළ යුතු වෙයි. අතීත ජන්මවලදී මේ අයුරින්ම පවුල් ජීවිත කෙතරම් සංඛ්‍යාවක් ගත කරන්නට ඇද්දැයි සිතිය යුතුය. ඒ සියල්ල අතහැර පැමිණ වර්තමානයේ මේ පවුල ළඟ නැවතී සිටී. අතීතය කිසිත් මතක නැත. ඒ ගැන ශෝකයකුත් නැත. මතු ජන්මවලදී ද මෙය එසේම වනු ඇත. එසේ නම් මේ භවයද එයින් වෙනස් වන්නේ නොවේ. මේ සෑම දෙනා අපගේ සංසාර ජීවිතයේ මඟදී හමු වී මඟදී වෙන් වන පුද්ගලයන් පමණි. අප ඔවුන්ටත් ඔවුන් අපටත් එසේමය.

එසේ සිතා පවුල දරු මුනුපුරන් වෙනුවෙන් ඇති අසීමිත ලෝභය, අපේක්ෂා බිඳ දමන්න. එහෙත් ඔබ අනිවාර්යයෙන් කළ යුතු යමක් ඇති බව සිහියට ගත යුතුය. එනම් පවුල වෙනුවෙන් ඔබ විසින් කළ යුතු යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කළ යුතුමය. බුදු දහම යුතුකම් පිළිබඳ දහමකි. වගකීම් පිළිබඳ දහමකි. එම නිසා පවුල වෙනුවෙන් ඒ යුතුකම් ඉටු කිරීම අතනොහැරිය යුතුය. ඔවුන් සුචරිතයෙහි යෙදවීම, දුසිරිතෙන් ඈත් කිරීම, ඔවුන් සමඟ කාලය ගත කිරීම, විනෝද වීම, ප්‍රිය වූ අවස්ථාවන්ට දුක් සහිත අවස්ථාවන්ට සහභාගි වීම, ඔවුන්ගේ ගරුත්වය රැකෙන ලෙස ජීවත් වීම කළ යුතුය. ඒ සියල්ල අවබෝධයෙන් කළ යුතුය. කිසිවක් මගේ නොවේ. මට අයත් නොවේ. එහෙත් මේ භවයේ මා කළ යුතු වගකීම සහ යුතුකම් මගේම වේ යනුවෙන් සිතිය යුතුය.

“පෙර මා ඒවා ඉටු කළ ආකාරය අනුව අද මේ ජීවිතය ලැබී ඇත. අද එය මා කරන ආකාරය අනුව මතු භවය නිර්මාණය වනු ඇත.”යි සිතා ඔබ යුතුකම් පමණක් හා බැඳෙන්නට වගබලා ගත යුතුය.

තෙවනුව ලෝකය අතහරින්නට උත්සහ ගත යුතුය. වස්තුව, දේපළ , කීර්තිය, නිල, බල, තනතුරුවලට ඇති අසීමිත ආශාව හිතින් අතහැරීම කළ යුතුය. මේ තාවකාලික තත්ත්වයන් කෙරෙහි ඇති අසීමිත ආශාව නිසා සමහරු නිසි අයුරින්ද අනිසි අයුරින්ද මේවා රැස් කිරීමට, බලය යෙදවීමට උත්සහ කරති. අසරණයන් පෙළන්නට බලය, නිලය භාවිතා කරති, තම දරුවන් වෙනුවෙන් අනිසි අයුරින් අසීමාන්තිකව දේවල් රැස් කරති. දිගින් දිගටම කරන්නාවූ වැරැදීම් එක් රැස් වී කිසිවක් කරකියා ගත නොහැකි මහලු වියේදී එක්තැන් වී සිටින විට පශ්චාත්තාපයට පත් වෙති. මරණයට බිය වෙති.

එවන් පීඩා පිළිබඳ සමාජයෙන් ගත හැකි ආදර්ශ බොහෝ ඇති බැවින් ඒවා විමසා බලමින් ලෝකය අතහැරිය යුතුය. එසේ අතහැර තමාගේ සමාජ භූමිකාව තමාටත් අනුන්ටත් අර්ථවත් ලෙස යොදාගැනීම කළ යුතුය. මගේ යැයි අල්ලා නොගත් විට ලෝකයට අතිවිශාල මෙහෙයක් කළ හැකිය. ඒ සියල්ල අතහළ යුත්තේ කයින් නොව මනසිනි. ලබා ඇති සියල්ල මෙයට පෙර දැරූ අය සිටියහ. මෙයට පසුත් සිටිනු ඇත. ලැබූ දෙයින් ලොවට සුවයක් දෙතොත් ඒ ලබා දුන් සුවයේ ආනිශංස රැගෙන යා හැකිය. කිසිවක් සදාතනික නැත. සියල්ල වෙනස් වන සුලුයි. එය නොවෙනස් වෙන දෙයැකැයි සිතා අල්ලාගෙන සිටීම සිත විඩාවට පත් කරයි. එම නිසා අත ලිහිල් කර ඒ සියල්ලට “යන්ට දෙමි“ සිතා අතහැරිය යුතු වෙයි.

ඔබ සාධාරණව උපයාගත් දෙයින් කොටසක් අනුන් වෙනුවෙන් දීමෙන් මෙලොවට ඔබේ ඇති ණයෙන් නිදහස් වෙයි. දරුවන්ට ඔවුන් වෙනුවෙන් උපයාගැනීමට ඉඩ හැරීම මඟින් දරුවෝ ඉපැයීමේත් වියහියදම් කිරීමේත් ප්‍රමාණය දැන ගනිති.

කෙතරම් ධනවතකු වුවත් ඔබ රැගෙන යා හැක්කේ දනට පිනට දුන් ධනය පමණකි. එම නිසා හැකි සෑම විටම හැකි සියලු ආකාරයෙන් දන් දෙන්න. ඔබ ඉතා ප්‍රිය කරන දේ අනුන්ට දීමට වග බලාගන්න. අකමැති දේ දීම ඉතා පහසුය. නමුත් ලෝභය, ආශාව දුරුවන්නේ කැමති දෙය දීමෙනි.

රැස් කර ඔබ සතුව ඇති, නොදුන් දෙයට ආශාව අතහැරීමට කාලය පැමිණ ඇති බව සිතීම බාල තරුණ මහලු ඕනෑම කාලයකට වලංගුය. නමුත් ඒවා පරිහරණයට ඔබට තහනමක් නැත. ඔබ ඒවාට ඇති ආශාව අතහැර දැමූ පසු ඒවා පරිහරණය කරද්දී කිසිවකුට හානි නොකරන ආකාරයෙන් පරිහරණය කරනු ඇත. තව කෙනෙකුට පරිහරණයට ඉඩකඩ ලබා දෙනු ඇත. අප කළ යුතු වන්නේ එයයි.

ඒ අයුරින්ම සිතේ ඇති වෛරය, ක්‍රෝධය , ඊර්ෂ්‍යාව අතහැරිය යුතුය. ඒ වෙනුවට මෛත්‍රීය , කරුණා, මුදිතාව දයාව, උපේක්ෂාව සිතෙහි ඇති කරගත යුතුය. මෛත්‍රීය අනෙක් සියල්ලට හේතු වන බැවින් මෛත්‍රීය වැඩෙන ප්‍රමාණයේ තරමට කරුණා, දයා, මුදිතා උපේක්ෂා වැඩෙනු ඇත. එවිට ඔබට වැරදි කළ සියල්ලන්ටම සිතින් සමාව දිය හැකි තරම් සිත මෘදු වෙනු ඇත. මෙතෙක් බරට බරේ ඔසවාගෙන අනුන් ඔබට කළ වැරැදි ඉබේම බිම තැබෙනු ඇත. ඒ සමඟම ඔබ අතින් සිදුවූ වැරදිවලට හිතින් සමාව ගැනීමට තරම් ඔබ නිහතමානී වනු ඇත.

ඒ සියලු වැරැදිත් බිම තැබෙනු ඇත. අනුන්ගේ යහපත දැකීමේදී ඇති වන පහන් සිත ඔබගේ සිත ප්‍රභාෂ්වර කරනු ඇත.ඒ ප්‍රභාෂ්වර සිතින් ඔවුන් ඒ යහපත උදා කරගැනීමට කළ කැප කිරීම් ඔබ නොමසුරුව අගයනු ඇත. මේ සියල්ල අවසානයේ ඔබට දැනෙන සැහැල්ලුව, සුවය කිසිම දෙයකින් මිලදී ගත නොහැකි බව ඔබටම ප්‍රත්‍යක්ෂ වනු ඇත. ඒ සුවය අත්විඳිමින් තව ඉදිරියට යා හැකිය.

ඔබේ සිත බුදු මැඳුරක් මෙන් පවිත්‍රව තබාගැනීම කළ යුතුය. බුදු මැඳුරෙහි අපවිත්‍ර කිසිවක් තැබිය නොහැකිය. බුදුමැඳුරට අපවිත්‍ර දෑ ගෙන ආ නොහැකිය. අප එහි තබන්නේ සුවඳැති වර්ණවත් මල්ය, සුවඳ දුම්ය, ආලෝක ප්‍රදීපයන්ය. හද බුදු මැඳුරේ තිබිය යුත්තේද එවැනි සුවඳවත් සුන්දර දේ පමණි. එහි මෛත්‍රීය, කරුණාව, මුදිතාව, දයාව, සමානාත්මතාව රඳවාගැනීමට වගබලා ගත යුතුය. මේ භවයේදීම අපට නිවන් දැකිය නොහැකි වූවත් අපගේ සසර ගමන සුගතිගාමී වීම සඳහා පුරුදු පුහුණු කළ සිතක් එමඟින් අපට උරුම වනු ඇත. ඒ සිත නිවනට ඇත කෙටිම මඟ අපට පෙන්වා දෙනු ඇත.

Comments