විදෙස් චිත්‍රපට | සිළුමිණ

විදෙස් චිත්‍රපට

සර්වම් තාල මායම්

රජීව් මෙනන් යනු ක්ෂේත්‍රයේ සුපිරි තරු යොදාගනිමින් තර‍ගයට සිනමා නිර්මාණ කිරීමට කැමැති කෙනකු නොවෙයි. දහ නව වසරකට පසු ඔහු අධ්‍යක්ෂණයට පිවිසීම ම එයට සාක්ෂියකි. සර්වම් තාල මායම් දහ නව වසරකට පසු ඔහු දමිළ ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන සිනමා පටයයි.

රජීව්ගේ පියා මියයන විට ඔහුගේ මව ගතකළේ දිවියේ හතළිස් වැනි දශකයයි. සැමියාගේ වියෝවෙන් ඇය හඬා වැටුණේ නැත. දිනපතා ඇය රාගධාරී සංගීතය පුරුදු පුහුණු වූවාය. සියලු දුක්ඛ දෝමනස්සයන් ජය ගැනීමට රජීව්ගේ මවට උපකාරී වූයේ සංගීතයයි. ජනතාව ආනන්දනීය කිරීමට ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමට සංගීතය යොදා ගැනීමට මේ අත්දැකීම ඔහුට මූල් විය. සිනමා පටයට යම් තරමකට හත් වැනි සියවසේ ජීවත්වූ මහා කවියකු වූ නන්දනාර්ගේ ජීවිත කතාව ද ඇතුළත්ය.

කර්නාටක සංගීත කලාවේ උසස් කුලවන්තයන්වූ බ්‍රාහ්මණයන්ගේ ආධිපත්‍ය පැතිරෙන කාලයක දාලිත් නම් පහත් කුලයේ උපත ලද පීටර් ජොන්සන් නම් තරුණයා ම්‍රිදන්ගම් සංගීත භාණ්ඩය හැදෑරීමට කුලවතුන්ගේ අබියස‍ට පැමිණෙන්නේය. සංගීතය කේන්ද්‍රගත විෂය වුවද කුලබේදය, බ්‍රාහ්මණ මිථ්‍යා මතවල කටුකත්වය සමඟ ප්‍රේක්ෂකයන්ට සිනමා පටය වින්දනය කිරීමට සිදුවේ.

මහා කවි නන්දනාර් පීටර් ජොන්සන් මෙන් පහත් පාන්තික දාලිත් ගෝත්‍රික පරපුරෙන් පැවත එන්නෙකි. සත්ව සම්වලින් සංගීත භාණ්ඩ නිමවන පවුලක සාමාජිකයකුවු ඔහු ශිව බැතිමතකු වූ අතර තිරුපන්කර්වල ශිවලෝකනාදර් කෝවිලට පිවිසීමට සිහින මවන්නේය. තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා වන රජීව් විමසන්නේ නන්දනාර් ඒ සිහිනය සැබෑකරගත්තා නම් කර්නාටික ලෝකයට පිවිසීමට පීටර් ජොන්සන්ට නොහැකි ඇයිද කියාය. එදා මහා කවි නන්දනාර් මෙන්ම මෙදා පීටර් ද ස්පර්ශ කිරීමට පවා සුදුසු නැති දාලිත් ගෝත්‍රිකව උපත ලැබුවද කුල මානයෙන් උදම් වුණු බ්‍රාහ්මනයන්ගේ මානය බිඳ දමා සිය ආධිපත්‍ය විහිදුවන්නේය.

රජීව් සංගීත භාණ්ඩ රැසක් තිබුණ ද ම්‍රිදන්ගම් තෝරා ගත්තේ ඒ හා බැඳි රස කතා ඇති නිසාය. එළදෙනකුගේ හෝ මී ගව දෙනකුගේ හෝ එළු දෙනකුගේ සමෙන් (විශේෂයෙන් යොදා ගන්නේ ගැහැනු සතුන්ගේ සමයි) සදන ම්‍රිදන්ගම් සංගීත භාණ්ඩය තන්ජේවුර්වල පදිංචි දාලිත් ගෝත්‍රිකයන් විසින් විශාල වශයෙන් නිර්මාණය කරන්නකි. සංගීතඥයකුට මාස තුනකට වරක් භාණ්ඩයේ සම ඉවත් කර අලුත් සමක් දැමීම‍ට සිදුවේ.

සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන තිස් එක් හැවිරිදි ජී. වී. ප්‍රකාශ් කුමාර් නළුවකු, තනු නිර්මාපකයකු මෙන්ම ගායකයකු ද වෙයි. ප්‍රකාශ් චරිතයට කැප වූයේ විශාල කැපවීමක් කරමිනි. ඔහු ම්‍රිදන්ගම් සංගීත භාණ්ඩය ඉගෙනීම සඳහා පන්ති 40 කට සහභාගී විය.

සිනමා පටයට රංගනයෙන් දායකවූ සුමේශ් නාරායනන් (නන්දගෝපාල්), නෙදුමුදි වෙනු (වෙම්බු අයියර්), විනීත් (මානි), අපර්නා බාලමුරලි (සාරා) සියල්ලන්ම ම්‍රිදන්ගම් වාදන හැකියාව ඇති අයයි. සිනමා පටයේ සංගීතය රජීව්ගේ හිතමිතුරු සම්මානනීය සංගීතඥ ඒ. ආර්. රහමන් ගෙනි. මීට ගීත හයක් ඇතුළත්ය. සර්වම් තාල මායම් දමිළ සංගීතමය සිනමා පටය මේ දිනවල ලොව පුරා විචාරක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් තිරගතවෙයි.

----------------

අලීටා : බැට්ල් ඒන්ජල්

අනාගතය විනිවිද දකින තවත් විද්‍යාත්මක, පරිගණකයට වහලුන් වූ (සයිබර්පන්ක්) මිනිසුන්ගේ කතාන්දරයක් කියවෙන හොලිවුඩ් සිනමා පටයක් පෙබරවාරි 14 වැනිදා සිට තිරගතවෙයි. අලීටා : බැට්ල් ඒන්ජල් (ALITA BATTLE ANGEL) ඒ සිනමා වෘතාන්තයයි. මීට සමගාමීව මෙම සිනමා පටය අපේ රටේ කොළඹ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා සහ ලිබර්ටි සිනමා හල් වල තිරගත වේ. ද ටර්මිනේටර්, ඒලියන්ස්, ද අබිස්, අවතාර් වැනි විද්‍යා ප්‍රබන්ධ සිනමා පට ගණනාවක් දායාද කළ ජේම්ස් කැමරන්ගේ සහ ජෝන් ලැන්ඩෝගේ නිෂ්පාදනයෙන් රොබට් රොඩ්‍රිගුවස් ගේ අධ්‍යක්ෂණයෙන් අලීටා : බැට්ල් ඒන්ජල් නිර්මාණය වී තිබේ.

සිනමා පටය දිග හැරෙන්නේ සියවස් ගණනක් ඉදිරියට රසිකයන් කැන්දා ගෙන යමිනි.

අත්හැර දැමූ සිහිසුන් අලීටාව යකඩ අබලි ද්‍රව්‍යවලින් පිරි නගරයකදී සයිබර් වෛද්‍යවරයකුවූ ඉදෝට මුණ ගැසෙන අතර ඔහු ඇය තම සායනයට රැගෙන යයි.

අලීටා සිහිය ලබනවිට අතීත මතකයන් අහිමි වී ගොසිනි. යකඩ පුරවරයේ අනතුරුදායක නගරයේදී ඇය නව දිවියක් අරඹන්නීය. ඇය බේරාගත් ඉදෝ නිතරම උත්සාහ ගන්නේ අලීටාගේ ගුප්ත අතීතය වළලා දැමීමටය.

කැමරන්ට අලීටා පිළිබඳ සිතක් පහළ වී ඇත්තේ යුකිතෝ කිෂිරෝ විසින් රචිත බැට්ල් ඒන්ජල් අලීටා ජපන් සයිබර්පන්ක් මාංගා මාලාව නෙත ගැටුණු පසුවය. ඔහු වසර 2000දී එය සිනමා නිර්මාණයක් ලෙසින් රැගෙන එන බවට ඉඟි කළේය. 2003 දී සිනමා පටය නිෂ්පාදනය වීම ඇරැඹුණ ද අවතාර් සිනමා පටය නිසා අලීටා ප්‍රමාද විය.

2016 වසරේදී ප්‍රධාන චරිතය අලීටා ලෙසින් රෝසා සලසාර් නම් අමෙරිකානු නිළිය තෝරා ලන්නා ලදී.

වෛද්‍ය ඉදෝ ලෙස ක්‍රිස්ටෝෆ් වොල්ට්ස් ද සයිබෝග් දුෂ්ඨයා ලෙස ජැකී අර්ල් හැලේ ද රෝග වාහකයා ලෙස මහේෂාලා අලි ද සහ එඩ්වඩ් නෝට්න් ද ඉදෝගේ හිටපු බිරිය ලෙස ලෙස ජෙනිෆර් කොනලි ද ප්‍රධාන චරිත නිරූපණයන්හි යෙදෙති.

2016 දී සිනමා පටයේ රූගත කිරීම් ඇරැඹිණි. ටොම් හෝකන්බෝග්ගේ තනු නිර්මාණයෙන් අලීටා සංගීතවත් වී ඇත.

අලීටා : බැට්ල් ඒන්ජල් සිනමා පට මාලාවකට මුල පුරන බව ජේම්ස් කැමරන් සිනමා පටය තිරගතවීමත් සමඟ ප්‍රකාශ කළේය.

---------------------

ටෝටල් ධමාල්

සිනහවෙන් රසිකයන් උමතු කරන ටෝටල් ධමාල් (TOTAL DHAMAAL), ධමාල් හොලිවුඩ් සිනමා මාලාවේ තුන්වැන්නයි. ඉන්ද්‍ර කුමාර්ගේ අධ්‍යක්ෂණයක් වන නව ධමාල් සිනමා පටයේ රිතීෂ් දේශ්මුක්, අර්ෂද් වර්සි, ජාවඩ් ජැෆ්රේ, මධුරි ඩික්සිත්, ඊෂා ගුප්තා සහ අනිල් කපූර් රංගනයෙන් දායකවී ඇත. සිනමා පටයේ මුන්ගදා නම් ජනප්‍රිය ගීයට නර්තනයේ යෙදෙන්නේ සෝනක්ෂි සිංහය. අජේ, මධුරි, අනිල් සහ ඊෂා හැර සෙසු නළුවන් ටෝටල් ධමාල්ට නවකයන් නොවෙයි. මධුරි සහ අනිල් කපූර් තිරයේ පෙම්වතුන් ලෙස දක්නට ලැබෙන්නේ වසර 26 කට පසුවය. පෙබරවාරි 22 තිරගත වන සිනමා පටය මුදල් පිළිබඳ ප්‍රහසනයක් වන අතර මෙහි අනිල් හා මධුරි අඩි 300ක පමණ උසකින් පනින, දිය ඇලි හරහා පනින, අඩි 200ක් උස පාලම්වලින් රිය පදවන දසුන් ඇතුළත්ය.

Comments