ලස්සන කෙල්ලන් තිදෙනෙක් මහ දවල් පිටකොටුවේ කළ පෙරළියක් | සිළුමිණ

ලස්සන කෙල්ලන් තිදෙනෙක් මහ දවල් පිටකොටුවේ කළ පෙරළියක්

පිටකොටුවට යක්ෂණියන් පිරිසක් ඇවිත්. ලොරියක් පුපුරවලා. මේ ආරංචිය කන වැකුණු ගමන් අපි පිටකොටුවට දුවගෙන ගියේ මේ ආරංචියේ ඇත්ත නැත්ත සොයාගෙනයි. ගිනි ගහන මද්දහනේ පිටකොටුවේ පාර අයිනේ පිරිසක් වටවෙලා බලාගෙන ඉන්නවා. රතුපාට කොට ගවුම් වලින් සැරසුණු යුවතියන් තිදෙනෙක් තරහෙන් පුපුරන මුහුණු වලින් මොනවාදෝ කරනවා. අපි විගහට එතැනට කිට්ටු කරලා බැලුවා. ඇත්තටම එතැන මොකක්ද වෙන්නේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වුණේ ඊට පස්සෙයි.

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මේ යුවතියන් තිදෙනාට කිසියම් උපදෙසක් දෙනවා.

මේ ඔහුගේ ගින්දරී - 2 චිත්‍රපටයේ දර්ශන තලයක්.

‘‘ඕකේ ලයිට් එක හොඳයි.‘‘ කණ්ණාඩියකින් ඉර දිහා බලපු කැමරා ශිල්පී කේ. ඩී. දයානන්දගේ දැනුම් දීම අනුව ඊළඟ දර්ශනය රූගත කිරීම ඇරැඹුණා.

කැමරා රෝලිං ... ඇක්ෂන්.....

විධානයට අනුව තරින්දි අනුරුද්ධිකා , ටීනා ශනෙල් සහ චංචලා වර්ණසූරිය රඟපෑම ආරම්භ කළා.

‘‘මේ තුන්දෙනා තව ටික වේලාවකින් යක්ෂණියන් තිදෙනෙක් බවට පත්වෙනවා.‘‘ මෙහෙම කිව්වේ සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය (ටිකිරි) පබෝධා සංදීපනී ඒ වනවිටත් සිටියේ ඊළඟ දර්ශනයේ රූගත කිරීම් සඳහා හැඩ ගන්වමින්.

එක දර්ශනයක් නිවැරැදිව රූගත කිරීමට අවස්ථා ගණනාවක් ඒ සඳහා උත්සාහ ගන්න සිදුවුණේ අතිශයින් ජනාකීර්ණ පිටකොටුව ප්‍රධාන මාර්යක් අභියස දර්ශන තලය තිබෙන නිසා.

‘‘ හරි දැන් ඔයාලා මේ විදිහට කැමරාව පැත්ත බලාගෙන රඟපාන කොට මම විසිල් එක ගහනවා. එතකොට චංචලා එකපාරටම පිටි පස්සට හැරෙන්න.‘‘

උදයකාන්ත ගේ උපදෙස් අනුව දර්ශනය රූගත කිරීම ඇරැඹුණා. නිවැරැදි වෙලාවටත් පෙර නළා හඬ ඇසුණු අතර චංචලා පිටුපසට හැරුණා. ‘‘

‘‘කට් කට්‘‘ කැමරාව නැවතුණා.

 

‘‘ඇයි විසිල් කරන්න කලින් හැරුණේ”

සහය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත චංචලාගෙන් ඇසුවා.

‘‘ඇයි මට විසිල් එක ගහනවා ඇහුණානේ ඒකයි මම හැරුණේ‘‘

එවිටම යළිත් ඒ නළා හඬ ඇසුණා. එවිටයි පිරිසට කාරණය තේරුම් ගියේ. ඒ විසිල් එක ගහන්නේ රථ වාහන හසුරුවන පොලිස් නිලධාරියෙක්. උදයකාන්ත අතේ තිබෙන්නෙත් එවැනිම නළාවක්. පටලැවිල්ල දැනගත්තු හැමදෙනාටම හොඳටම හිනා.

ගින්දරී පළමු චිත්‍රපටය නිර්මාණය වුණේ උදයකාන්තගේ බහුබූතයෝ චිත්‍රපටයේ දෙවැනි කොටස විදිහට. ඒ මීට වසර 5කට පෙර. එයින් ලැබුණු සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා තමයි ගින්දරී දෙවැනි කොටස නිර්මාණය කෙරෙන්නේ. මේ රූගත කෙරෙන්නේ පිටකොටුවේ මහා මාර්ගයේ ලොරි යක් පුපුරවා හරින දර්ශනයක් රූගත කිරීමයි. එදිනෙදා කටයුතු වලට දහස් ගණනක් මිනිසුන් එහා මෙහා යන පිටකොටුව වැනි ජනාකීර්ණ තැනක රථවාහන හඬ මැද්දේ ගිනි අව්වේ කර වෙමින් කෙරෙන රූගත කිරීම ඇත්තටම දුෂ්කර ක්‍රියාවකි.

ගින්දරී - 2 චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කරන්නේ උදයකාන්තගේ බිරිය ශාන්ති වර්ණසූරියයි. ඇය උදයගේ නිර්මාණ ගණනාවකම ඇඳුම් නිර්මාණය කර පලපුරුද්ද ඇති ශිල්පිනියකි. ඇය දර්ශන තලයේ සිට උදයට ලබා දෙන්නේ විශාල ශක්තියක්.

‘‘මේ අය යක්ෂණියන් විදියට වෙනස් කරන්න ඇඳුම් නිර්මාණය කරන එක තරමක් ලොකු අභියෝගයක් වුණා. මෙහි සුපිරි බලයක් හිමි යක්ෂ නායිකාව චෞද්රි ලෙස රඟපාන චුලක්ෂි වෙනුවෙන් විශේෂ යක්ෂ ඇඳුමක් නිර්මාණය කරන්න අපි බාරදුන්නේ රැෆෙල්ලා කියන අති දක්ෂ නිර්මාණ ශිල්පිනියට. ඇය හරිම අපූරුවට ඒ ඇඳුම නිර්මාණය කළා‘‘ ශාන්ති පවසන්නේ නිහතමානීව.

මෙම නිර්මාණයේ රොඩ්නි වර්ණකුල සමඟ ළමා නළු චරිත රඟපාන සේනක විජේසිංහගේ පුත් එවීන් විජේසිංහ සහ යශෝධාගේ පුතා ලෙස රඟපාන ටිෂෝන් වැන්හොප් පුතා ඊළඟ දර්ශනය රූගත කරන්න සූදානමින් සිටිනවා. රොඩ්නි දකින ආදරණීය රසිකයන්ගේ ඉල්ලිම තමයි සෙල්ෆියකට ඉන්න කියන එක. රොඩ්නි රසිකයින්ගේ ඉල්ලීම් වලට අවස්ථාව දෙන්නේ නිහතමානීව.

ලද විරාමයකදී උදයකාන්ත තම අලුත්ම නිර්මාණය පිළිබඳව අදහස් දැක්වූවා.

‘‘ මම ගින්දරී දෙවැනි කොටස නිර්මාණය කරන්න තීරණය කළේ ගින්දරී පළමුවැන්න සාර්ථකව තිරගත වුණු කාල වකවානුවේදීමයි. ඒ සඳහා පිටපත ලියලා වැඩ කටයුතු ආරම්භ කරන්න වසර 5ක් ගතවුණා. මේ කතාව පටන් ගන්නේ ටිකිරි (පබෝධා) සහ බන්ටි (රොඩ්නි වර්ණකුල) විවාහ වෙලා පවුල් ජිවිතයක් ගත කිරීමෙන්. ඔවුනට ලැබෙන දරුවා තමයි සුපිරි. සුපිරි ඉපදෙන්නේ සුපිරි බලයක් සමඟ. බන්ටිටත් කටින් ගින්දර පිට කිරීම වගේ බලයක් ලැබෙනවා. ඒ වගේම වෙන ලෝකවලින් පැමිණි යක්ෂණියන් තිදෙනෙක් වන ප්‍රිතවි (චංචලා), මරුටි (තරින්දි) සහ සකුනි (ටීනා) සුපිරි ඔවුන්ගේ ලෝකයට ගෙන යාමට උත්සාහ දරනවා. සුපිරි බේරා ගැනීමට බන්ටි සහ ටිකිරි මේ යක්ෂණියන් සමඟ කරන සටන තමයි මෙහි කතාව ලෙස දිව යන්නේ. මෙහි දෙවියන් ලෙස ශ්‍රීණාත් මද්දුමගේත්, ඔහුගේ උපස්ථායකයා ලෙස සමන් හේමරත්නත් රඟපානවා. මෙහි දෙවියන්ගේ චරිතයෙන් කෙරෙන්නේ මේ අයගේ ගැටුමින් අපේ රට රැක ගැනීමයි. අපේ රටේ වර්තමානයේ වෙන දේශපාලන, සමාජයීය හැල හැප්පීම් වෙනත් දේශයක සිටින කෙනෙක් දකින ආකාරය හාස්‍යය උපහාසය කැටිව කියන්නට මම මේ චරිත ඇසුරෙන් උත්සාහ ගත්තා. මෙහි කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන්නේ මම මයි. දක්ෂ ප්‍රවීණ විශාල නළු නිළියන් පිරිසක් යොදාගෙන විශාල පිරිවැයක් දරා මෙය නිපදවීමට මම තීරණය කළේ පවුලේ සැමදෙනාටම එකට සිට සරළ වින්දනයක් ලබන්නට හැකිවන ලෙසයි.‘‘

තාක්ෂණික ප්‍රයෝග උපරිම ලෙස යොදාගනිමින් නිර්මාණය කෙරෙන ගින්දරී - 2 උදයකාන්තගේ 23 වැනි නිර්මාණයයි. මෙය ලබන අගෝස්තුවේදී තිරගත කිරීම ඉලක්ක කරගෙන රූගත කෙරෙයි. දින හතළිහකට අධික කාලයක් රූගත කිරීම් සිදුවන මෙය තව සතියකින් පමණ රූගත කිරීම් නිමකිරීමට නියමිතයි.

පබෝදා සංදීපනී, රොඩ්නි වර්ණකුල, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රීනාත් මද්දුමගේ, ටීනා ශනෙල්, තරින්දි ප්‍රනාන්දු, චංචලා වර්ණසූරිය, චුලක්ෂි රණතුංග, සරත් චන්ද්‍රසිරි, සරත් කොතලාවල, සජීව මල්මාල ආරච්චි, කීර්ති රත්නායක, ආනන්ද අතුකෝරල, හඳුන්වාදෙන ළමා නළුවන් වන ටිෂෝන් වැන්හොප් සහ එවින් විජේසිංහ රංගනයෙන් දායකවන අතර, සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත, කැමරාකරණයෙන් කේ. ඩී. දයානන්ද, හැඩගැන්වීමෙන් නලීන් ප්‍රේමතිලක, නිෂ්පාදන කළමනාකරණයෙන් අශෝක ආරියරත්න, සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්න දායකත්වය දෙනවා.

 

ඡායාරූප - ශාන් රූපස්සර

Comments