මිනිසුන් ආකල්පමය වශයෙන් පසුගාමී වෙලා | Page 2 | සිළුමිණ

මිනිසුන් ආකල්පමය වශයෙන් පසුගාමී වෙලා

90 දශකයේදී මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණව අද වන විට කවියකු, ගී පද රචකයකු, නිවේදකයකු, වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ලෙසින් ක්ෂේත්‍ර කිහිපයකම නියැළෙන ඔහු නිලාර් එන්. කාසිම්ය. උපතින් මුසුල්මානුවකු වුව ද, උපන් සිංහලයකු ලෙස ශූර අන්දමින් සිංහල භාෂාව පරිහරණය කරමින් ගීත කලාවේ නියැළෙමින් ගෙවුණු වසර විසි පහක කාලය පුරා ගීත හයසියයක් පමණ ඔහු විසින් රචනාකර තිබේ. ජාතික රූපවාහිනී සේවයේ නිවේදකයකු, වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස කටයුතු කරන නිලාර් මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දුන්නේ මෙසේයි.

ඔබ ගී පද රචකයකු ලෙසත්, මාධ්‍යවේදියකු ලෙසත් දශක දෙකකට වැඩි කාලයක සිට කලාවේ නියැළෙනවා. කුඩා කාලයේ සිටම බලාපොරොත්තුවක් තිබුණාද මෙවැනි වෘත්තියක නියැළීමට..

කුඩා කාලයේ සිටම කලා ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ ඇල්මක් තිබුණත් අද සිටින තැනට එන්නට ලැබේ කියා සිතුවේ නැහැ. පුංචි කාලයේ ගොඩක්ම තිබුණේ විසිරුණු අපේක්ෂාවන්. ඒ සඳහා අවශ්‍ය මූලික අඩිතාලම ලැබුණේ අධ්‍යාපනය ලැබූ මාතර රාහුල විදුහලෙන්. එහි පාසල් බිත්ති පුවත්පතේ සංස්කාරවරයා ලෙස කටයුතු කිරීම නිසා භාෂාව පිළිබඳව හොඳ දැනුමක් ලැබුණා. ඒ වගේම කුඩා කාලයේ පාසලේ රිද්ම සංවාද සාමුහිකය කියා කලාකවයක් තිබුණා. එහිදී කවිය, භාෂාව පිළිබඳව ප්‍රකාශන එළිදැක්වුවා. උසස් පෙළ කරන කාලයේ සිංහල භාෂාව ඉගැන්වු රංජිත් ප්‍රනාන්දු ගුරුවරයාගේ මග පෙන්වීමත්, දෙනගම සිරිවර්ධන, එච්. ජී. පුංචිහේවා යන ප්‍රවීණයන්ගේ ගුරු හරුකම් ලබාගෙන රුහුණු සේවයේ පිටපත් රචකයකු , හඬකැවීම් ශිල්පියකු, නිවේදකයකු ලෙස කටයුතු කළා. පසු කාලීනව තමයි ගී පද රචකයකු සහ නිවේදකයකු වීමට අවස්ථාව ලැබුණේ.

ඔබ කලාවට ප්‍රවිෂ්ට වී දශක දෙකකට වැඩියි. කලාව සහ මාධ්‍ය රැකියාවක් කරගැනීම පිළිබඳව සතුටුයිද?

බෙහෙවින්ම සතුටුයි. ඇතැම් වෘත්තීන්ට සාපේක්ෂව ජනතාව සමග ළඟින්ම ගනුදෙනු කළ හැකි වෘත්තියක් තමයි කලාව කියන්නේ. ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර දෙස බලා අඩුපාඩු සම්පූර්ණකර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා මෙන්ම ඔවුන්ගේ හෘදය ස්පන්දනය තේරුම් ගෙන වැඩ කළ හැකි වෘත්තියක් කලාව සහ මාධ්‍ය කියන්නේ.

ගී පද රචනයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින ආධුනිකයකුට දෙන උපදේශය කුමක්ද?

මූලිකම දේ භාෂාව පිළිබඳව ගැඹුරින් හැදෑරීම. ගී පද රචනයට ප්‍රවේශවන ආධුනිකයකු භාෂාව පිළිබඳව ගැඹුරු හැදෑරීමක් නොකර හොඳ ගී පද රචකයකු වීම අසීරුයි. ගී පද රචකයකුගේ මූලික මෙවලම භාෂාවයි. එහි පරතෙරට හැදෑරූ පුද්ගලයකුට පහසුවෙන් ගී පද රචකයකු විය හැකියි. භාෂාව නොදැන බලහත්කාරයෙන් නිර්මාණකරුවකු වීම අපහසුයි. කෘත්‍රිමව තරුවක් වීමට වඩා අප තුළ සිටින නිර්මාණකරුවා ඉබේම සමාජගත වන්නේ අප තුළ තිබෙන භාෂා අවබෝධයත් සමගයි. ඒ සඳහා ඉවසීමෙන්, සෙමෙන් ගමනක් යා යුතුයි. මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධිය ලබාගෙන මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නිසා මගේ අත්තිවාරම ශක්තිමත්.

ගෙවුණු කාලය දෙස ආපසු හැරී බලද්දී ජීවිතයේ වැරැදුණු තැන් තිබෙනවාද?

වැරදුණු තැන් කොතෙකුත් තිබිය හැකියි. ඒ කිසිවක් නැවත නැවත මෙනෙහි කරන පුරුද්ද මට නෑ. එම වැරදීම් ජීවිතේට පාඩමක් කරගෙන නැවත එම වැරැද්ද නොකරන්නට වග බලා ගන්නවා සේම ලැබෙන හැම ජයග්‍රහණයක්ම වැරදුණු තැන් නිවැරැදි කරගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස සතුටෙන්භාර ගන්නවා.

කැමැතිම සිනමා පටය, රංගන ශිල්පියා සහ ශිල්පිනිය..

මම මුස්ලිම්

ජාතිකයකු වුවත් කුඩා කාලයේ සිටම හැදී වැඩුණේ සිංහල වටපිටාවක. එම නිසා සිංහල සිනමාවට කුඩා කාලයේ සිටම බෙහෙවින් ඇලුම් කළා පමණක් නොවෙයි සිංහල චිත්‍රපට සෑම එකක්ම පාහේ නරඹනවා. නිධානය, සරුංගලය, දඩයම, සහ මෑත කාලයේ තිරගත වු මචං, 28 චිත්‍රපටවලට කැමැතියි. අයිරාංගනී සේරසිංහගේ රංගන කුසලතාවටත් නිහතමානි ගුණාංගයටත්, ඇය තුළ තිබෙන ගැඹුරු, නිවුණු ගුණයටත් කැමැතියි. ඒ වගේම විජය කුමාරතුංග තුළ ඇති ජන ආකර්ෂණයට කැමැතියි.

ඔබ විසින් රචනා කරන ලද ගීත අතුරෙන් වඩාත් සිත් ගත් ගීතය..

වඩාත්ම කැමැති ගීත ගණනාවක් තිබෙනවා. ‘සඳ දිය දෙව්න සේ සිනහව දුටුවාම‘ ගීතයත්, ‘ඔබ මැවු තරම්‘ ගීතය සහ ‘වපාකුළු උයන් තනාලා‘ ගීතවලට කැමැතියි. මේ දිනවල විකාශයවන ‘සකූ ‘ටෙලි නාට්‍යයේ තේමා ගීතයත්, ‘වෙස් ‘ටෙලි නාට්‍යයේ තේමා ගීතයත් ලියුවේ මමයි. ඉදිරියේදි මා විසින් ලියු ගීත විසි පහකට ආසන්න ප්‍රමාණයක් එන්න තිබෙනවා. මේ ගීත අතරේ ගායකයා හෝ ගායිකාවගේ ඉල්ලීමට ලියූ ඒවාත්, සිතට එන සිතුවිලි නිදහසේ ගීතයට නැගුණු ඒවාත් තිබෙනවා.

මේ රටේ වගකිවයුතු තනතුරක් ලැබුණොත් මොකද කරන්නේ..

අපේ රටේ ජනතාව ගොඩක්ම ආකල්පමය වශයෙන් පසුගාමී වෙලා. ඒ නිසා ඉදිරිගාමී සමාජයක් ඇතිකිරීමට සාහිත්‍ය, කලාව සහ සියලුම ක්ෂේත්‍රයන් යොදා ගෙන චින්තනමය වශයෙන් මිනිසුන් දියුණු කරනවා.

තව කෙනෙක් කරනවට අකැමැති දෙය..

මනුෂ්‍යත්වය කෙලෙසන, ජාති, ආගම් ගෝත්‍ර හිස මත තබාගෙන මිනිසුන්ට හිමි මනුෂ්‍යත්වයට නිසි ලෙස නොසලකන ක්‍රියාවල නිරත වෙන මිනිසුන්ට කැමැති නැහැ. එවැනි දේවල් කරන ඕනෑම කෙනෙක්ව ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැති මනුෂ්‍යත්වයෙන් පිරි මිනසුන්ට ආදරය කරනවා.

ජීවිතයේ අමතක නොවන සිදුවීම..

කාලෙන් කාලෙට සිදු වූ විවිධ සිදුවීම් දාමයක් තිබෙනවා. එකක් යැයි කිව නොහැකියි. ඒ සියලු සිදුවීම් ජීවිතයේ අමතක නොවන සිදුවීම්.

සංචාරය කිරීමට කැමැති..

විවිධ ජාතීන්ගේ ජනසමාජවල සිදුවීම් දැනගැනීමේ අදහසින් තමයි සංචාරයේ නිරතවන්නේ. ඔවුන්ගේ විවිධ සංස්කෘතීන් සහ ජනසමාජ පිළිබඳව දැන ගැනීමටත් කැමැතියි. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ස්කැන්ඩිනේවියාව යන රටවල සංචාරය කිරීමට කැමැති ඒ නිසයි. එමගින් චින්තනමය අවකාශය පෘථුල කරගන්නට හැකියාව ලැබෙනවා.

Comments