මාලිනියට ඉතාලියේදී උපහාර | සිළුමිණ

මාලිනියට ඉතාලියේදී උපහාර

සිංහල සිනමාවේ නිළි රැජින නමින් විරුදාවලිය ලත් ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකා වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා ඉතාලියේ මිලානෝ පුවර චෙන්ත්‍රෝ ඇස්තෝරියම් ශාලාවේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. 1968 වසරේ දී ප්‍රවීණ සිනමාකරු තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා‘ චිත්‍රපටයෙන් සිනමා ලොවට පා තැබූ ඇය එදා මෙදා තුර සිනමා පට 140 කට වඩා රංගනයෙන් දායක විය. අන්තර් ජාතික සම්මාන බුහුමන් තම මාතෘ භුමියට රැගෙන ආ මාලිනිය ලක් මෑණියට අත්කර දුන් කීර්තිය සහ සිංහල සිනමාවට කළ සේවය අගැයීම වස් මෙම උපහාර උළෙල සංවිධානය කෙරිණි. ‘මාලිනී UP ABOVE' නමින් පැවැත්වූ මෙම උපහාර උළෙල සංවිධානය කිරීම සදහා පෙරමුණ ගෙන කටයුතු කොට තිබුණේ ඉතාලියේ වෙසෙන කුසුම් මෙන්ඩිස් මහත්මිය විසිනි. ඇය සහ පිරිවර විවිධ විචිත්‍රාංග ඔස්සේ මෙම වැඩසටහන අපූර්ව ආකාරයෙන් පෙළගස්වා තිබිණි. ඉතාලියේ ශාන්ත ජෝසප් ජාත්‍යන්තර පාසලද මෙයට සහයෝගය ලබා දුන් අතර එහි ගුරුභවතුන් වන තිමිර, ක්‍රිස්ටි මහත්වරුන් සහ එහි දරු දැරියෝ මෙම උස්සවය සාර්ථක කරගැනීමට විශේෂයෙන් දායක විය. චන්දිමා මීපෙගමගේ සහ සිසු දරුවන්, සත්සර කලායතනයේ කාංචනා මහත්මිය, විශාරද නිමාශා ප්‍රනාන්දු සංගීත ගුරුතුමිය මෙම උළෙල විචිත්‍ර අංගයන්ගෙන් හැඩ කළහ‍. හර්ෂණ කාරියවසම් විසින් උලෙළ මෙහෙයවීම් කටයුතු සිදුකළ අතර හේමා මෙන්ඩිස්, සරත් මෙන්ඩිස්, රුක්ලාන්ති මෙන්ඩිස්, නදීමා ද සොයිසා, සුමිත්, කෙවින් වීරසේකර යන පිරිවර සංවිධානයෙන් සහය වීය. හැඩ ගැන්විම් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී පියෝනි විසිනි. මෙම වේදිකාව මතදී මාලිනිය වෙනුවෙන් විශේෂ සමරු තිළිණ උපහාර පිරිනැමුණු අතර මෙහිදී සංවිධායකයන් වෙතද මාලිනිය අතින්ද සමරු තිළිණ පිරිනැමිණි. මෙම උත්සවය නැරඹීම සඳහා එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගී වූ බවත් එහිදී ඔවුන්ගේ සුවිශේෂී ප්‍රතිචාර මාලිනී ෆොන්සේකා මහත්මියට සහ උපහාර උළෙලට ලැබුණු බවත් ප්‍රධාන සංවිධායිකා කුසුම් මෙන්ඩිස් පැවසීය.

අදහස්