මම දරුවන් සමඟ අලුත් අධ්‍යයන ක්‍රම අත්හදා බැලීම් කරනවා | Page 2 | සිළුමිණ

මම දරුවන් සමඟ අලුත් අධ්‍යයන ක්‍රම අත්හදා බැලීම් කරනවා

තුමිඳුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන ‘තාල‘ දැන් ප්‍රදර්ශනය වෙනවා. සිසු ගුරු සබඳතාව මැනවින් නිරූපණය කරමින් නිර්මාණශීලි අධ්‍යාපනය පන්ති කාමරය තුළට ගෙන එමින් සිසුන්ගේ මතක ශක්තිය හා තාර්කික ශක්තිය ඔප්නංවන්න වැර දරන, දරුවන්ගේ සෞන්දර්ය කලා හැකියා ඔප්නංවන්නට වෙර දරන ගුරුවරයෙකුගේ කතාව 'තාල' සිනමා සිත්තම තුළින් ගෙත්තම් කෙරේ. එක් ප්‍රධාන චරිතයක් වන එරන්දතී නම් ගුරුවරියගේ චරිතය නිරූපණය කරන්නේ කලනි දොඩන්තැන්නයි. මෙවර රසඳුන රස ගන්වන්නට අප ඇයට ආරාධනා කළෙමු.

කලනිට කොහොමද 'තාල' චිත්‍රපටයේ එරන්දතීගේ චරිතය ලැබෙන්නේ?

මට පාලිත පෙරේරා මහත්මයාව මුලින්ම මුණ ගැහෙන්නේ මම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ කටයුතු කරනකොට මීට වසර හතරකට පෙර. මම ඊට කලින් පාලිත අයියා ගැන අහලා තිබුණා. මගේ සැමියා තුමිඳුගේ 'සංකාරා' චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ පාලිත පෙරේරා මහත්මයා. ඉතින් ඔහු සමඟ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ මට කටයුතු කරන්න ලැබිලා තියෙනවා. ඒ මුණගැහුණු වෙලාවක තමයි මේ චිත්‍රපටයට මට ආරාධනා ලැබෙන්නේ. ඒ පාලිත පෙරේරා මහත්මයා 'තාල' චිත්‍රපටයේ පිටපත රචනා කරන කාල වකවානුවේ.

කලනිට එරන්දති දිවිපොතගම කියන ගුරුවරියගේ චරිතය අභියෝගයක් වුණාද?

'තාල' චිත්‍රපටයේ එරන්දතී කියන්නේ ස්වේච්ඡාවෙන් දරුවන්ට සේවය කරන්න කැමැති ගුරුවරියක්. ඒ ගුරුවරිය මුදලට වඩා දරුවන්ට සේවය කරන්න කැමැති නිසයි දුෂ්කර පාසලක සේවය කරන්නේ. එවැනි මොහොතක එක්තරා දුෂ්කර ගමක පාසලක ළමයින් එක්ක සුහදව, විනෝදෙන් නිර්මාණශීලීව අධ්‍යයන කටයුතු කළ ගුරුවරයෙක්ට කිසියම් පැමිණිල්ලක් හේතුවෙන් විනය පරීක්ෂණයකට මුහුණදෙන්න තාවකාලිකව සේවය අත්හිටුවීමට සිදුවෙනවා. ඒ ගුරුවරයා වෙනුවට තමයි එරන්දතීට ඒ පාසලේ දරුවන්ට උගන්වන්න යන්න ලැබෙන්නේ. චරිතයක් නිරූපණය කරන කොට ඒක අභියෝගයක් තමයි. මේ චරිතය පටන් ගන්නෙම කතාවේ එක් තීරණාත්මක අවස්ථාවකින්. ඒ නිසා එරන්දතීගේ චරිත ලක්ෂණ, චරිතයේ ස්වභාවය මට අභියෝගයක් වුණා. නමුත් මේ චිත්‍රපටය පුරාවටම මට වැඩ කරන්න ලැබුණේ දරුවන් එක්ක. දරුවන් එක්ක වැඩ කරන එක මට නුහුරු අත්දැකීමක් නොවුණු නිසා මට ඒ අභියෝගය ඒ තරම් අමාරු වුණේ නැහැ.

'තාල' කියන්නේ ඔබේ පළමුවැනි චිත්‍රපටය. පළමු චිත්‍රපටයෙන්ම ඔබට දරුවන් සමඟ වැඩ කරන්න ලැබෙනවා. කොහොමද ඒ අත්දැකීම?

හරිම සුන්දරයි. ඒ අත්දැකීම වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඒ ළමයි එක්ක වැඩ කරපු දවස් හරිම ලස්සනයි. හරිම විනෝදෙන්, ආදරෙන් ගත කරපු කාලයක් ඒක. රූගත කිරීම්වල දී වුණත් ඒ තරම් වෙහෙසක්, පීඩනයක් දැනුණේ නැහැ. මේ චිත්‍රපටයට විවිධ පළාත්වලින් ආපු දරුවන් සම්බන්ධ කරගෙන තිබුණා. කතාවේ ස්වරූපය අනුව දුෂ්කර පාසල්වල ඉගෙන ගත්ත, දුෂ්කර පරිසරවලින් පැමිණි දරුවන් හිටියා. ඔවුන් හරිම දක්ෂයි. ඒ අත්දැකීම හරිම ලස්සන අත්දැකීමක්.

මේ චිත්‍රපටයේ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි නිර්මාණශීලී අධ්‍යයන ක්‍රම මඟින් දරුවන්ගේ හැකියා වර්ධනය කිරීම. මේ විශේෂ අධ්‍යයන ක්‍රම සහ ඉගැන්වීම් ක්‍රම ගැන ඔබ පෙර පුහුණුවක් ලැබුවාද?

මම වෘත්තියෙන් කලා චිකිත්සකවරියක්. (Art Theraphyst). ඒ කියන්නේ මානසික ගැටලු තියෙන දරුවන්ට චිත්‍ර කලාව මඟින් ප්‍රතිකාර ලබාදීම. මේ වෘත්තියේ දී කොහොමත් දරුවන් සමඟ අලුත් අධ්‍යයන ක්‍රම අත්හදා බැලීම් කරනවා. එහි දී සමහර විශේෂ දරුවන් සමඟ ඉතාම ළඟින් සම්බන්ධතා පවත්වන්න සිදුවෙනවා. දරුවන්ට සමීප වෙන්න විවිධ ක්‍රම අත්හදා බලනවා. මේ චිත්‍රපටයෙදී එරන්දතීගේ චරිතය ගැන කියනකොටම ඒ චරිතයේ ස්වභාවය මට අවබෝධ වුණා. විශේෂයෙන් අසේල සහ එරන්දතී කියන ගුරුවරු දෙන්නා නිර්මාණශීලීව දරුවන්ට ඉගැන්වීම් කරන ගුරුවරුන් වෙන්න ඕනේ. විශේෂයෙන් අසේලගේ චරිතයට පණ පොවන හේමාල් දරුවන්ට ගොඩක් ආදරේ කරන, දරුවන් එක්ක නිර්මාණශීලීව වැඩ කරන කෙනෙක් වෙන්නෙ ඕනේ. ඒ නිසා අපිට මේ ගැන යම් හැදෑරීමක් කරන්න සිදුවුණා.

හේමාල් රණසිංහ වගේ තරු ගුණයෙන් යුතු රංගන ශිල්පියෙක් සමඟ කටයුතු කරන්න ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?

හේමාල් කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගෙන් මට රංගනයේ දී විශාල සහයෝගයක් ලැබුණා. අපිට ඕනේ වුණේ දරුවන් එක්ක එකට වැඩ කරලා දරුවන් එක්ක යාළු වෙන්නෙ. ඔවුන් සමඟ සුහද වෙන්න. එහි දී ඔහුගෙන් මට ලොකු සහායක් ලැබුණා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇතුළු අනෙකුත් රංගන ශිල්පීන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය ගැනත් කියමු?

'තාල' චිත්‍රපටයේ මුළු කණ්ඩායමෙන්ම මට විශාල සහයෝගයක් ලැබුණා. දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක මට වැඩ කරන්න ලැබුණා. ඒ හැමෝම හරිම සුහදව, මිත්‍රශීලීව මට සමහර දේවල් කියලා දුන්නා. විශේෂයෙන් ජයලත් මනෝරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියන්ත සිරිකුමාර වගේ දක්ෂ රංගන ශිල්පීන්ගෙන් මට රංගනය පිළිබඳ ලොකු අවබෝධයක් ලැබුණා. මම සතුටු වෙනවා මේ වගේ ප්‍රවීණයන් පිරිසක් එක්ක වැඩ කරන්න ලැබුණු එක ගැන. ඒ වගේම වේශ නිරූපණ ශිල්පීන්, කැමරාකරණ ශිල්පීන්, ඇතුළු 'තාල' චිත්‍රපටයේ මුළු කණ්ඩායම මට දුන්නේ විශාල සහායක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂක පාලිත පෙරේරා මහත්මගේගෙන් ලැබුණු සහයෝගය ගැනත් විශේෂයෙන් සිහිපත් කළ යුතුමයි.

'තාල' චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරන්නේ සීගිරිය ප්‍රදේශයේ සුන්දර ගම්මානයක. මේ කාලය ඇතුළත අමතක නොවන සිදුවීම් රැසක් කලනිට සිහිපත් කරන්න ඇති?

ඒ පරිසරය හරිම ලස්සනයි. සුන්දර ගම්මානයක් ඒක. දවස් 15ක් මම රූගත කිරීම් හා සම්බන්ධ වුණා. ඒ පරිසරයේ සුන්දරත්වය කියලා නිම කරන්න බැහැ. විශේෂයෙන් චිත්‍ර ශිල්පිනියක් හැටියට ඒ පරිසරය මට පෙනුණේ චිත්‍රයක් වගේ. ඒ පරිසරය, අහස, ගස්වැල්, පරිසරයේ වර්ණ වෙනස් වෙන ස්වභාවය මේ සියල්ල මට අමතක කරන්න බැරි අත්දැකීමක්. ඒ තරමට මම ඒ පරිසරයේ සුන්දරත්වය අත්වින්දා.

කලනි රංගන කටයුතුවලට සැමියා තුමිඳු දොඩන්තැන්නගෙන් ලැබෙන ගුරුහරුකම් ගැන කිව්වොත්?

තුමිඳුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා සියලුම දේවල්වලට. නිතරම රංගනය ගැන අඩුපාඩු ගැන අපි කතා කරනවා. ඒ වගේම මම මේ ක්ෂේත්‍රයට අලුත් නිසා සමහර දේවල් දන්නේ නැහැ. ඒ සියල්ල ගැනම තුමිඳු මට නිසි අවබෝධයක් ලබාදෙනවා. ඒ වගේම මම දැන් මාස දහයක දරුවකුගේ මවක්. දරුවගේ වැඩ කටයුතුත් එක්කත් කාර්යබහුල වෙන අවස්ථාවල දී නි‍ෙවසේ අනෙක් වැඩ කටයුතුවලටත් තුමිඳුගෙන් මට විශාල සහායක් ලැබෙනවා.

ඔබ ඉදිරියටත් රංගන කටයුතුවල නිරත වෙනවාද?

මම රොෂාන් රවින්ද්‍රගේ ‘තණමල්විල කොල්ලෙක්, ටෙලිනාට්‍යට මම රංගනයෙන් දායක වුණා. ඒක ඉදිරියේ දී විකාශය වෙයි. මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පිනියක් වගේම කලා චිකිත්සකවරියක්. මේ සියල්ල අතරේ මට හොඳයි කියලා, මට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියලා සිතෙන චරිතයක් ලැබුණොත් එයට මම ඉදිරියේ දී සම්බන්ධ වෙයි.

Comments