ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත යුග දිවියට | සිළුමිණ

ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත යුග දිවියට

මට වාසනා - ඔබ මට වාසනා

උපනූපන් හැම ආත්මයේ

ඔබ මට මට ඔබ වාසනා...

එදා පියාගේ මුවෙන් ගැයුණු ඒ සුමිහිරි පද පෙළ අද ගයන්නේ පුතායි. ඒ අන් කවරකුටවත් නොව ඔහුගේ අතගත් ප්‍රියම්භිකාවිය වෙනුවෙනි. කලා ලෝකයේ එක දිගට මංගල උත්සව පෙළගැසෙද්දී අලුතෙන්ම විවාහයට එළැඹුණු යුවළ ගැන කියන්නයි මේ සූදානම. ඒ කලක් මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වූ අසහාය ගායක ප්‍රියා සූරියසේනගේ ආදරණීය පුත් ලක්ෂිත සූරියසේනගේ විවාහය ගැනයි. ලක්ෂිතගේ අතගත් වාසනාවන්තිය වන්නේ මියුරු පියතිලක.

යුගදිවියට පා තැබූ ලක්ෂිතගේ අනාගත බලාපොරොත්තු බොහෝයි. ඒ ගැනත් විවාහ උත්සවය ගැනත් රසඳුනට කියන්නට ලක්ෂිත අමතක කළේ නැහැ.

‘‘පසුගියදා කොස්ගම ලැවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හිදී සහ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී මගේත් මියුරුගේත් විවාහ උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. එම අවස්ථාවට කලා ලෝකයේ අප්පච්චිගේත්, මගේත් මිතුරු මිතුරියන් විශාල පිරිසක් සහභාගි වුණා. අප දෙදෙනා හමුවූයේ හිතවතකුගේ මාර්ගයෙන් වුණත් අප හොඳින් හඳුනා ගත්තේ මුහුණුපොත ඔස්සේයි. ඇය මොරටුව විශ්වෙවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවයකරනවා. මම ඇමරිකාවේ නැනෝ තාක්ෂණය පිළිබඳව පශ්චාද් උපාධිය හදාරනවා. මේ වසර අවසාන වන විට උපාධිය සම්පූර්ණ කර ස්ථීරවම ලංකාවේ පදිංචියට එන්න තමයි මගේ බලාපොරොත්තුව.‘‘

ලක්ෂිත තමා උගත් නැනෝ තාක්ෂණික දැනුමෙන් උපන් රටට සේවාවක් සිදු කිරීමට බලාපොරොත්තු වනවා සේම පියාගේ

අඩිපාරේ යමින් කලාව වෙනුවෙන්ද අලුත් නිර්මාණ කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

‘‘කුඩා කාලයේ සිටම මම ගීත ගායනයට ප්‍රිය කරනවා වගේම සංගීතය හදාරා තිබෙනවා. නමුත් පසුගිය කාලයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතව සිටි නිසා කලාවේ නියැළෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. වරින් වර ලංකාවට පැමිණි අවස්ථාවල විවිධ රූපවාහිනී නාළිකාවල වැඩසටහන්වලට සහභාගි වුණත් ස්ථිර වශයෙන් ගායන ක්ෂේත්‍රයේ නියැළෙන්නට අවස්ථාවක් ලැබුණේ නෑ. පසුගිය වසරේදී අලුත් ගීතයක් කළා. එය මේ වන විට යූ ටියුබ් මගින් රසවිඳිය හැකියි. අප්පච්චි සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ 1968 වසරේදි. පසුගිය වසරට වසර පනහක් සම්පූර්ණ වුණා. ඒ නිමිත්තෙන් ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් මේ වසර මැද භාගයේදී වගේ පවත්වන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. එදාට අලුත් යුග ගීතයක් මම අප්පච්චිත් එක්ව ගායනා කරනවා.‘‘

දශක පහක් පුරා මෙරට ගීත කලාවට ආදරණීය ගීත රැසක් දායාද කළ ප්‍රියා ආදරණීය පියකු බව ලක්ෂිත පවසයි. ‘‘අපේ පවුලේ අප්පච්චි, අම්මා හැරුණු කොට අක්කලා දෙදෙනාත් මමත්, නංගීත් ඉන්නවා. ඔවුන් කිසිවෙක් කලාවට සම්බන්ධ නැහැ. ලොකු අක්කා වෛද්‍යවරියක්. පොඩි අක්කා බැංකු කළමනාකාරවරියක්. නංගී විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. එකම පුතා ලෙස පියාගේ නම රැකගන්නට විනෝදාංශයක් ලෙස හෝ කලාවේ නිරත වීම මගේ බලාපොරොත්තුයි. ඒ සඳහා මගේ බිරිය මියුරුගෙන් හොඳ

සහයෝගයක් ලැබේවි යැයි බලාපොරොත්තුවෙන් ඉන්නවා.‘‘

ලක්ෂිත - මියුරු නව යුවළට රසඳුන සුබ පැතුම්!

 

ඡාය­ාරූප - Studio X

අදහස්