දොඩම් වවන්න අක්කර දාහක් විතර හොයාගන්න බැරිද? | සිළුමිණ

දොඩම් වවන්න අක්කර දාහක් විතර හොයාගන්න බැරිද?

 

කුමරිය සිටින්නේ බියෙන් යුතුවය. අප්පා ලංකාවට ගියේ මෙම ප්‍රශ්නය විසඳීම සඳහාය. එහෙත් ඔහු කටයුතු කරන්නට යන්නේ පිළිගත් ක්‍රමවේදයකට අනුව නොවන බව පැහැදිලිය. තමා වැනි රාජකුමාරිකාවක ශ්‍රී ලංකාවේ දුප්පත් ගොවි කුලයක අයකුට සරණපාවා දෙතැයි විශ්වාස කළ නොහැකිය. එවන් අසම්මත විවාහ යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඔහුට වන්දි ගෙවන්ට සිදුවන්නේ ජීවිතයෙනි.

ආත්ම ගණනාවක් තමා විසින් කර ඇත්තේ චපලියක ලෙස ඔහුට පිටුපෑමය. එසේ නොකළා නම් ඔහුගේ ජීවිතය නැතිවීම වැළැක්විය නොහැකිය.

මුළු හදවතින්ම ආදරය කළ තැනැත්තා අතැර මවුපියන්ගේ යෝජනාවලට කැමති වූයේ ‘චපලියක’ ලෙස වුවත් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමටය.

අද මේ මොහොතේ අප්පා ලංකාවට ගියේ ඇයි දැයි දන්නේ චම්පා කුමරිය පමණි. අප්පා අතින් මරණයට පත් නොවුණත් ඔහු මරා දැමීමට වෙනත් කණ්ඩායමකට බාර දී ඇති බවට සැකයක් නැත.

“දැන් කොහෙද ඉන්නවා කිව්වෙ?” කුමරිය නීලකගෙන් ඇසුවාය.

“අපි දැන් ඉන්නෙ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තියෙන කෘෂිකර්ම ප්‍රදර්ශනයක.”

“බලන්න ඔයාල එක්ක සැක සහිත කවුරුවත් ඉන්නවද කියලා”

“චීන, මැලේ, බුරුම, මෙංගෝලියානු පිරිස හැරුණම අපි බොහෝදුරට සමානයි.”

“ඒ හැමටම වඩා හැඩයෙන් පැහැයෙන් විතරක් නෙමේ හදවත්වලිනුත් සමානයි.”

“බලන්න ලැබුණත් නොලැබුණත් හැම ආත්මෙකම අපි මේ විදිහට ඉපදිලා තියෙනවනෙ.”

“මම මේ චපල බවෙන් මිදෙන්ට ඕනෑ. අපි එක්වෙන්න ඕනෑ රත්තරනෙ. මම කොයි වෙලාවක හරි ලංකාවට එනවා.”

“එපා. දැන්ම එපා. අපට තියෙන්නෙ ළඟා විය නොහැකි ආදරයක්. අප්පා එනවා.” නීලක දුරකථනය විසන්ධි කළේය.

රාම්මෝහන් වට පිට බැලුවේය. මෙය ශාන්ත පරිසරයකින් හෙබි සුන්දර රටකි. ඉන්දියාව මෙන් වියළි බවක් නැත. සාමාන්‍ය මිනිසුන් අතර ජනවාර්ගික අරගල නැත. ඒවා සැබෑ ජන ජීවිතයට බාධා වී නොතිබිණි. උසස්, නීච, පහත් කුල විදිහට භේදයක් නැත. කෙසෙල් කොළයකට දමන ලද තෝසයක්, ඉට්ලියක් රස විඳිනවා හැර විශේෂත්වයක් නැත. තමා පසුපස තමාගේ ආරක්ෂකයන් එන බව රාම්මෝහන් දනී. ඔවුහු නීලක හේරත් කවුරුන්දැයි දනිති. සෙලියුලර් ෆෝනයෙන් දැන්වූ සැණින් නීලක මරා දමනු ඇත. නීලක පෞද්ගලිකව හමුවී කතා කර ඉන්පසු මරා දැමීම සුදුසු බැව් ඔහු තීරණය කර තිබුණි.

“සර් බලාගෙන ලිස්සනවා.” බොජුන් හල අසල දිය කඩිත්ත පනිද්දි නීලක රාම්මෝහන්ගේ අතින් අල්ලා ගනිමින් කීවේය.

මොහු අමුතු තැනැත්තෙකි. කෝටිපති මහ රාජා කෙනෙක් වුවද ශාලාවට ප්‍රවේශවීමට ගාස්තු මෙන්ම කෑමට බීමට මුදල් ගෙව්වේ ද ඔහු විසිනි.

“සර් කොහෙද ඉන්නෙ?” ෆයිසර් ඇසුවේය. ‍‍

“අපි මේ එක්සිබිෂන් එක බලලා ලොජ් එකට යනවා.”

“සර් අපේ කට්ටිය ඇරියා කොල්ලගෙ මාළිගාව බලන්න. සර් ඒක දුප්පත් තෙලිඟු මිනිස්සු ජීවත්වන ගෙයක් වගේලු. පැට්ට්‍රල් බෝතලයක් ගහල ගෙට ගින්දර තියන්නද?”

“කිසි සැකයක් නෑ කොල්ලව මරනවා. තමුසෙලාට ඇඩ්වාන්ස් එකක් එවලනෙ තියෙන්නෙ.”

“නෑ බොස් අම්මයි තාත්තයි මරල දැම්මම කොල්ල වැඩේ අතහරියි.”

“ගයිඩ්ලට ගාණක් දෙන්න ඕනැ නෑ. කොල්ලගෙ යාළුවාගෙ වෑන් එකක් තියෙනවා. අපිට මේකෙන් ටුවර් එක යන්න පුළුවන්.”

“සර්. එහෙනම් ට්‍රිප් එක ඉවර වෙලා මට රිංකට් එකක් දෙන්න. මම ‍ටෝර් ගාල ඔළුවට තියන්නම්.” ෆයිසර් කීවේය.

පිරිස නවාතැනට ඇරලූ යසස් මිතුරාට කතා කළේය. ‍‍

“මචං මහ රාජා මොකද කියන්නෙ.” නීලක ඇසුවේය.

“මෑන් සීතා හංගල හිටපු තැන අහනවා.”

“සීතා දියරෙද්දක් ඇඳගෙන ළිඳ ගාව හිටියෙ?” නීලක කීවේය.

“ගොනෝ ඒ සීතා නෙමේ. රාවණා පැහැරගෙන ආපු සීතා.”

“ඒවා මචං ජනප්‍රවාදයක් විතරයි. තහවුරු කරපු පුරාවිද්‍යාත්මක තොරතුරු නෑ.”

“ඒ වුණාට රාමා සීතා කතාව මුළු ඉන්දියාව පිළිගන්නවා. රාවණාගෙ ලංකාපුර නගරය හසලක කිට්ටුව තිබුණ කියල ජනප්‍රවාදයේ තියෙනවා. දහඅට වංගුව සහිත පාරවල් වැටෙන්ට ඉස්සර මේ පළාත්වල රාවණා රජුගෙ ආධිපතය තිබිලා තියෙනවා.”

“සීතා පැහැරගෙන ඇවිත් මේ සුන්දර පරිසරයේ තියෙන කැලේ කොතැනක හරි ඉන්ට ඇති. අසෝක වනය කියන්නෙ ඔය කැලෑවට වෙන්න ඕන.”

“උඹට පුළුවන්නෙ මහාරාජා එක්ක ගිහින් රාවණා සීතා හංගාගෙන හිටපු තැන් පෙන්වන්න. රාම ගැන, හනුමන්තා ගැන කියා දෙන්න පුළුවන් නේද?”

“කොහොම හරි මුන් දෙන්නා යාළු කර ගන්ට ඕනැ. මොනවා හරි තෑග්ගක් අරන් දෙමුද?”

“උන්ට අහවල් දේ දෙන්නද? අපි කන්නෙ ඉන්දියා හාල්, ලූනු පරිප්පු, රෙදි කුර්තා සාරි. ජංගිය පවා පිටරටින් ගේනවා.”

“අපේ වැඩ පටන් ගත්තෙ බද්ධ කච්චායනා වගේ කෙල්ලො ගෙනැල්ලනේ.”

“ඇයි උඹත් මැරෙන්න හදන්නෙ ඉන්දියන් කෙල්ලක් ගේන්නනෙ. ඉතිහාසයේ මේවා හැමදාම වෙච්ච දේවල්.”

“මේක විසඳන්න ක්‍රමයක් කියපං.”

යසස් මඳ වේලාවක් කල්පනා කළේය.

“කරන්න පුළුවන් නම් හොඳ වැඩක් තියෙනවා.”

“තොටළඟ රා තැබෑරුමට ගිහින් හොඳවයින් ගැලුමකුයි, ඌරු මස් ටිකකුයි ගෙනැල්ල තියමු.”

ඔහු මොහොතක් කල්පනා කළේය. අතීතයේ රාජ සේවකයන්ට පවා මෙවන් අල්ලස් දී ඇත. වර්තමානයේ මත්පැන්, මුදල්, ලිංගික අල්ලස් දෙන බව මාධ්‍ය හරහා හෙළිදරව් වෙයි.

“ඒ වගෙ බාල වැඩක් කරන්ට බෑ. මිනිහට කේන්ති යයි.”

“උඹට බැරි නම් නිකා හිටපං මේක අහිංසක වැඩක්. රසවත් බීමක්. මම අඳුනන පොට් එකක් උස්වැටකෙයියාවෙ තියෙනවා. එතැන පිරිසුදුයි. මතට තිත කිව්වට ඕනෑම තැනක බඩු තියෙනවා. ටී ෂර්ට් එකක් දාගෙන පලයං.”

“ලොක්කා කතා කරනවා. උඹට කැමැති දෙයක් කරපං.”

ඔහු මහා රාජා හමුවට යමින් කීවේය.

“කෑවට පස්සෙ හොඳ නින්දක් ගියා.”

හේ සතුටින් කීවේය.

“අර එක්සිබිෂන් එක හරි අර්ථවත්. ඒක බලද්දි එක දෙයක් මතක් වුණා. කොහොමද රටේ පස.”

ඔහු කතා කළේ හෑල්ලුවට පත්කිරීම වැනි අදහසකින් යුතුවය.

“සර් මේක වාසනාවන්ත රටක්. සර් දන්නවා ඇති උතුරු දකුණු ඉන්දීය රජවරු ලංකාව ආක්‍රමණය කළේ ලංකාව වාසනාවන්ත දූපතක් නිසයි.”

හේ හිස වනා එය අනුමත කළේය. එය සැබෑ නිසාය. දෙමළ, පෘතුගීසි, ලන්දේසි ලංකාව ආක්‍රමණයකළේ ලංකාව ඉන්දියන් සාගරේ වැදගත් මධ්‍යස්ථානයක් නිසාය.

“නීලක කිව්වා හරි. මම කතා කළේ ඒ යටත් විජිත කතාවක් කියන්ට නෙවේ. දොඩම් වවන්න අක්කර දාහක් විතර හොයා ගන්ට බැරිද?”

“පුළුවන් වෙයි. දැනටත් චීන, ඉන්දීය ආණ්ඩු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මේ ගැන කතා කරමින් පවතිනවා.” සර් ඉදිරිපත් වෙන්න.

“මට නෙමේ නීලකට. ඉන්දියාවෙ මගෙ දොඩම් වතු තියෙනවා. තාක්ෂණය දෙන්නම්, සේවකයො දෙන්නම්, පලදාව මම මිලට ගන්නම්.”

ඔහු නිසි තැනදි අදහස දමා පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටියේය.

 

ලබන සතියට

අදහස්