තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

ශ්‍රියානි අමරසේන  සිව්වැන්නට සූදානමින්

ඇය වරෙක රංගන ශිල්පිනියකි. තවත් වරෙක නිෂ්පාදකවරියකි. තවත් විටක ඇය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරියකි. මේ සියලු තැන් හිදී ඇය ප්‍රේක්ෂකයින්ගේ ආදරය අසීමිතව දිනාගත්තාය. ඉදිරියටත් එය එසේමය. මේ දිනවල ඇය අලුත් සිනමා නිර්මාණයක නිෂ්පාදන වැඩකටයුතු භාර ගෙන තිබෙනවා. ඇයගේ සිව් වැනි සිනමා නිෂ්පාදනය මෙයයි. විශේෂයෙන් කාන්තාවන් මුලික කරගනිමින් ගොඩ නැගෙන මේ සිනමා නිර්මාණය විදෙස් සිනමා සම්මාන උලෙළවල් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් අපට දැන ගන්න ලැබුණා.

------------------

 ආනන්ද අතුකෝරල ‘වලිගයක් ඇවිත්, සමඟ

වේදිකාව, පුංචි තිරය සේම සිනමාවට එක ලෙස ආදරය කරන ආනන්ද අතුකෝරල ප්‍රවීණ රංගන ශිල්පියා මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය කිහිපයකම දැක ගන්න පුළුවන්. දැන් නම් කියන්න යන්නේ ඔහු පටන් ගන්න යන අලුත්ම වේදිකා නාට්‍ය පිළිබඳවයි. මීට පෙර හොරු හොඳයි, කොට කලිසම් කාරයා, සිනා සාගරය, පෙරමුණේ බණ්ඩා, ආපසු හැරෙන් සහ උකුස්සෝ යන වේදිකා නාට්‍ය නිර්මාණය කර තිබූ ඔහු වසර වසර 6 කට පසුව වේදිකා නාට්‍යක් නිර්මාණය කරලා. ‘වලිගයක් ඇවිත්’ නමින් නම් කර ඇති එය මාර්තු මාසයේදී වේදිකා ගත කිරීමට ආනන්ද සූදානමින් ඉන්නවා. මෙම නාට්‍ය හි ඇති සුවිශේෂ කාරණය වන්නේ මෙහි තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය යන සියල්ල ම ඔහු විසින් සිදු කිරීමයි.

මේ නාට්‍යය ඔහු නිර්මාණය කර ඇත්තේ විදෙස් රටවල ප්‍රදර්ශනය සඳහා වැඩි ඉඩකඩක් ලබා දීමට බව අපට දැනගන්නට ලැබුණා. මේ නිසා අපේ නාට්‍ය රසවිඳින්නට ආසාවෙන් සිටින විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට නම් එය හොඳ ආරංචියක් වනු ඇත.

 

------------------

රොෂාන් දුෂ්ටයෙක් වෙයි

මෑත යුගයේ රිදී තිරයේ සිහින කුමාරයා නැත්නම් රසිකාවන්ගේ පෙම්වතා වුණු ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන නුදුරු දිනයකදී විලන් හෙවත් දුෂ්ටයා ලෙස සිනමාවට අවතීර්ණ වීමට සුදානම් වෙනවා. මේ ගැන දැනගන්න අපි රොෂාන්ට කතා කළා.

‘‘ඇත්තටම මට ආදරය කරන රසිකාවන්ට මෙය අලුත් අත්දැකීමක් වේවි. මොකද මම මේ වෙනතුරුම තිරයේ පෙම්වතා චරිත තමයි කළේ. ළඟදීම ප්‍රදර්ශනය වීමට නියමිත සිනමා නිර්මාණ කිහිපයකම මට ‘විලන්’ ලෙස රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මේ නිර්මාණයන්වල මම නිරූපණය කරන චරිතවලට ප්‍රේක්ෂකයින් මොන විදියට ප්‍රතිචාර දක්වාවිද කියලා කියන්න බැහැ. ඒ ගැන මම ඉන්නේ කුතුහලයෙන්. කොහොම වුණත් මගේ අලුත් රංගනය නිසා පෙම්වතාට වඩා විලන්ට ආදරය කරන රසිකාවියන් වැඩි වෙන්නත් බැරි කමක් නැහැ.‘‘ රොෂාන් එහෙම කිව්වේ ඔහුට ඒ චරිත නිරූපණය පිළිබඳව ඇති දැඩි විශ්වාසයකින්.

 

----------------

‘අපේ ආදරේ’ ‘ඉමයා’ගේ සැබෑ ආදරේ

‘අපේ ආදරේ’ හරහා ටෙලි නාට්‍ය යේ අනන්‍යා ගේ චරිතය රඟමින් පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින් අතරට එන ඉමයා, ආදරයක් නිසා හරියට කාර්යබහුල වෙලා. ඒ ‘අපේ ආදරේ’ නිසා නම් නෙමෙයිලු. ‘රංජිත්-ඉමයා’ දෙන්නගේ ආදරේ නිසාලු. රංජිත් ඉෂාන් කියන්නේ ඉමයාගේ ආදරවන්තයා. මේ දෙන්නගේ ආදරේට අවුරුදු 12 ක් වෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉෂාන් ඉතාලියේ රැකියාවක් කරන නිසා මේ දිනවල ඔහු ලංකාවට ඇවිත් තියෙන්නේ විවාහ පිළිබඳව කතාබහ කරගන්නලු. ලබන වසරේදී ඉමාය ට මංගල සිනූ හැඩ වෙන නිසා ඉමයා හරියට කාර්යබහුල වෙලා විතරක් නොවෙයි ඇය ඉන්නේ ගොඩක් සතුටින්.

 ----------

 හිමායා එළියට නොගිය රහස හෙළි වෙයි

වර්තමානයේ ප්‍රේක්ෂකින් ගේ මතකයේ රැඳෙන චරිත කිහිපය තුළ හිමායා බණ්ඩාරත් මුල් තැන සිටින රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරැදියි. නමුත් ඇගේ සැබෑ නමට වඩා ඇය වඩාත් ජනප්‍රිය වී සිටින්නේ දෙවෙනි ඉනිමේ ‘සොනාලි ටීචර්’ නමින්. ඇය දකින ඕනෑම කෙනකුට හිතෙන්නේ කටකාර, දඟකාර කෙනෙක් කියලා. පසුගිය දවස් වල හිමායා වැඩි පුර දකින්න නොලැබුණු නිසා ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළා.

‘‘කතාව ඇත්ත. මගේ ඇස්වල ඇතිවුණු අසනීප තත්ත්වයක් නිසා මාස තුනක් විතර මට කොහේටවත් යන්න ලැබුණේ නැහැ. වෛද්‍ය උපදෙස් අනුව අඩුම තරමෙ මට වාහනය පදවන එක පවා සම්පූර්ණයෙන් නවත්වන්න සිදුවුණා. මේ ගැන මම හරිම දුකෙන් හිටියේ. වෙලාවකට මට හිතුණා දිගටම මෙහෙම ඉන්න වුණොත් මොනවගේ තත්ත්වයක් ඇතිවෙයිද කියලා.‘‘ නමුත් මේ වනවිට ඇය දේ දෑස් සුවවෙමින් පවතින නිසා සුපුරුදු පරිදි ටිකක් එහෙමෙහෙ යන්න අවස්ථාව උදා වෙලා.

‘‘හැබැයි ඉතින් වාහනය ධාවනය කරන්න අවස්ථාව ලැබුණත්, ගෙදරින් නම් මට තනියම යන්න ඉඩ දෙන්නේ නැහැ. කොහොම වුණත් සුපුරුදු පරිදි ගමන් යන්න ඉඩ සැලසුණු එක ගැන නම් මම ඉන්නේ හරිම සතුටින්.‘‘ හිමායා පිළිතුරු දුන්නේත් සතුටින්.

අදහස්