එදා සිදුවීම තවම මතකයි | සිළුමිණ

එදා සිදුවීම තවම මතකයි

 

මෝස්තර නිරූපිකාවක ලෙසින් කලාවට අවතීර්ණ වූ ඇය අද වන විට ටෙලි නාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙසත් කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධයි. හිරු නාළිකාව ඔස්සේ විකාශය කෙරෙන සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයෙන් අප හමුවට එන ඇය අමායා විජේසූරියය. කවදත් රසඳුනට ආදරය කරන අමායා මෙවර කවරය හැඩ ගන්වන්නත්, තුන්වැනි පිටුව හැඩ කරන්නත් එක් වූයේ මෙලෙසයි.

කොහොමද අමායා..

හොඳින් ඉන්නවා.

ළඟදි බය වුණේ නැද්ද?

ළඟදි නම් බය වුණේ නැහැ. මම දන්නවා ඔය මොකක් ගැනද කියන්නේ කියල.

එදා... ගොඩක් බය වුණාලු නේද ...

බය නොවී ඉන්නවද මිනියක් දැක්කම.

කියමුද බලන්න ඒ කතාව..

හුස්ම චිත්‍රපටය රූගත කරන දිනවල පෞද්ගලික රෝහලකදී තමයි ඒ සිදුවීම වුණේ. මමත්, තව ගෑනු ළමයි තුන්දෙනකුත් හයවැනි තට්ටුවේ මේකප් රූම් එකට වෙලා හිටියා. ඒ ෆ්ලෝ එකේ එදා කවුරුත්ම හිටියේ නැහැ. අනිත් කට්ටිය පහළ ෂූටින්වල. එතකොට හරියටම රෑ දොළහට විතර ඇති. එකපාරටම වොෂ් රූම් ගිය ගෑනු ළමයෙක් දුවගෙන ආව මෝචරියට බොඩි එකක් ගෙනල්ල ඉස්සරහ දාල කියාගෙන. අපි කට්ටියම දුවගෙන ගියා බලන්න . එතකොට ට්‍රොලිය උඩ සුදු පොරවාගත් මිනිහෙක් ඉන්නවා. අපි ඔහුට කතාකරත් ඇස් ඇරියේවත් නැහැ. ඇත්තටම අපි හිතුවේ ඒ මිනියක් කියලා. ඊට පස්සෙ අපි බයවෙලා කෑ ගහගෙන දිව්වා පහළට. අපේ සද්දෙට සෙට් එකේ කට්ටිය උඩට දුවගෙන ඇවිත් හොඳටම හිනා වෙනවා. ඉසුරු අයියා, පුබුදු අයියා තමයි කිව්වේ ඔය මිනියක් නෙමෙයි ඔයාලගේ ආරක්ෂාවට තිබ්බ මිනිහා ට්‍රොලියක නිදාගෙන කියලා. පස්සෙ තමයි දැන ගත්තේ ඒ මෝචරිය, වාට්ටු සේරම චිත්‍රපටය වෙනුවෙන් තාවකාලිකව හදපු ඒවා කියලා. ඒ සිදුවීම නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.

කලාවට අලුතෙන් ආපු නිසාද එච්චරටම බයවුණේ..

කලාවට අලුත් නිසාත් එවිට වෙලාව රෑ දොළහ නිසාත් තමයි ඒ තරමටම බය වුණේ.

අමායා කලාවට ඇවිත් කොච්චර කල්ද?

අවුරුදු තුනක් විතර ඇති.

කොහොමද කලාවට එන්නේ..

රැජින පත්තරේට කවරයක් කළා. ඒක දැකලා ශාන්ත සොයිසා මහතා ‘පිනි‘ ටෙලි නාට්‍යයට ආරාධනා කළා. එහි රඟ පා ටික කලක් විදේශගතව සිටියා. නැවත ඇවිත් කලාවට සම්බන්ධ වුණා.

මොනවද මේ දක්වා කළ නිර්මාණ..

මේ දිනවල හිරු නාලිකාවේ විකාශය කෙරෙන සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යය සහ හර්ෂ උඩකන්දගේ ගෝරි සහ සුදේශ් වසන්ත පීරිස්ගේ හුස්ම චිත්‍රපටවල රඟපෑවා. තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒවායෙහි මට යමක් කළහැකි දෙයක් තිබේ නම් භාර ගන්නවා.

මෝස්තර නිරූපණයට සමු දීලද රංගනයට පිවිසෙන්නෙ..

නැහැ. මෝස්තර නිරූපිකාවක ලෙසත් වැඩ කරනවා.

පාසල් කාලයේත් කලාවට සම්බන්ධව සිටියාද?

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. පාසලේදි වැඩිපුරම කළේ ක්‍රිඩා සහ නර්තනය. පාසල් කාලයෙන් පස්සේ තමයි කලාවට පිවිසෙන්නේ.

පවුලේ විස්තර ටිකක් කියමුද?

මගේ ගම හෝමාගම. අපේ පවුලේ අම්මයි, තාත්තයි , නංගියි, අයියයි. ඒ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. ඒ සියලු දෙනාගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා.

ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයටත් සම්බන්ධයි..

විවිධ වර්ගයේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවි සලක් තියෙනවා. එය තවම පුංචියට තමයි පවත්වාගෙන යන්නේ. ඉදිරියේදී එම ව්‍යාපාරය විශාල කිරීමේ අදහසක් තියෙනවා.

අමායා කාවද අනුකරණය කරන්නේ?

උමාලි තිලකරත්නව. ඇයගේ රංගනයට කැමැතියි. ඇය දක්ෂයි. මගෙත් බලාපොරොත්තුව ඇය වගේ දක්ෂ රංගන ශිල්පිනියක වීමයි. ඒ වගේම අපේ නිලි රැජන මාලිනී ෆොන්සේකාගේ රංගනයත් අනුගමනය කරනවා.

පෙම්වතා කැමැති මෝස්තර නිරූපිකාවක්ව ඉන්නවටද? එහෙම නැත්නම් රඟපානවටද?

එයා ඒ දෙකටම අකමැති වුණත් මම කොහොම හරි කැමැති කර ගන්නවා.

ඒ කියන්නෙ ඔබ පෙම්වතියක්..

තවම නැහැ. වුණොත් තමයි මම එහෙම කරන්නේ. අනිවාර්යයෙන් මාත් සමග එකතුවන කෙනා මාව තේරුම්ගත් කෙනෙක් විය යුතුමයි.

කැමැති රංගන ශිල්පියා කවුරුද?

ඉසුරු ලොකු හෙට්ටිආරච්චි අයියට කැමැතියි. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්.

වැඩිපුර මොනවගේ විලාසිතාවලටද කැමැති...

මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න නිසා විලාසිතා කරන්න සිදුවෙනවා. නමුත් කොටට සහ හොට් විදිහට පැෂන් කරන්නේ නැහැ. මොකද මගේ තාත්තා ආමි එකේ. අම්මා ගෘහණියක්. ඒ අයට පාරෙ බැහැල යන්න පුළුවන් වෙන්න ඕනෑ විදිහට තමයි ෆැෂන් කරන්නේ.

අනාගත බලාපොරොත්තු..

ක්ෂේත්‍රයට ඇවිත් තවම අවුරුදු තුන වුණාට කලාවේ ප්‍රවීණයන් ගොඩක්ම ඇසුරු කරන්න ලැබුණා. ඔවුන්ගෙන් හොඳට ගරු හරුකම් ලබුණා. ඒවා ජීවිතයට ආදර්ශයක් කරගෙන කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමත්, ව්‍යාපාර ක්ෂේත්‍රය දියුණු කර ගැනීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඡායාරූප - ශාන් රූපස්සර

Comments