මැතිසබයේ යකා නැටූ මන්ත්‍රීන් ගැන සී.අයි.ඩිය උසාවියට කියයි | Page 2 | සිළුමිණ

මැතිසබයේ යකා නැටූ මන්ත්‍රීන් ගැන සී.අයි.ඩිය උසාවියට කියයි

ඉකුත් නොවැම්බර් 14,15,16 දිනවල පාර්ලිමේන්තු සභාගැබේ ඇති වූ ගැටුම්කාරි සිද්ධි සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කටයුතු බොහෝදුරට අවසන්ව ඇති අතර, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මීට සම්බන්ධ මන්ත්‍රීන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් දණ්ඩ නීති සංග්‍රහය හා පොදු දේපළ පනත යටතේ පියවර ගැනෙනු ඇත.

ඉන්දික අනුරුද්ධ, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහත්වරුන් මෙන්ම වෙනත් සිවිල් සංවිධාන කිහිපයක්ද විසින් මේ සම්බන්ධව වැලිකඩ පොලීසියට පැමිණිලි කර තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධව පාර්ලිමේන්තු සභාගැබේ හා මාධ්‍ය ආයතනවල සංස්කරණය නොකළ විඩීයෝ දර්ශන පරීක්ෂා කිරීමක්ද සිදු කෙරිණි.

මීට අමතරව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ මේ සම්බන්ධ විමර්ශනය කමිටු වාර්තාවේ පිටපතද මේ වන විට කථානායකවරයාට භාර දී ඇති අතර, එය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවේ සභාගත කෙරෙනු ඇතැයි අපේක්ෂිතය. මෙයද ඉදිරි දිනක නීතිපතිවරයාට යොමු කර අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇති බව පාර්ලිමේන්තු තොරතුරු වාර්තා කරයි.

නීති විශාරදයන්ගේ මතය අනුව මේ අලාභහානි කිරීම් හා පොදු දේපළ විනාශ කිරීම්වලට පාර්ලිමේන්තු පනත (බලතල හා වරප්‍රසාද) යටතේ පමණක් පියවර ගත හොත් ව්‍යාකුල තත්ත්වයක් ඇති විය හැකි බැවින් නීතියෙන් දඬුවම් කළ හැකි වරදක් සිදු කරන මන්ත්‍රීන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් දණ්ඩ නීති සංග්‍රහය හා පොදු දේපළ පනත යටතේ පියවර ගැනෙනු ඇත‍.

මේ බව ප්‍රමාණවත් සාක්ෂි මත අධිකරණය විසින්ද තීන්දු කෙරේ නම් ඉදිරියේදී පොදු දේපළවලට හානි කිරීමේ වරදට මේ පිරිස් හසු විය හැකි අතර, මේ සිද්ධියේදී අලාභය රුපියල් ලක්ෂය ඉක්මවා තිබීම හේතුවෙන් මේ සම්බන්ධ සියලු නඩු මහාධිකරණයේ විභාග වෙයි.

Comments