ජාන හොරු සූදානම් ශරීරෙන් ඇවිත් | සිළුමිණ

ජාන හොරු සූදානම් ශරීරෙන් ඇවිත්

සිංහරාජය ඇතුළු මෙරට පරිසර පද්ධතිවලින් සිදු කෙරෙන ජාන සම්පත් කොල්ලය, එතෙර හා මෙතෙර උදවු ඇතිව ඉතා සංවිධානාත්මකව සිදු කරන අන්තර්ජාතික ජෛව සම්පත් කොල්ලයක් බවට කරුණු අනාවරණය වී ඇතැයි වන සංරක්ෂණ නිලධාරීහු හා පාරිසරික සංවිධාන පෙන්වා දෙති.

සිංහරාජයේ සිදුවීමට වරදකරුවන් වූ ස්ලෝවැකියානු ජාතිකයන් වරද පිළිගැනීමත්, ඊට කලවාන අධිකරණය 13 දා නියම කළ රුපියල් එක් කෝටි අට ලක්ෂයක විශාල දඩ මුදල පසු දිනම (14) සම්පූර්ණයෙන් ගෙවා දැමීමත් යන කරුණු මත මෙය සංවිධානාත්මක පාරිසරික අපරාධයක් බවට සැක පහළ වී ඇතැයි ඔවුහු අනතුරු අඟවති.

ශ්‍රී ලංකාවේ වන සත්ත්ව හා වෘක්ෂලතා පනත යටතේ හා වන සංරක්ෂණ පනත යටතේ අධිකරණයෙන් නියම වූ වැඩිම දඩ මුදල මෙය බවත්, එය රත්නපුර අධිකරණයට ගෙවා දමා වරදකරුවන් නිදහස් කිරීමට පසුදිනම කටයුතු කිරීම මත මෙවැනි දඩයක් වුව ගෙවීමට වැරැදිකරුවන්ට උදවු දුන් බාහිර පාර්ශ්වය සූදානම්ව සිට ඇති බවට සැක ඇති වී ඇති බවත් කලවාන අඩවි වන සංරක්ෂණ නිලධාරි ලක්ෂ්මන් රත්නවීර මහතා පවසයි‍. මේ අතර මේ ස්ලෝවැකියානු පුද්ගලයන් අපේ රටට යළි ඒමට නොහැකි වන සේ ‘බ්ලැක් ලිස්ට්’ කිරීමට රහස් පොලීසිය කටයුතු කරන බවත් ඔහු කීය.

මෙවැනි ජෛව සම්පත් සොරා කන ජාන මංකොල්ල මීට පෙරද අපේ රට ආශ්‍රිතව සිදු වූ බවත්, එමඟින් අපේ ජෛව සම්පත් හා ජාන පිටරටවලට ගෙනගොස්, ඒවා මඟින් විවිධ ඖෂධ හා නිපැයුම් සකස් කර ‘පේටන්ට්’ බලපත් ගෙන ඒවා පිටරටවල අය අයිති කරගන්නා බවත් ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කීය. මේ පිළිබඳව කරුණු දක්වන පරිසර යුක්ති විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසන්නේ මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන විට පෙන්නුම් කෙරෙන්නේ මේ ජාන කොල්ලය සැලසුම් සහගත පාරිසරික අපරාධයක් බවයි.

Comments