ලෝක වාර්තාවකට ප්ලෑන් කරලා යන්න | සිළුමිණ

ලෝක වාර්තාවකට ප්ලෑන් කරලා යන්න

තිස් එක්වැනි සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ සම්මාන උලෙළේ 2009 දී වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළු සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියන්නට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ඇන්ජලෝ පෙරේරා සමත් විය.

තිස් එක් වැනි ඔබ්සර්වර් මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ සම්මාන උලෙළේ ජනප්‍රියම ක්‍රීඩකයාට අමතරව වසරේ හොඳම පිතිකරුවා, හොඳම තුන් ඉරියව් අනුශූරයා මෙන් ම වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරයා වීමට ද ඔහු සමත් විය.

ඇන්ජලෝ මෙවර දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට එක්වන්නේ ක්‍රිකට් වංශ කතාවේ ලෝක වාර්තාවක සමහිමිකරුවකු වශයෙනි. ඒ මෙකී සංචාරයට පෙර ක්‍රීඩා කළ මෙරට පළමු පෙළ සුපිරි අට ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කරමින් එස්.එස්.සී. කණ්ඩායමට එරෙහිව ඉනිම් දෙකේදීම ද්විත්ව ශතක රැස් කරමින් ය. පළමු ඉනිමේ පන්දු 203 කින් (හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින්) ලකුණු 201ක් රැස් කරන ඇන්ජලෝ දෙවැනි ඉනිමේ පන්දු 268කින් (හතරේ පහර 20ක් සහ හයේ පහර තුනක් සමඟින්) ලකුණු 231ක් රැස් කිරීමට සමත් විය.

ඇන්ජලෝ එහිදී සම ක‍ෙළ් 1938 දී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරමින් එසෙක්ස් සමඟ පැවැති තරගයේදී ආතර් ෆැග්ගේ ලෝක වාර්තාවයි. ඔහු පළමු ඉනිමේ ලකුණු 244ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 202ක් රැස් කිරීමට සමත් විය. දකුණත් පිතිකරුවකු වන ආතර් ෆැග් ටෙස්ට් තරග පහකට ක්‍රීඩා කර තිබේ.

පෙබරවාරි 23 දින විසි නව වැනි වියට පා තබන ඇන්ජලෝ තුන් ඉරියව්වෙන් ම දස්කම් දක්වන ක්‍රීඩකයකි. කාලයකට පසු නැවත ජාතික කණ්ඩායමට එක්වූ ඇන්ජලෝගේ එකී ලෝක වාර්තාව ඇතුළු සිය ක්‍රිකට් ජීවිතය පිළිබඳ කතා බහ කට අප වෙන් කළ ඉඩකඩයි.

ඇන්ජලෝ ක්‍රිකටර් කෙනෙක් වෙන පසුබිම ගොඩනැගෙන්නේ කොහොමද?

මම ක්‍රිකට් ක්‍රීඩාවේ අකුරු කියන්න පටන් ගන්නේ ලයනල් මෙන්ඩිස් සර් ගෙන්. ලයනල් සර්ගේ ක්‍රිකට් පාසලට මම යන්නේ අවුරුදු හතේදි විතර. ඊට පස්සේ ශාන්ත පීතර විද්‍යාලයේ වයස අවුරුදු 13 න් පහළ කණ්ඩායමට ඇතුළත් වුණා. එතැන ඉඳලා 15 – 17 – 19 න් පහළ කණ්ඩායම් නියෝජනය කළා. පාසල් කාලයෙන් පස්සේ එන්සීසී ක්‍රීඩා සමාජයට එකතු වුණා. අදටත් මම ක්‍රීඩා කරන්නේ එන්.සී.සී. ක්‍රීඩා සමාජයට. අද එහි නායකත්වය දරනවා.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ එස්.එස්.සී. තරගයේ ඉනිම් දෙ‍කකදීම ද්වි ශතක ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දක්වනවා. කොහොමද මේ ඉනිම් දෙක ගොඩනඟා ගත්තේ?

සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගයක අඩ ශතකයක්, ශතකයක්, ද්වි ශතක වගේ දේවල් සැලසුම් කරලා ගහන්න අමාරුයි. තරගයක් දිවයන පසුබිම එක්ක තමයි ඒ වගේ දේවල් තීරණය වෙන්නේ.මේ වගේ වාර්තාවක් ගැන දැනගෙන හිටියෙත් නෑ. ඒ තරගයට එන කොට මහා ලොකු සැලසුම් තිබුණෙත් නෑ. අපට ඕනෑ වුණේ තරගයට හොඳින් මුහුණදෙන එක විතරයි.

දෙවැනි ඉනිමේ ද්විශතකයට යනකොටවත් දැනගෙන හිටියාද මෙහෙම වාර්තාවක් ගැන?

එහෙමත් නෑ. තරගය ඉවර වුණාට පස්සේ තමයි පුහුණුකරු මේ විස්තරය අන්තර්ජාලයෙන් හොයලා කිව්වේ, මේ වගේ තරගයක ඉනිම් දෙකේදීම ද්වි ශතක දෙකක් ගහලා තියෙන්නේ අවුරුදු 80 කට පස්සේ කියලා.

ඒ කතාව ඇහුවාම මොකද හිතුණේ?

ගොඩක් සතුටු වුණා. ඒ වගේ දෙයක් කරන එකත් ලෙහෙසි නෑ. ගොඩක් අමාරු දෙයක්. හිතන්නත් අමාරුයි. හැබැයි කොහොම වුණත් ක්‍රිකට් ඉතිහාසයේ ඒ වගේ වාර්තාවකට දායක වෙන්න, සම කරන්න - දෙවැනියා වෙන්න ලැබුණු එක ගැන සතුටුයි. ඒ වගේ ම ආඩම්බරයි.

මේ ‍වගේ දැවැන්ත ඉනිම් දෙකකට යන්න නම් ප්‍රතිවාදීන්ගේ දුර්වලතා ඉස්මතු වෙන්න ඕනෑ. එහෙම නැත්නම් තණතීරුවෙන් විශාල සහයෝගයක් ලැබෙන්න ඕනෑ ඒ වගේම ඔ‍ෙබ් ක්‍රීඩා විලාශය පවා විශිෂ්ට මට්ටමක තියෙන්න ඕනෑ. එස්.එස්.සී. කියන්නේ දුර්වල කණ්ඩායමක් නොවෙයි?

ඇත්ත. මේ තරගය තිබුණේ පී. සරා ඕවල් පිටියේ. මේ ළඟකදී ඉඳලා ක්‍රිකට් ආයතනය තණ තීරු සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමක් කරනවා. ඒ වගේ ම ඔවුන් කියලා තියෙනවා, මේ තරගවලට පවා උසස්ම මට්ටමේ තණ තීරු ලබාදෙන්න කියලා. මම හිතන්නේ මේ තණතීරු එක්ක ඕනෑම පිතිකරුවෙකුට ‍ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න අපහසු නෑ. මම හිතන්නේ මේ වගේ හේතු නිසා තමයි මට ලොකු ඉනිම් දෙකකට යන්න පුළුවන් වුණේ.

ඒ කියන්නේ විශේෂයෙන් මේ තරගයේ පී. සරා ඕවල් තණ තීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක්?

ඔව්. පිතිකරුවන්ට උචිත - වඩාත් යෝග්‍ය තණ තීරුවක් නිසා තමයි මට මේ ද්වි ශතක දෙකට යන්න පුළුවන් වුණේ.

ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා කොතරම් කාලයක් වෙනවාද?

අවුරුදු 20ක් විතර වෙනවා. මම ක්‍රිකට් පටන් ගත්තේත් අවුරුදු 7 – 8 දී විතර.

‍මේ දීර්ඝ කාලය ඇතුළත ලැබූ අත්දැකීම් එක්ක ක්‍රීඩාංගණයක් තණතීරුවක් දැක්ක ගමන් මොන විදියට වැඩ කරන එකක් ද කියලා අවබෝධ කරගන්න පුළුවන්ද?

ඒක හරිම අමාරු වැඩක්.‍ මට මගේ ක්‍රීඩා සමාජයේ එන්සීසී එකේ තණතීරුව ගැන නම් දැක්ක ගමන් කියන්න පුළුවන්. අවුරුදු 7 - 8 ඉඳලා ඒ ක්‍රීඩාංගණය හුරු පුරුදු නිසා.

ක්‍රීඩාංගණයක් - තණතීරුවක් දැක්ක ගමන් අපට අදහසකට එන්න පුළුවන්. හැබැයි ඒ දේ වෙයි ද? නැද්ද කියලා හරියටම කියන්න බ‍ෑ. තණ කොළ ටිකක් වැඩියි නම් වේග පන්දු යවන්නන්ට උචිත තණ තීරුවක් කියලා හිතන්න පුළුවන්. ඒ වුණාට හරියට ම තණ තීරුවක් වැඩ කරන විදිය කියන්න අමාරුයි.

කාලයකට පස්සේ තේරීම් කමිටුවට ඔබව සිහිවෙන්න මේ ද්වි ශතක දෙක හුඟක් බලපාන්න ඇති?

ඔව්. මටත් එහෙම හිතෙනවා. මට ගොඩක් සතුටු හිතුණා. නැවත ජාතික කණ්ඩායමට එක්වෙන්න ලැබුණු එක ගැන. අපි මේ අන්තර් සමාජ තරගාවලියේ ක්‍රීඩා කරලා අන්තිම පරමාර්ථය විදියට බලාපොරොත්තු තියා ගන්නේ ජාතික කණ්ඩායමට එකතු වෙන එක‍‍‍‍‍. ඒ බලාපොරොත්තුව පස්සේ තමයි අපි හැම කෙනෙක් ම දුවන්නේ.

2009 ඔබ්සර්වර් - මොබිටෙල් ක්‍රිකටර් අනුශූරයා ඔබ, මේ සම්මාන උලෙළ දිහා හැරිලා බලන කොට මොකද හිතෙන්නේ?

ඒ අවුරුද්දේ ශූරයා වුණේ දිනේෂ් චන්දිමාල්. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකුට මේ සම්මාන උලෙළ හරියට වටිනවා. පාසලෙන් ඉවත් වෙන ක්‍රීඩකයකුට හොඳ අඩිතාලමක් වෙනවා ඉදිරියට යන්න.

මේ වගේ සම්මාන උලෙළවල ඇගැයීම්වලින් තමයි සමාජය අපව හඳුනා ගන්නේ. අපි මොන තරම් ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබ්බත්, ලකුණු ගහලා තිබ්බත් මේ වගේ ඇගැයීම්වලින් තමයි ඒ දේවල්වලට පවා වටිනාකමක් එකතු වෙන්නේ. ඔබ්සර්වර් - මොබිටෙල් වේදිකාව කියන්නේ දක්ෂ යොවුන් ක්‍රීඩකයන්ගේ අනාගතයට හොඳ අඩිතාලමක් විදියට දකිනවා.

ඔ‍ෙබ් සාර්ථක ඉනිම් අසාර්ථක ඉනිම් ආදිය ක්‍රීඩා කරපු තණ තීරුවල නැවත ක්‍රීඩා කරන කොට පරණ මතකයන් එළියට එනවාද?

එහෙමත් නෑ. ඒ වගේ දේවල් හුඟක් කලාතුරකින් තමයි සිද්ධ වෙන්නෙ. අපි කැමැති ක්‍රීඩාංගණ තියෙනවා. ඒ වගේම තමයි තරගයෙන් තරගයට මේවා වෙනස් වෙනවා. එක ක්‍රීඩාංගණයක අසාර්ථක වුණා කියලා දිගින් දිගට ම ඒ ක්‍රීඩාංගණයේ අසාර්ථක වෙන්නේ නෑ. ඒ වගේම තමයි ලකුණු අතර ඉන්න ක්‍රීඩාංගණවල පවා මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවනි. අනිවාර්යෙන් ම සිද්ධ වෙන දේවල් කියලා දෙයක් නෑ. හැම වෙලාවෙම වෙනස් වෙනවා. අපි මේවාට හරියන විදියට හැඩ ගැහෙන්න ඕනෑ.

හොඳට ලකුණු අතර හිටපු ඉනිම් ක්‍රීඩාංගණවලට යන හුඟක් ආසා හිතෙනවා. පිතිකරුවන්ට උචිත තණ තීරු තියෙන ක්‍රීඩාංගණ ඕනෑ තරම් තියෙනවා. ඒ වගේ ක්‍රීඩා කරන්න හරි ආසයි.

මේ හොඳ - නරක එහෙමත් හොඳ ඉනිම් ක්‍රීඩා කළ තණතීරු සහ අසීරු ඉනිම් ක්‍රීඩා කළ තණතීරුවල ක්‍රීඩා කරන කොට කොහොමද ඔබ මේ දේවල් පාලනය කරගන්නේ?

මේ දේවල් වයසත් එක්ක ඒ වගේම අත්දැකීම් එක්ක එන දෙයක්. මෙතැනදී පළපුරුද්ද හරියට වටිනවා.

තරුණ කාලයේ අපේ ආවේගශීලි ගතිය වැඩියි. පන්දු යවන්නන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපිව වැරදි පහරකට යොමු කරවලා දවා ගන්න. සමහර වෙලාවට අපේ ඒකාග්‍රතාව බිඳ දාන්න ඔවුන් නොයෙකුත් උපක්‍රම භාවිතා කරනවා. අපේ සීමාව පැන්න ගමන් අපිත් කරන්නේ පන්දු යවන්නන්ට එළවා එළවා පහර දෙන්න යනවා. හැම පන්දුවට ම ගහන්න යනවා. වයස සහ පලපුරුද්ද එක්ක මේ ආවේග ගතිය මග හැරිලා යනවා. අපිත් උත්සාහ කරන්නේ පුළුවන් තරම් තැන්පත් වෙලා දිගු ඉනිම් ක්‍රීඩා කරන්න. ඒ හැම දෙයක්ම රඳා පවතින්නේ අපේ පලපුරුද්ද එක්ක තමයි.

ඔබ ජාතික කණ්ඩායමට නැවත එන්නේ කාලයකට පස්සේ?

ඔව්. දැන් වයස අවුරුදු 28 යි. ඊට කලින් අවුරුදු 23දී තමයි ජාතික කණ්ඩායමට ආවේ. ඊට පස්සේ තමයි ආයෙත් ජාතික කණ්ඩායමට ආවේ.

මගේ හදා ගන්න ඕනෑ තැන් කිහිපයක්ම තිබ්බා. ඒවා හදාගෙන තමයි නැවත ජාතික කණ්ඩායමට ආවේ. ඒ අතර පුහුණුකරුවන් කිහිප දෙනෙකුම හම්බ වුණා. ඔවුන් ගෙන් ලබා ගත් අත්දැකීම් එක්ක තමයි ඒ අඩු පාඩු හදාගෙන ඉදිරියට ආවේ. ඒ වගේම මම තනියෙන් මහන්සි වෙලා මගේ අඩු පාඩු හදා ගන්නත් උත්සාහ කළා. තාක්ෂණික පැත්තෙන් හදා ගන්න ඕනෑ දේවල් වෘත්තීය පුහුණුකරුවන් නැතුව ගොඩ දා ගන්න අමාරුයි.

ක්‍රීඩාංගණයට යන කොට මොනවා ගැන ද වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ?

ලකුණු ගන්න ඕනෑ විදිය ගැන තමයි මූලිකවම අවධානය යොමු කරන්නේ. ඒ ගැන තමයි වැඩියෙන් ම හිතන්නේ?

මම නායකයා විදියට කාසියේ වාසිය දිනා ගත්තොත් මුලින්ම පන්දුවට පහර දෙනවා. මම හුඟක් කැමැති ලොකු ලකුණු ගණනක් ලකුණු සටහනට එකතු කරලා ප්‍රතිවාදීන් ට පීඩනයක් දාන්න තමයි බලන්නේ. අපි කවුරුත් පරදින්න කැමැති නෑ. නිකම් විකට් එක දෙන්න කැමැති නෑ. තරග දිනන්න වගේම හැම වෙලාවෙම වැඩි ලකුණු ගණන්වලට යන්න තමයි බලන්නේ.

පන්දු යවන්නන් අතරින් ඔබට හමු වූ විශිෂ්ට ම ප්‍රතිවාදියා කවුද?

ධම්මික ප්‍රසාද්. ධම්මික රතු පන්දුවෙන් විශිෂ්ට විදියට පන්දු යවනවා. හැම වෙළාවේම හොඳ දෝලනයක්, වේගයක්, ඉලිප්විමක් තියා ගන්නවා.

ධම්මික ප්‍රසාද් එක්ක ක්‍රීඩා කරද්දි ඔබේ ඔළුව කොහොමද වැඩ කරන්නේ?

ක්‍රිකට් ක්‍රීඩාවේ දී පිතිකරුවකු තමයි දැවී යන්නේ. පන්දු යවන්නන්ට ඕනෑ තරම් අවස්ථා තියෙනවා පිතිකරුවන්ට ඒ අවස්ථා අඩුයි. හැබැයි මේ දේ මම හරියට ඔළුවට දා ගත්තොත් මේ පිත්ත හා පන්දුව අතර තියෙන සටන හරි ගනුදෙනුව හරි මට ඕනෑ විදියට මෙහෙයවන්න පුළුවන් වෙනවා. මම පිතිකරුවකු විදියට හැම වෙලාවේම උත්සාහ කරන්නේ මේ දේ මට ඕනෑ විදියට හසුරුවා ගන්න.

ඔබ හඳුනාගත් ධම්මික ප්‍රසාද්ගේ දුර්වලතා?

මම පිතිකරුවකු විදියට හැම වෙලාවෙම උත්සාහ කරන්නේ හොඳම පන්දු යවන්නාට ධම්මිකට වුණත් හොඳ පීඩනයක් එල්ල කරන්න තමයි එතැනදී ඔළුව කෙළින් කර ගෙන පන්දුවට පහර දෙන එක හරිම වැදගත්.

ඔබ ක්‍රීඩා පිටියට යන්නේ ඔළුව හිස් කර ගෙනද පුරවගෙනද?

ඔළුව හිස් කරගෙන තමයි ක්‍රීඩා පිටියට යන්නේ. එළියේ අය කියන දේවල් වැඩිය ඔලුවට ගන්න හොඳ නෑ. ඒවා වැඩිය ඔළුවට දා ගත්තොත් අපට අපේ ගමන යන්න බැරි වෙනවා.

ඔබට ඔබේ පළමු තරගය මතකද?

මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව කටුනායක ක්‍රීඩාංගණයේ. එතකොට ශාන්ත පීතර විද්‍යාලයේ පුහුණුකරු වුණෙත් ජෝර්ජ් විජේසූරිය.

දශක දෙකක් පමණ දිවෙන ඔබේ ක්‍රිකට් ජීවිතයේ මේ කාලය තුළ ඉගෙන ගත්ත ප්‍රගුණ කළ දේවල් එක්ක ඔබට පුළුවන්ද අනවශ්‍ය දේවල් ඔක්කෝම පැත්තකින් තියලා ක්‍රීඩා පිටියට යන්න?

පුළුවන්. අපි හැම තිස්සේම හිතන්නේ එක දෙයයි. ඒ තමයි තරගයකදී ප්‍රතිවාදියා කවුරු වුණත් සටනක් දීලා ඉදිරියට ගිහින් තරගය දිනන එක. අපි ධනාත්මකව ක්‍රීඩා පිටියට යනවා නම් ගැටලු අඩුයි.

ඔබ හඳුනා ගත් චරිත දුර්වලතා මොනවාද?

මගේ අඩු පාඩු ගොඩක් තිබුණා. පසුගිය අවුරුදු දෙකක කාලය ඇතුළත මට පුළුවන් වුණා ඒ අඩුපාඩු හුඟක් මඟ හරවා ගන්න. ඒ මගේ පැත්තෙන් තිබුණා තාක්ෂණික ගැටලු. ඒවා හදා ගෙන තමයි ඉදිරියට ආවේ. මම හිතනවා හුඟක් දුරට ඒවා සාර්ථකයි කියලා.

ඔබට ඔබ ගැන අද මොනවද හිතෙන්නේ?

හුඟක් සතුටුයි. මේ ගමන හරිම අමාරුවෙන් ආවේ. කටු කන්න වුණු අවස්ථාවල කට්ට කෑවා. එහෙම අමාරුවෙන් ආපු නිසා මේ ගැන හැරිලා බලන කොට ගොඩක් සතුටුයි.

ක්‍රීඩාංගණයක් කියන්නේ මැටි ගොඩක්. පිත්ත සහ පන්දුව අතර තමයි සටන තියෙන්නේ. පන්දුව ජය ගන්න වෙලාවට පිත්ත පරාදයි. පිත්ත ජය ගන්න වෙලාවට පන්දුව පරාදයි.මේ හැම දෙයකින්ම ඔබ ජීවිතයට එකතු කර ගන්න ලොකුම පාඩම මොකක්ද?

මේ මැටි ගොඩෙන්ම තමයි අපේ ජීවිතය - අනාගතය - ඉරණම කියන හැම දෙයක්ම තීරණය වෙන්නේ. මේ අපි මැටි ගොඩක් එක්ක හැප්පිගෙන යන ගමනක් තමයි. එක පැත්තකින් සුන්දරයි. තව පැත්තකින් අසුන්දර වෙන්නත් පුළුවනි.

ඔබේ පවුලේ අය ක්‍රීඩාවට සම්බන්ධ ද?

නෑ. මල්ලි ඉගෙනීම පැත්තට යොමු වෙලා ඉන්නේ. තාත්තා නලින් පෙරේරා 1986 ශාන්ත ජෝශප් විද්‍යාලීය රග්බි කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කරලා තියෙනවා. අම්මා මංජුලා පෙරේරා. මල්ලි ඩෙනම් පෙරේරා. මම විවාහකයි. බිරිය රවින්දි. එයා වෛද්‍ය ශිෂ්‍යාවක්. මේ ගමන පිටි පස්සේ ගොඩක් අය හිටියා.

ඡායාරූප - සචිත්‍ර සුභාෂණ

අදහස්