ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ‍සොඳුරු මතක | සිළුමිණ

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ‍සොඳුරු මතක

විලියම් ජේ. මෝගන් 1895 දී ඇමරිකාවේදී හඳුන්වා දුන් වොලිබෝලය 1916 දී ශ්‍රී ලංකාවට ආගමනය විය. ඒ එවකට කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි වෝල්ටර් ජේ. කැමැක්ගේ මඟ පෙන්වීම යටතේය. 1951 සැප්තැම්බර් මස 4 වන දින ලංකා වොලි‍බෝල් සම්මේලනය පිහිටුවීමත් සමඟ ක්‍රීඩාවක් වශයෙන් නිල පිළිගැනීම වොලිබෝලයට හිමි විය. ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රථම විධායක කමිටුව නිලධාරින් 21 දෙනෙකුගෙන් සමන්විත විය. ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ ප්‍රථම සභාපතිවරයා වූ අතර එස්. රාජදොරේ සහ පී.සී. ආනන්දඅප්පා සම ලේකම්වරුන් වශයෙන්ද ලයනල් සරවනමුත්තු භාණ්ඩාගාරික ලෙසද පත් විය. ලංකා වොලිබෝල් සම්මේලනය ඇරඹීමත් සමඟ දිවයින තුළ වොලිබෝල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම සඳහා තරගමාලා, පුහුණු වැඩසටහන්, විදේශ කණ්ඩායම් දිවයිනට ගෙන්වා ගැනීම සහ ජාතික කණ්ඩායම් විදේශ තරග මාලා සඳහා සහභාගි කරවීම වැනි විශේෂිත කාර්යයන් සමූහයක් ලංකා වොලිබෝල් සම්මේලනයේ උපදේශකත්වයෙන් ආරම්භ විය.

අදට 67 වසරක් සපිරෙන ජාතික වොලිබෝල් තරග මාලාව ප්‍රථම වරට ආරම්භ වූයේ 1951 වර්ෂයේදීය. ඒ අන්තර් සමාජීය වොලිබෝල් ශූරතාව නමිනි. 1951 ප්‍රථම ජාතික පිරිමි වොලිබෝල් ශූරතාව දිනා ගනු ලැබුවේ ගම්පහ සෙන්ට්‍රල් කණ්ඩායමයි. 50 දශකය තුළ 1957 - 58 - 59 ත්‍රිත්වයන් සමඟ ටී.ඩී.එල්. චාල්ස් ගේ නායකත්වයෙන් පස්වරක් ජාතික ශූරතාවට හිමිකම් කීමට ගම්පහ සෙන්ට්‍රල් කණ්ඩායමට හැකි විය. 1952 දී එච්.පී. සිරිවර්ධන නායකත්වයෙන් කොළඹ සෙන්ට්‍රල් කණ්ඩායමත් 1953 දී ජැක්සන් සේනාරත්නගේ නායකත්වයෙන් තුඩැල්ල සෙන්ට්‍රල් කණ්ඩායමත් 1954 දී පී. වීරසිංහගේ නායකත්වයෙන් මීරිගම සෙන්ට්‍රල් කණ්ඩායමත් 1956 වර්ෂයේදී බතෝ දෙමටගොඩගේ නායකත්වයෙන් කැලණි වැලි බොස්කෝ කණ්ඩායමත් ජාතික ශූරතාවට හිමිකම් කීය.

අන්තර් දිස්ත්‍රික් වොලි‍බෝල් තරග මාලාව ආරම්භ වූයේ 1952 වර්ෂයේදී ය. 1952 වර්ෂයේදී එච්.පී. සිරිවර්ධන නායකත්වයෙන් කොළඹ අන්තර් දිස්ත්‍රික් ශූරතාව දිනා ගත් අතර බතෝ දෙමටගොඩගේ නායකත්වයෙන්1953 - 54 - 55 වර්ෂයන් හී පිට පිටම තෙවරක් දිස්ත්‍රික් ශූරතාව දිනා ගනු ලැබුවේ කැළණි වැලි කණ්ඩායම විසිනි. 1956 - 57 වර්ෂ වලදී ටී.ඩී.එල්. චාල්ස්ගේ නායකත්වයෙන් ගම්පහ ද එම්. බණ්ඩාරගේ නායකත්වයෙන් 1958 වර්ෂයේදී කොළඹද එස්. කාදිරගාමලිංගම් ගේ නායකත්වයෙන් 1958 දී ගල්ඔය කණ්ඩායම ද 50 දශකයේ අන්තර් දිස්ත්‍රික් වොලිබෝල් ශූරතාව දිනා ගත් කණ්ඩායම වෙයි.

1957 වර්ෂයේ දී ආරම්භ වූ ජාතික කාන්තා ශූරතාව දිනා ගනු ලැබුවේ ග්‍රේස් ගජසිංහගේ නායකත්වයෙන් හංවැල්ල ‍ජෝන් බොස්කෝ විදුහලයි. 1958 - 59 වර්ෂයන් හී ද ‍ජෝන් බොස්කෝ විදුහල ග්‍රේස්ගේ නායකත්වයෙන් ජාතික කාන්තා ශූරතාව දිනා ගනු ලැබීය.

1952 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද ලංකාදීප කුසලානය සඳහා වූ අන්තර් පාඨශාලීය පිරිමි ශූරතාව දිනා ගනු ලැබුවේ චෙල්ලයියා පද්මනාදන්ගේ නායකත්වයෙන් තරග කළ වැල්වැටිතුරේ විදම්බරම් මහා විද්‍යාලය විසිනි. 1953 වර්ෂයේදී ජෝ රූපසිංහගේ සහ 1954 වර්ෂයේදී එල්.ඒ.ඩී. ප්‍රේමරත්නයන්ගේ නායකත්වයෙන් හංවැල්ල ජෝන් බොස්කෝ විද්‍යාලය විසින් ලංකාදීප කුසලාය දිනාගනු ලැබීය. 1955 දී එල්.ඩී.ඒ. ගුණවර්ධනගේ නායකත්වයෙන් සහ 1956 - 57 වර්ෂවලදී ඩබ්.එල්. සිරිවර්ධනගේ නායකත්වයෙන් ලංකාදීප කුසලානය ගම්පහට රැගෙන ඒමට ගම්පහ ලෝරන්ස් විදුහල සමත්විය. 1958 - 59 වර්ෂ දෙකේදීම ලංකාදීප කුසලානයට හිමිකම් කීවේ යූ.එල්. කරුණාරත්නයන් නායකත්වය ලබා දුන් මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයයි.

මෙම තරග මාලාවන්ට අමතරව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ද ජ්‍යෙෂ්ඨ පිරිමි තරග මාලාවක් 1952 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර එහි ප්‍රථම ජයග්‍රාහකයන් වූයේ යාපනය විග්නේෂ්වරම් විද්‍යාලයයි. 1953 දී හංවැල්ල ජෝන් බොස්කෝ විදුහලත් 1954 දී දෙවිනුවර කනිෂ්ඨ විදුහලත් 1955 දී දෙනියාය මධ්‍ය මහා විදුහලත් 1956 දී මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයත් 1957 දී හංවැල්ල ජෝන් බොස්කෝ විදුහලත් 1958 දී ගම්පහ බෞද්ධ පිරිමි විද්‍යාලයත් අධ්‍යාපන අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට හිමිකම් කී පාසල් වේ.

1954 වර්ෂයේදී ප්‍රථම වරට විදේශීය වොලිබෝල් කණ්ඩායමක් ලංකාවට පැමිණීමත් සමඟ ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්දැකීම් රාශියක් ලබා ගැනීමට හැකි විය. ඒ 1954 වර්ෂයේදී දිවයිනට පැමිණි මදුරාසි වෛද්‍ය විද්‍යාල කණ්ඩායමේ ලංකා සවාරිය නිසාවෙනි. 1955 වර්ෂයේදී ඉන්දීය උත්තර ප්‍රදේශ් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ලංකාවට පැමිණීම ලංකා වොලිබෝල් ඉතිහාසයේ වැදගත් කඩඉමක් සේ සැලකේ. එවකට ජෝන් බොස්කෝ විදුහලේ සිසුවියකු වූ ග්‍රේස් ගජසිංහගේ නායකත්වයෙන් ප්‍රථම ලංකා කාන්තා කණ්ඩායමට ඩබ්. කරුණාවතී, ෆිලිෂියා සිරිවර්ධන, කේ සෝමාවති, පුෂ්පා සිරිවර්ධන, බී සෝමාවති සහ පර්ලි චන්ද්‍රලතා යන ක්‍රීඩිකාවෝ ඇතුළත් වූහ. ඉන්දීය කණ්ඩායම හා පැවති තරග වලින් පරාජයට පත් වුවද ලංකාවේ කාන්තා වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා මෙම ටෙස්ට් තරග මාලාව ලංකා ක්‍රීඩිකාවන්ට අත්දැකීම් සමුදායක් ලබා දීමට සමත් විය.

පී. විරසිංහ (මීරිගම), ඩබ්. විජේසූරිය (ත්‍රි’මලය) සහ ටී.ඩී.එල්. චාල්ස් (ගම්පහ) යන ක්‍රීඩකයන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් තුනක් ලංකා වොලිබෝල් සම්මේලනය විසින් මෙම ඉන්දු ලංකා ද්විත්ව තරග මාලාව සඳහා නම් කරන ලදි. උප නායකයන් ලෙස එල්.ඒ.ඩී. ප්‍රේමරත්න, ජෝ රූපසිංහ සහ පී. බස්නායක යන ක්‍රීඩකයන් තෝරාගෙන තිබුණි. කේ.එස්. අබේවික්‍රම, එල්.ඒ.ඩී. ප්‍රේමරත්න, ඩබ්. සිරිවර්ධන, ගුණපාල සිල්වා, ඩබ්.පී. විමලදාස, ජැක්සන් සේනාරත්න, එස්. ප්‍රනාන්දු, ජේ.පී. සූරියම්පෙරුම, ටී.එස්. පතිරණ, එම්.එස්.බී. රත්නායක, කේ. ගුණරත්න, ජෝ රූපසිංහ, තිලක් එදිරිසිංහ, එම් ජයවර්ධන, කේ.ඩී. පීටර්, එස්.මේ. සහප්දීන්, ජෝ පෙරේරා, බී.එච්. ජයසේකර, පී. බස්නායක, ඩබ්.පී. ජයවීර, පී.කේ. කරුණාරත්න, එල්.එස්. ගුණවර්ධන සහ එල්.ඩී. සිරිමාන්න මෙම කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන් වූහ. ජොගින් දාර් සිංහ ඉන්දීය පිරිමි නායකත්වය දැරූ අතර රේණු ෂිම්ලා ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායකත්වය දැරුවාය. මෙම ඉන්දු ලංකා තරග මාලාවේ සිදුවූ විශේෂ සිද්ධිය නම් තෙවන තරගය සඳහා ලංකා කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබූ පී. වීරසිංහ හදිසියේ අසනීප වීම නිසා එවකට හංවැල්ල ජෝන් බොස්කෝ විදුහලේ පාසල් සිසුවෙකුව සිටි එල්.ඒ.ඩී. ප්‍රේමරත්න විසින් ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමයි. මෙම සිදුවීම එදා මෙදා තුර පාසල සිසුවෙකු ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමට නායකත්වය ලබා දුන් අවස්ථාවක් මේ දක්වා උදා වී නොමැත. එල්.ඒ.ඩී. එදා ඉන්දියාවට එරෙහිව ලංකා කණ්ඩායම මෙහෙයවමින් ලකුණු 9 - 15, 15 - 11, 15 - 11 සහ 5 - 15 වශයෙන් (තරගයේ 5 වන වටය අයහපත් කාලගුණික තත්වය මත නොපැවැත්විණි.) එම තරගය ජය පරාජයකින් ‍තොරව අවසන් කරමින් ලංකාවට කීර්තියක් ගෙන දුන්නේ එයට පෙර පැවති අනිකුත් තරග දෙකම ඉන්දියාව හමුවේ පරාජය වී තිබූ මොහොතකය.

ලංකා වොලිබෝල් කණ්ඩායමක් විදේශීය සංචාරයක යෙදුණු ප්‍රථම අවස්ථාව උදා වන්නේද මෙම 50 - 60 දශකය තුළදීය. ඒ 1955 අගෝස්තු මස 28 දින සිට සැප්තැම්බර් 8 වන දින දක්වා මදුරාසියේ සංචාරය කළ ටී.ඩී.එල්. චාල්ස්ගේ නායකත්වයෙන් යුත් ගම්පහ සෙන්ට්‍රල් කණ්ඩායමයි. ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රථම විදේශීය සංචාරය වන්නේ 1956 වර්ෂයේදී ටී.ඩී.එල්. චාල්ස් ගේ නායකත්වයෙන් ඉන්දීය උත්තර ප්‍රදේශයේ කළ සංචාරයයි. පී. වීරසිංහ, එල්.ඩී.ඒ. ගුණවර්ධන, ජෝ. රූපසිංහ, පී.කේ. කරුණාරත්න, ඩබ්. විජේසූරිය, එල්.ඒ.ඩී. ප්‍රේමරත්න, ඩබ්.එල්. සිරිවර්ධන සහ ආර්.එස්.බී. රත්නායක එම ‍ඓතිහාසික කණ්ඩායම නියෝජනය කළහ.

ලංකා වොලිබෝල් ඉතිහාසයේ සටහන්ව ඇති තවත් විශේෂ කඩඉමක් වන්නේ 1959 අප්‍රේල් 16 සිට 19 දක්වා පාකිස්තානයේ කරච්චි නුවර පැවති මොහොමඩ් අලිජින්නා අනුස්මරණ රන් කුසලාන තරග මාලාවයි. ටී.ඩී.එල්. චාල්ස්ගේ නායකත්වයෙන් ඒ සඳහා සහභාගී වූ ලංකා කණ්ඩායමට ඩබ්.එල්. සිරිවර්ධන, බී.එච්. ජයසේකර, සී.පී. අත්තනායක, ලැනි ජයකොඩි, ජැක්සන් සේනාරත්න, එස්. කදිරගාමලිංගම් සහ ගාමිණි සමරසිංහ යන ක්‍රීඩකයන් අයත් විය. විශේෂ ජයග්‍රහණයක් අත් කර ගැනීමට නොහැකි වුවද “ලංකා කණ්ඩායමේ ඩබ්.එල්. සිරිවර්ධන අග්නිදිග ආසියාවේ දක්ෂතම ප්‍රහාරකයා සම්මානය දිනා ගනිමින් මෙම තරග මාලාවේදී ලංකාවට ලබා දුන් ගෞරවය හා කීර්තිය අදටත් සදා මතකයේ රැ‍ඳෙන ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ විශිෂ්ටම කඩ ඉමක් සේ සටහන්ව ඇත.” ඩී. රාජදොරේ කළමනාකරු වශයෙන් ද, ඩග්ලස් අලහකෝන් පුහුණුකරු වශයෙන් ද මෙම සංචාරයේදී ලංකා කණ්ඩායමට ඇතුළත් වූහ.

1959 වර්ෂයේ ඔක්තෝබර් මස 05 දින සිට 20 වන දින දක්වා නැවත වරක් සමස්ත ඉන්දීය පිරිමි හා කාන්තා කණ්ඩායම් ටෙස්ට් තරග මාලාවක් සඳහා ලංකාවට පැමිණි අතර කොළඹ, බදුල්ල, බළන්ගොඩ, මීරිගම, බලපිටිය, යාපනය, පේදුරුතුඩුව, ත්‍රී’මලය, ගල්ඔය, මඩකලපුව, තුඩැල්ල සහ මිනුවන්ගොඩ යන නගර වලදී මෙම ඉන්දු ලංකා පිරිමි කාන්තා තරග පවත්වන ලදි. බද්දේගම ක්‍රිස්තු‍ෙද්ව විදුහලේ අශෝකා විජේතුංග ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර මාලනි වල්ලිඅප්පා, පී.එල්. පියවති, සීතා සහ සුනේත්‍රා කුලතුංග සොයුරියන් ෆිලිෂියා සහ පුෂ්පා සිරිවර්ධන සොයුරියන් බියට්‍රිස් චන්ද්‍රලතා, ශ්‍රීමාලි අබේරත්න, කේ.එම්. මංගලිකා සහ කමලා නාගොඩවිතාන ලංකා කාන්තා කණ්ඩායමත් නියෝජනය කළහ.

ටී.ඩී.එල්. චාල්ස් සහ ලැනී ජයකොඩි නායකත්වය ලබා දුන් ලංකා පිරිමි කණ්ඩායම්වලට එල්.පී. සූරියප්පෙරුම, තිලක් එදිරිසිංහ, ඩබ්.එල්. සිරිවර්ධන, ටී.වයි. මාරසිංහ, බී.එල්. ජයසේකර, එම්. සිවරත්නම්, ජැක්සන් සේනාරත්න, සී.පී. අත්තනායක, එස්. කදිරගාමලිංගම්, එම්. රාජපක්ෂ, එස්.ඒ. තිලකරත්න, එල්.ඒ.ඩී. ප්‍රේමරත්න, ආර්.ඒ. රත්නායක, යූ.එල්. කරුණාරත්න, ආර්.බී. හේරත් සහ කැම්ලස් ඇන්තනි ඇතුළත් වූහ. ලංකා වොලිබෝල් සම්මේලනය මඟින් ප්‍රථම වරට තෝරා ගන්නා ලද මෙම ඓතිහාසික වොලිබෝල් කණ්ඩායම් සඳහා පාසල් ශිෂ්‍යයන් ද ඇතුළත්ව සිටීම විශේෂ සිද්ධියක් විය. එදා මෙදා තුර කිසිදු පාසල් ක්‍රීඩකයකු ජාතික කණ්ඩායමක් සඳහා‍ ඇතුළත් නොවූ අතර එය අදටත් වොලිබෝල් ඉතිහාසයේ නොබැඳුණු වාර්තාවක් වශයෙන් සටහන්ව ඇත. හංවැල්ල ජෝන් බොස්කෝ විදුහලේ එල්.ඒ.ඩී. ප්‍රේමරත්න සහ පී.කේ. කරුණාරත්න ගම්පහ ලෝරන්ස් විදුහලේ ඩබ්.එල්. සිරිවර්ධන දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ ටී.එස්. පතිරණ සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ එල්.පී. සූරියප්පෙරුම ජාතික කණ්ඩායම සඳහා තෝරා ගැණුනු පාසල් ශිෂ්‍යයෝ වූහ.

ලංකා වොලිබෝල් ක්ෂේත්‍රයට තාක්ෂණික වශයෙන් නැවුම් අත්දැකීම් රාශියක් ලබා දුන් මෙම සමස්ත ඉන්දීය කණ්ඩායම්වල ලංකා සංචාරය පිළිබඳ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වොලිබෝල් විනිසුරු හා පරිපාලකයා වූ විල්සන් පරනගම සඳහන් කරන්නේ ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යය වශයෙන් මෙම 1956 ඉන්දීය වොලිබෝල් කණ්ඩායම්වල ලංකා සංචාරය ඉතිහාසයට එක්වන බවයි. බී.ජේ. බාවා ඉන්දීය පිරිමි කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා වූ මිල්කා සිංගේ ආදරණීය සහකාරිය නිර්මාල් ෂයිනි ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායකත්වය දැරුවාය.

ඉතිරි කොටස ලබන සතියේ...

Comments