තර්ස්ටන් - ඉසිපතන 56 වැනි සහෝදරත්වයේ හටන | සිළුමිණ

තර්ස්ටන් - ඉසිපතන 56 වැනි සහෝදරත්වයේ හටන

මෙරට පාසල් ක්‍රිකට් වසන්තය ආරම්භ කරමින් 56 වැනි සහෝදරත්වයේ සටන සිංහල සමාජ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි 23 - 24 දෙදින පැවැත්වෙයි. බ්ලැකම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් තරග වදින සහෝදරත්වයේ ඉසිපතන විද්‍යාලය මධුසික සඳරුවන්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන අතර සහෝදරත්වයේ තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම පිටියට පිවිසෙන්නේ සඳරූ ඩයස්ගේ නායකත්වයෙන්ය.

තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම මේ වනවිට පස්වතාවක් සහෝදරත්වයේ සටන ජයගෙන ඇති අතර ඉසිපතන විද්‍යාලය සිවිවතාවක් සහෝදරත්වයේ සටන ජයගෙන ඇත. අවසන් වරට 1999දි ක්‍රිෂාන්ත ජයවර්ධනගේ නායකත්වයෙන් ඉසිපතන විද්‍යාලය සහෝදරත්වයේ සටන ජයගෙන ඇති අතර අවසන් වරට තර්ස්ටන් විද්‍යාලය ජයගෙන ඇත්තේ 1992 වසරේදීය. ඒ මැකෙන්සි පෙරේරාගේ නායකත්වයෙනි.

මධුසික සඳරුවන් පස්වැනි වසර වර්ණ ලාභියෙකු වන අතර වමතින් පා දඟ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායම නියෝජනය කරමින් මෙහෙයවයි. වමතින් පන්දුවට පහරදෙන පිතිකරුවෙකු ලෙස ද කටයුතු කරන මධුසික පසුගිය පළමු පෙළ ක්‍රිකට් තරග කාර්තුවේදී වැඩිම කඩුලු ලාභියා ලෙස කැපිපෙනෙන දක්ෂතා පෙන්නුම් කර ඇති අති මහත් අත්දැකීම් සමුදායකට හිමිකම් කියන මධුසිකට තම කණ්ඩායම සමග සහෝදරත්වයේ සටනේ ජය ඉසිපතනය වෙත රැගෙන යා හැකි වෙයි ද?

දකුණත් පිතිකරුවෙකු හා වමත් දඟ පන්දු යවන්නෙකු වන සඳරූ ඩයස් සිව්වසරක තරග අත්දැකීම් මත තර්ස්ටන් විද්‍යාල කණ්ඩායමේ නායකත්වයට පැමිණි ක්‍රීඩකයෙකි. පසුගිය පාසල් පළමු පෙළ තරග කාර්තුවේදී කඩුලු 50ක් දවාගෙන ඇති සඳරූ 2018 වසරේ පාසල් තරගවාරයේදී ඉනිමකදී කඩුලු 5ක් ලබාගත් අවස්ථා 3ක් තම නම ඉදිරියේ සටහන් කර ගෙන ඇති දක්ෂ පන්දු යවන්නෙකි. තරග 14කදී ඉනිම 11කදී මුළු ලකුණු 116ක් රැස්කරගැනීමට සඳරු සමත්ව සිටී. 1992න් පසු ජයග්‍රහණයේ කුසලානය තර්ස්ටන් විද්‍යාලය වෙත රැගෙනයා හැකි වේද?

සඳරුවන් - සඳරූ සටනට නැතිනම් 56 වැනි සහෝදරත්වයේ සටන කෙසේ වෙයිද? පෙර නිමිති කීමට කල්වේලා වැඩිය. දක්ෂයන් හා අති දක්ෂයන් එකට තරග කොට නියම සහෝදරත්වය ප්‍රකට කල යුතුය. ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාංග මෙන්ම මනුෂ්‍යත්වයේ ගුණාංගත් මහා තරගයකදී රැකගත යුතුය.

ඉසිපතන කණ්ඩාවයමේ උප නායකයා ෙලස කටයුතු කරන්නේ ලීශාන් අමරසිංහයි. සිව්වැනි වසර වර්ණ ලාභියෙකු වන ලීශාන් දකුණතින් පන්දුවට පහරදෙන ඉසිපතන විද්‍යාලයේ ආරම්භක පිතිකරුවා වන අතර ඉසිපතන කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසද ක්‍රියා කරයි.

තුන්වන වසර නියෝජනය කරමින් තර්ස්ටන් කණ්ඩායමේ උපනායකත්වය උසුලන අයේෂ් හර්ෂන වමතින් පන්දුවට පහරදෙන වමතින් දඟ පන්දු යවන්නෙකි. පසුගිය තරග කාර්තුවේදී තරග 14කට සහභාගී වි ඉනිම 13කදී ලකුණු 134 ක් ලබාගෙන ඇති අතර සාමාන්‍ය 19.14ක් වාර්තා කිරීමට සමත්ව සිටි.

තුන්වන වසරේ වර්ණලාභියෙකු වන කාලික් ආමත් ඉසිපතන කණ්ඩායම නියෝජනය කරන්නේ දකුණතින් වේග පන්දු යවන්නෙකු ලෙසය. දකුණතින් පන්දුවට පහර දෙන ආමත් පිතිකරුවෙකු ලෙසද කැපිපෙනෙන දක්ෂතාවයන් ප්‍රදර්ශණය කළ ක්‍රීඩකයෙකි.

දිනත් දිසානායක වමතින් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන අතර දකුණතින් පන්දුවට පහරදෙන පිතිකරුවෙකුද වෙයි. තුන්වන වසර වර්ණලාභියෙකු ලෙස ඉසිපතන කණ්ඩායම නියෝජනය කරයි.

තෙවිඳු දික්වැල්ල තුන්වන වසර වර්ණ ලාභියෙකු වන අතර ඉසිපතන කණ්ඩායම නියෝජනය කරන්නේ වමතින් පන්දුවට පහරදෙන ආරම්භක පිතිකරුවෙකු ලෙසයි.

වමතින් පන්දුවට පහරදෙන මැදපෙල පිතිකරුවෙක් ලෙස ඉසිපතන කණ්ඩායම නියෝජනය කරන අශේන් ගුණවර්ධන දෙවන වසර වර්ණ ලාභියෙකු වෙයි.

අශේන් ප්‍රනාන්දු දකුණතින් පන්දුවට පහරදෙන මැදපෙළ පිතිකරුවෙකු වන අතර දකුණතින් පැ දඟ පන්දු යවන්නෙකුද වෙයි. දෙවන වසර වර්ණලාභියෙකු ලෙස ඉසිපතන කණ්ඩායම නියෝජනය කරයි.

සවිඳු වික්‍රමසිංහ වමතින් පාදග පන්දු යවන්නෙකු ලෙස ඉසිපතන කණ්ඩායම නියෝජනය කරන අතර වමතින් පන්දුවට පහරදෙන්නෙකු ලෙස කණ්ඩායම නියෝජනය කරයි. ඔහු දෙවන වසර වර්ණලාභියකු ලෙස කටයුතු කරයි.

කඩුලු රකින්නා ලෙස කටයුතු කරන සවින් ධම්මලගේ ඉසිපතන කණ්ඩායම නියෝජනය කරන අතර දකුණතින් පන්දුවට පහරදෙන මැදපෙළ පිතිකරුවෙකුද වෙයි.

රවිඳු රත්නායක වමතින් පන්දුවට පහරදෙන මැදපෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන පළමු වසර ක්‍රීඩකයෙකි. මේ වසරේ තරග කාර්තුවේ වැඩිම ලකුණුලාභියා වන්නේද රවිඳු රත්නායකයි.

චලන සිල්වා වමත් පිතිකරුවෙකු වන අතර වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩකයෙකී.

ලෝමිත රවින්දිද දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකු වන අතර දකුණතින් පන්දුවට පහරදෙන්නෙකු ලෙසද කටයුතු කරයි.

මන්දීප ගුණසේකර ඉසිපතන කණ්ඩායම නියෝජනය කරන්නේ දකුණතින් පන්දුවට පහරදෙන ආරම්භක පිතිකරුවෙකු ලෙසය.

අමාන් තාහා වමත් පිතිකරුවෙකු ලෙස හා දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකු ලෙස ඉසිපතනය නියෝජනය කරයි.

යසිරු කස්තුරිආරච්චි දකුණතින් වේග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරන අතර දකුණතින් පන්දුවට පහරදෙයි.

ඉසුරු සඳමාල් ඉසිපතන කණ්ඩායම නියෝජනය කරන්නේ දකුණතින් පන්දුවට පහරදෙන ආරම්භක පිතිකරුවෙකු ලෙසය. අතිරේක කඩුලු රකින්නාද වෙයි.

ඉසිපතන කණ්ඩායම ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන් විත වන අතර පුහුණු කරු ලෙස සුරංග විජේනායක කටයුතු කරන අතර ක්‍රිකට් භාර ආචාර්ය වරයා වන්නේ ඊ.එම්.එස්.ආර්. ද සේරම් මහතායි.

තුන්වන වසරේ වර්ණ ලාභියෙකු වන ජයවිහාන් මහාවිතාන තර්ස්ටන් විද්‍යාලයේ ආරම්භක පිතිකරු වෙයි. දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකු වන ජයවිහාන් පසුගිය වසරේ සහෝදරත්ව සටනේදී තරගයේ විරයා කුසලානය දිනාගත් ක්‍රීඩකයාය. තරග 12කට සහභාගී වි ඇති ජවිහාන් ඉනිම 17කදී මුළු ලකුණු 395ක් රැස්කිරීමට සමත්ව සිටින ක්‍රීඩකයෙකී.

බිමර රණතුංගද තුන්වන වසරේ වර්ණලාභියෙකු වන අතර වමතින් පන්දුවට පහර දෙන හා වමතින් පා දඟ පන්දු යවන්නෙකි. දෙවන වසරේ වර්ණලාභියෙකු වන නිමේෂ් පෙරේරා වේගවත් පිතිකරුවෙකු ලෙස විරුදාවලිය ලත් ක්‍රීඩකයෙකී. පසුගිය කාර්තුවේදී තරග 11කදී ඉනිම 15කදී මුළු ලකුණු 196ක් රැස්කරගෙන සිටින නිමේෂ්ගේ සාමාන්‍යය 14.0කි.

යෝහාන් ලියනගේ 56 වැනි මහා තරගයට සහභාගී වෙන්නේ දෙවන වසර වර්ණ ලාභියෙකු ලෙසය. වමතින් පන්දුවට පහරදෙන යෝහාන් දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකි. යෝහාන් මෙන්ම රෂ්මික හිරිපිටියද දෙවන වසර වර්ණ ලාභියෙකි. දකුණතින් පන්දුවට පහරදෙන රෂ්මික දක්ෂ පන්දු රකින්නෙකු ලෙස පිටිය වර්ණවත් කරන ක්‍රීඩකයෙකු වෙයි.

ශාලක බණ්ඩාර, අවිෂ්ක කෞශල්‍ය හා බවන්ත ජයසිංහ යන ක්‍රීඩකයන් තිදෙනාද දෙවන වසර වර්ණ ලාභීන්ය. ශාලක දකුණත් මැදපෙළ පිතිකරුවෙකු වන අතර අවිෂ්ක වමත් මුල් පෙළ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට දායකත්වය සපයන අතර බවත්ද දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට තම දායකත්වය සපයයි.

රනේෂ් සිල්වා, සනුත් මනුතුංග,දසුන් ජයවර්ධන , උදිත් වික්‍රමාරච්චි හා නුලක්ෂ මලිත් පළමු වරට මහා තරගය නියෝජනය කරන ක්‍රීඩකයන් පස්දෙනායි. රනේෂ් කඩුලු රකින්නා ලෙසද දකුණතින් පන්දුවට පහදෙන්නෙකු ලෙසද දසුන් දකුණතින් වේග පන්දු යවන්නෙකු ලෙසද කණ්ඩායම නියෝජනය කරයි.

තර්ස්ටන් විද්‍යාලයේ පුහුණුකරු ලෙස තාමර අබේරත්න කටයුතු කරන අතර ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස ලෙස්ලි හරිශ්චන්ද්‍ර මහතා කටයුතු කරයි.

Comments