මහ කන්නයේ වී ගන්න මිලියන 6100ක් | Page 2 | සිළුමිණ

මහ කන්නයේ වී ගන්න මිලියන 6100ක්

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට රජය රුපියල් දස ලක්ෂ 6100ක් ලබාදීමට සූදානම් වෙයි.

ඒ අනුව ලබන සතියේ සිට අස්වනු නෙළන ප්‍රදේශවල වී මිලදී ගැනීම අරඹන බව වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පාලිත බණ්ඩාර මහතා පවසයි.

මේ යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 37 ගණනේද සම්බා වී කිලෝවක් රුපියල් 41 ගණනේ ද මිලදී ගනී. මෙවර මහ කන්නයේදි වී මෙට්‍රික් ටොන් 150000ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් වී සිටී.

මේ අතර අප්‍රේල් මාසයේදී උත්සව‍ සමය වන විට සම්බා හාල් කිලෝ එකක් රුපියල් 85 ගණනේ ලබාදීමට මෙරට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් එකඟතාව පළකර ඇත.

මෙවර මාස්කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 22ක් රජය මහා පරිමාණ වී‍ මෝල් හිමියන් වෙත ණයක් වශයෙන් ලබාදීමට රාජ්‍ය බැංකු සමඟ කටයුතු කරයි.

ලංකාවේ ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන් සහ කුඩා පරිමාණයේ වී මෝල් හිමියන් සහල් කිලෝව සඳහා අය කරන මිල වී කිලෝ 2 ක මිලට සමාන කිරීමට ද එකඟතාව පළකර ඇත. කෘෂිකර්ම ඇමැති පී‍. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ව්‍යාපාරිකයා මෙන් ම පාරිභෝගිකයා සුරැකීම සඳහා සහල් මිල මෙලෙස පාලනය කිරීමට ඇමැතිවරයා සහ මහා පරිමාණ සහල් නිපැයුම් සමාගම් සාකච්ඡා කර එකඟතාවකට පත්වී තිබේ.

නිහාල් පී. අබේසිංහ

------------------------

2019 මෙරට ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 2232ක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 05 වැනි දින පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණි.

එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසර වෙනුවෙන් වෙන් කර තිබෙන සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4450ක් වේ. ඒ අතරින් රුපියල් බිලියන 2232ක මුදලක් වෙන් කර තිබෙන්නේ 2019 මෙරට ණය සේවාකරණය වෙනුවෙන් වීම විශේෂත්වයකි.

Comments