කුළුබඩු ලොව පුරා ව්‍යාප්ත කරන ජගත් සමුළුවක් කොළඹදී | සිළුමිණ

කුළුබඩු ලොව පුරා ව්‍යාප්ත කරන ජගත් සමුළුවක් කොළඹදී

කුළුබඩු කර්මාන්තය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කිරීමට Chelcey Consulting Private Limited සහ OSL ආයෝජන ක්ෂේත්‍ර සඟරාව ඉදිරිපත්වී සිටී. මේ දෙපාර්ශ්වය එක්ව කුළුබඩු නිෂ්පාදනයේ විප්ලවීය පෙරළියක් සිදු කිරීමේ අරමුණින්, මේ වසරේ ජූලි මාසයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ කුළුබඩු ක්ෂේත්‍රය තුළ වැඩි පිරිසකගේ සහයෝගිතාවෙන් ‘The Global Spice Road Symposium ‍නොඑසේ නම් GSRS 2019 ලෙස මෙම සම්මන්ත්‍රණය නම් කර ඇත. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ, කෘෂි අපනයන දෙපාර්තමේන්තුවේ සහ කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනය නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමයේ සහයෝගය ඇතිව මෙය සංවිධාන කෙරේ. ඒ සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙමින් සාර්ථක සම්මන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට කුළුබඩු කවුන්සිලය ද අත්වැල් බැඳ සිටී. එමඟින් ශ්‍රී ලංකාවට සහ කුළුබඩු නිෂ්පාදකයන්ට කැපී පෙනෙන ප්‍රගතියක් අත්වනු ඇතැයි GSRS 2019 සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා වන අමාත්‍ය දයා ගමගේ මහතාගේ අදහස වී තිබේ. ජාත්‍යන්තර ජයග්‍රහණයක් මෙරටට අත් කර දෙමින් the Global Spice Road Symposium ලේකම් කාර්යාලයේ වැඩසටහන් අධ්‍යක්ෂිකාව විසින් මෙහෙයවනු ලබන මේ සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට ඔහු සියලු සහයෝගය ලබා දෙන අතර සිය උණුසුම් සුබපැතුම් ද එක් කරයි.

ලොව වැඩිම උනන්දුවක් ඇති කළ හුවමාරු වෙළෙඳ ද්‍රව්‍යයක් ලෙස කුළුබඩු ජාත්‍යන්තර වෙළෙඳපොළට එක්වූයේ ශතවර්ෂ ගණනාවකට පෙර සිටය. The Global Spice Road Symposium සම්මන්ත්‍රණය දේශීය නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර කුළුබඩු ප්‍රජාව සමඟ අත්වැල් බැඳගැනීමට කදිම අඩිතාලමක් දමා තිබේ. එහෙත් වර්තමානයේ දේශීය හා ජාත්‍යන්තර වශ‍යෙන් කුළුබඩු නිෂ්පාදන ක්ෂේත්‍රයේ උන්නතියට අවශ්‍ය ප්‍රායෝගික භාවිතයන් සහ නිශ්චිත විසඳුම් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. දින දෙකක සම්මන්ත්‍රණයක් ලෙස මේ ජූලි මාසයේ 10 වැනිදා සිට 13 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවැත්වෙන මෙම වැඩසටහනට නිෂ්පාදකයන් 600 කට පමණ සිය නිෂ්පාදන විදහා දැක්වීමට පහසුකම් ලැබෙන ප්‍රදර්ශනයක් ද ඇතුළත්ය. මෙම ඒකරාශිවීමෙන් සැපයුම්කරුවන් සහ ගැණුම්කරුවන් අතර පුළුල් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

නිෂ්පාදන ගුණාත්මකභාවය, අලෙවියසහ ප්‍රවර්ධනය මෙන්ම ශ්‍රී ලංකාවේ පවතින යටිතල ව්‍යුහය මඟින් ජාත්‍යන්තර අපනයන ඉල්ලුම සපුරාලීමට ඇති හැකියාව කෙරෙහිද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ. මේ වන විට දේශීය කුළුබඩු නිෂ්පාදන වෙළෙඳපොළ පසුබෑමකට මුහුණ පා තිබෙන අතර ඒ සඳහා බලපා ඇති හේතු සාධක හඳුනා ගනිමින් ක්‍රමෝපායයන් නැවත අවබෝධ කර ගනිමින් එය ක්‍රියාවට නැංවිය යුතුව ඇත. The Global Spice Road Symposium සම්මන්ත්‍රණය මෙම පරිවර්තනය සඳහා අවශ්‍ය ශක්තිය ලබාගැනීමට ඉඩ සලසනු ඇත. රටවල් 33 ක් අතර සම්බන්ධතාවය පවත්වා ගනිමින් මෙම සම්මන්ත්‍රණය දිගුකාලීන කුළුබඩු පුනර්ජීවනයකට නිශ්චිත මඟ පෙන්වනු ලැබේ. මෙම සම්මන්ත්‍රණය සැමට කණ්ඩායමක් ලෙස එක්ව කුළුබඩු වෙළෙඳපොළ නැවත යථා තත්වයට පත් කරලීමේ අධිෂ්ඨානශීලී ගමන් මාර්ගයක් බව the Global Spice Road Symposium හී වැඩසටහන් අධ්‍යක්ෂිකා ෆාමිඩා බුලත්සිංහල මහත්මිය සඳහන් කරයි.

අදහස්