රට පටලවන නීල බැම්මේ ගැහැනිය | Page 2 | සිළුමිණ

රට පටලවන නීල බැම්මේ ගැහැනිය

ආණමඩුව මැතිවරණ කොට්ඨාසයට අයත් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සාලියවැව ග්‍රාමයේ නීල බැම්ම යනු නව සංවර්ධන ගම්මානයකි. නීල මහා යෝධයා විසින් මුළු මහත් ප්‍රදේශයම ගොවිතැනින් සශ්‍රීක කිරීම උදෙසා කලාඔය හරස් කොට දැවැන්ත ගල් කුට්ටි එකිනෙක තබා ගල් බැම්මක් බැඳ ජල කඳක් රැස් කරවා ඇළ මං තනවා, දිය බෙදා හැරි ජනප්‍රවාද පුවත අනුව 1977 බලයේ සිටි එ.ජා.ප. රජය විසින් (ජේ.ආර්.ජයවර්ධන, ගාමිණි දිසානායක, අශෝක වඩිගමංගාව, ඩී.බී. විජේතුංග එකතුවෙන්) නීල බැම්ම නව කොන්ක්‍රීට් බැම්ම තනා, “නීල බැම්ම” නමින් කෘෂි පුරවරයක් බිහි කරවන ලදී.

එවැනි අතීත ප්‍රභාවත් සහිත නීල බැම්ම පුරවරය මෑතදී කෙලෙසා දැමුවේ එක්තරා කුරිරු ගැහැනියකි. ඇය යම් මානසික වියරුවෙන් පෙළෙන්නේ දැයි සිතේ. එසේ නොවුණ නම් එවන් බිහිසුණු අපරාධයක් සිදු නොකරුණු ඇත. ඇයගේ ප්‍රකාශ අනුව ඇය විසින් සිදු කොට ඇත්තේ ඇයගේ ම කුසින් මෙලොවට බිහි කළ ඇයගේ ම දියණියට පහර දී මරා දමා අසල කලා ඔයට දැමීමයි.

නීල බැම්ම ප්‍රදේශයේ පදිංචි හිටිහාමි මුදියන්සේලාගේ නයනා කුමාරි (21) නම් වූ මේ මව, තෙනුරි තිසාරා නම් වූ සිය සිවු (04) හැවිරිදි එකම දියණියට පහර දී සිහි විසංඥ වී වැටුණු පසු මිය ගියා යයි සිතා කලාඔය දිය වක්කලමකට දැමූ බවට ඇය විසින් ම සාලියවැව පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පාපෝච්චාරණයක් කළාය.

සැබැවින් ම එය එසේ වූවා ද...? මන්ද. අපට එසේ ප්‍රකාශ කිරීමට සිදුව ඇත්තේ ඒ පිළිබඳව කිසිදු සාක්ෂියක් මෙතුවක් හමු වී නැති නිසාය.

ඇය මුලදීම (04 දින) පොලිසියට, ගමට, හා රටට කියා පෑවේ තම එකම දියණිය කිසිවෙකු විසින් පැහැර ගත් බවය. ඇය අතුරුදන් වී සිටින බවය. ඇය යම් උම්මත්තක ස්වභාවයක් ද පෙන්නුම් කළා ය. මිථ්‍යා මත, දේව විශ්වාස පෙරදැරිව ඇතැම් දේ කියා පෑවාය. ඇය එසේ සිදු කළේ ඒ අපරාධය සඟවාගැනීමට ද? නැති නම් වෙනත් කෙනෙකු සිදු කළ අපරාධයක් වසං කර ගැනුමට ඇයත් අනියම් ලෙස සහාය දැක්වුවා ද? තවම මේ කිසිවක් පැහැදිලි නැත.

ඇයගේ ප්‍රකාශ පරිදි දැන් සතියකට ආසන්න කාලයක් සාලිය වැව පොලිසියට ද නාවික හමුදාව, ආරක්ෂක අංශ ද, ගම්වාසීන් සිය ගණනක පිරිසක් ද, නීල බැම්ම ගමද, අවට කැළෑ ලඳු පෙත් පීරති. කලාඔය නදිය කීප වරක් කිමිදී සොයා බැලුවද තෙනුරි දියණිය හෝ ඇයගේ වැරහැලි ඇඳුම් කැබැල්ලක් හෝ තවමත් ම සොයා ගැනීමට හැකි වී නැත. එක්කෝ මේ කාත්තාව පොලිසිය මුළා කරනවා විය හැකිය. මෙහිදී “ඕනෑම දෙයක්” හෙට දවසේ දී සිදු විය හැකි වාතාවරණයක් මතු වී තිබේ.

සැබැවින්ම දියණිය මිය ගියාද? මරා දැමුවාද ...? ඔයට දැමුවාද...? ඔයේ සිටින කිඹුලන්, කබරයන් ඇයගේ දේහය ගිල දැමුවාද...? ඇය තවමත්ම ජීවතුන් අතර ද...? කිසිවෙකු ඇය පැහැර ගත්තාද? එම අය තවදුරටත් ඇය සඟවා තබාගෙන සිටිනවාද..? ඇය ඉබාග‍ාතේ නන්නත්තාරව විල්පත්තු මහ කැලයේ (කලාඔය එහා ඉවුරෙන් එපිට ඇත්තේ විල්පත්තු මහ ගන වනයයි.) අතරමං වෙලා ද....? එහි වලසෙකුට රුදුරු කොටියෙකුට ඇය ගොදුරු වී ද? මෙවැනි ඕනෑම සැකයකට තවමත් ඉඩ ඇත.

මව පවසන සිද්ධියට අදාළ සාධක, සාක්ෂි තවමත් හමු නොවුණේ ඇයි..?. ඇය පවසන්නේ අසත්‍යයක් ද...?. අසත්‍යයක් නම්, ඇයට එසේ කීමට ඇති වුවමනාව කුමක්ද..?. වසර හතරක් තමා සමඟම ගත කළ දියණිය, තමා කිරි පොවා ලොකු මහත් කොට තැනූ දියණිය එක්වරම ගසා මරා දමා (හෝ නොදමා) ඔයකට විසි කර දැමීමට “මවකට” හැකි ද....?. මනෝභාවය වික්ෂිප්ත වූ විට, විකෘති වූ විට එවන් දෑ සිදු විය හැකි බව මනෝවිද්‍යාත්මක පදනම් සහිතව තේරුම් ගත හැකිය. ඇත්තෙන්ම මේ ජනතාව, පොලිසිය, අධිකරණය හමුවේ මේ සිද්ධිය දැන් පැටලුණු නූල් බෝලයක් සේය. මව දැන් 08 දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. ඇයගේ ප්‍රකාශ මෙකී සිද්ධිය තව දුරටත් කලඹාලයි. පටලවයි. නොමඟ හරියි. නිසි මඟක් නොපෙන්වයි. මන්ද : තවමත් සිද්ධිය තහවුරු කිරීමට ඇවැසි සාක්ෂි හමු වී නැති නිසාය.

සැබැවින්ම ඇය අපරාධකාරියක් ද ...? නැද්ද....? ඇයගේම සාක්ෂි ඇයට එරෙහිව ප්‍රබලව නැඟී සිටියි. කිසිවකුත් ඇය අපරාධයක් කළ බවක් දැක නැත.

ප්‍රදේශවාසීන් පවසන පරිදි ඇයගේ ජීවිත කතාව මහා දුක් විලාපයක්මය. ඇය; පිරිමින් කෙරෙහි වූ වෛරය, වේදනාව තම දියණියගෙන් පිරිමැසුවා දැයි නොදනිමු.

මවක්, තමාටම එරෙහිව කියා ගන්නා ප්‍රකාශය මොන තරම් පැටලිලි සහගත ද ...? මොන තරම් ව්‍යාකූල ද....? රටම බලා සිටින්නේ මේ නූල් බෝලය දෙසය.

 

Comments