මාකඳුරේ මධුෂ් කොටු කළ මෙහෙයුමේ ඇතුළු පැත්ත | Page 2 | සිළුමිණ

මාකඳුරේ මධුෂ් කොටු කළ මෙහෙයුමේ ඇතුළු පැත්ත

මෑත කාලයේ කොළඹ මාලිගාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකම සිදු වූ වෙඩි තැබීම් කිහිපයකටම යතුරුපැදිය පැදවූ අපරාධකාරයෙකු වූ මැල්වත්තෙ රිල්වාන් නමැත්තා පසුගිය ජනවාරි 03 වැනිදා සවස අත්අඩංගුවට ගැනුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි නිලධාරීන් කළ සූක්ෂ්ම මෙහෙයුමකිනි.

රිල්වාන් අත්අඩංගුවට ගෙන දින කිහිපයක් ගෙවී ගියේය. ජනවාරි 07 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල් 70450 අමිලට දුරකථන ඇමැතුමක් ලැබුණේ ඩුබායිවලිනි.

"දන්නවද කතා කරන්නෙ... කවුද කියලා..."

"මං කංජිපාන ඉම්රාන් කතා කරන්නෙ..."

"අපේ එකෙක් හරි ආයෙත් අල්ලලා තිබුණොත් බලාගන්න පුළුවන්...''

''අපි දන්නවා ගිය අවුරුද්දේ මගේ කොළඹ ගෝලයෝ ඔක්කොම ඇල්ලුවේ උඹයි එස්.අයි ජගත්සිරියි විත්තිය''

උඹලගේ විස්තර ඔක්කොම අපේ ගාව තියෙනවා. උඹලා නිසා තමයි ලංකාවේ හිටපු ගෝලයෝ ටික ඩුබායිවලට ගෙන්න ගන්න වුණේ. අපේ වැඩවලට බාධා නොකර අයින් වෙයන්. දැක්කනේ රංගජීවට වුණ දේ. ඒක කළෙත් අපි තමයි... ඒක නිසා අපේ වැඩවලට බාධා කළොත් උඹලට විතරක් නෙවේ උඹලගේ පවුල්වලටම වෙන දේ හිතාගන්න පුළුවන්නේ..."

එලෙස කංජිපාන ඉම්රාන් තර්ජනය කොට ඇමැතුම විසන්ධි කිරීමට ප්‍රථම මෙරට ප්‍රබලතම අපරාධකාරයා වන මධුෂ් අයියා නමින් කංජිපාන අමතන මාකඳුරේ මධුෂ් නමැත්තාද ඔහු සමඟ සිටින බව කීවේය. ක්ෂණයෙන් නැවතත් එම අංකයෙන් කොස්තාපල්වරයාට ඇමැතුමක් ගෙන එලෙසින්ම තර්ජනය කළේ මධුෂ්ය.

එලෙස මධුෂ්ලාගේ ආසන්නතම තර්ජනාත්මක ඇමැතුම්වලට පෙර පසුගිය කාලයේ මෙරට ආරක්ෂක අංශවලට පමණක් නොව අහිංසක මිනිසුන් සිය ගානක් දෙනා බිය වද්දමින්, කප්පම් ගැනීම්, කුලියට මිනීමැරුම්, කොල්ලකෑම් ඇතුළු රටපුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සිදු කරමින් පාතාලයේ නායකයා ලෙස කටයුතු කළේ 45 හැවිරිදි සමරසිංහආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ්ය.

එහෙත් ඒ සියලු තර්ජන ගර්ජන දින කිහිපයකින්ම අවසන් වන බව මධුෂ් දැන නොසිටියත් කොළඹ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල්වරයාට දැනගන්නට ලැබුණේ සිය පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණ තොරතුරකිනි.

මධුෂ් පසුගිය දින කිහිපයේම වෙහෙසුණේ තම අනියම් බිරිය තිළිණි ශානිකා බිහි කළ වයස අවුරුද්දක් වූ මධුෂ්ගේ දියණියගේ පළමු උපන් දිනයට සුපිරි සාදයක් පැවැත්වීම වෙනුවෙනි.

එසේ මධුෂ් මෙරටට නිදහස ලැබුණු දා ඩුබායිහි අල් ‍රෆා ප්‍රදේශයේ මැරිනා බීච්හි පිහිටි සුපිරි තරු පන්තියේ හෝටලයක් වන ජුමෙයිරා බීච් හොටෙල්හිදී සිය දියණියගේ උපන්දින සාදය මහ ඉහළින් සමරන්නට මෙරට සිටින තම ගෝලයන්ද කැඳවන්නට වූයේය.

ඊට ඩුබායි දේශයේ මධුෂ්ගේ නිවෙසට යාබද නිවෙසේ වෙසෙන ඔහුගේ අතිජාත මිත්‍රයා වූ මොහොමඩ් නජිබ් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපාන ඉම්රාන් ද සිය බිරිය වූ දුල්ෆරා සහ දරුවා සමඟ එක් වූයේය. එසේම මධුෂ්ගේ සහ කංජිපානගේ එරට සියලු ගෝලයන් ඇතුළුව මෙරටින් ඊට සහභාගි වූ දෙදෙනාගේ හිතමිතුරන් ඇතුළුව සංගීත ශිල්පීන්ගෙන්ද සමන්විත පනහකට ආසන්න පිරිසක් සාදයකට එක්වී සිටි බවට වාර්තා විය.

ඊට සංගීත ශිල්පීන් ලෙස අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් මෙන්ම ටෙලි නාට්‍ය නළුවෙකු වන රයන් වෑන් රෝවන් ද එක් වූයේ පසුගිය දෙවැනි දා මෙරටින් පිටව යමිනි.

මධුෂ් ඩුබායිහි ජීවත් වූයේ අල් රෆා සහ මොරාටාබාද් යන ජනාකීර්ණ පෙදෙස්වලය. සංචාරක වීසා දීර්ඝ කරගනිමින් අජිත් එරංග වර්ණකුලසූරිය යන ව්‍යාජ නමින් වාහන අලුත්වැඩියා කරන ව්‍යාපාරයක නිරතව එහි වාසය කර ඇත. වාර්තා වන ආකාරයට අල් රෆා ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියාගේ පුතු සමඟ මධුෂ්ට ළඟ ඇසුරක් තිබී ඇත. එසේම එම පොලිස් ප්‍රධානියාගේ ජීප් රථයද මධුෂ් විසින් වෙන්දේසියකින් මිලට ගෙන පාවිච්චි කරමින් තිබිණි. එම පොලිස් ප්‍රධානියාගේ පුත්‍රයාද මධුෂ්ගේ සුපිරි සාදයට එක්ව සිටි බවත් පොලිසිය වැටලීම සිදු කරන විට ඔහු ඉන් නික්ම ගොස් සිටි බවටද සැල වේ.

මත්ද්‍රව්‍යද යහමින් තිබූ සාදය මැදියම් රැය පසු වී හෝරාවක් පමණ ගෙවී යමින් තිබියදී මධුෂ් ඇතුළු කිසිවෙකු සිහිනෙකින් හෝ නොසිතන දෙයක් ඩුබායි පොලිසිය ක්‍රියාත්මක කරමින් සිටියේය. මධුෂ් එසේ ඩුබායි පොලිසිය ගැන දැඩි විශ්වාසයකින් පසු වී ඇත්තේ ඔහුට එරට පොලිස් ප්‍රධානියාගෙන්ද තිබූ සහාය නිසාය.

එහෙත් මෙරට පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී එම්. ආර්. ලතීෆ් මහතාගේ පධානත්වයෙනි. රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ඇතුළු සියලු පාර්ශ්වවල අනුදැනුමෙන් එරට මාස කිහිපයක් රැඳී සිටි සිවිල් ඔත්තුකරුවන් දෙදෙනෙකු සහ මධුෂ්ගේ විරුද්ධ පාර්ශ්ව පාතාල සාමාජිකයන් පිරිසක් එක්ව ඩුබායි පොලිසියට දුන් සහාය ඇතුව එරට ආරක්ෂක අංශ විසින් සාදය වටලන ලදි.

ඒ අනුව පාන්දර එකට පමණ ක්ෂණයෙන් හෝටලයට කඩා වැදුණු එරට පොලිසිය සියලු දෙනා අත්අඩංගුවට ගත්තෙ මධුෂ්ලාට සිතා ගැනීමටවත් නොහැකි වන පරිදියි.

වාර්තා වන පරිදි කොකේන් ග්‍රෑම් 20ක්, අයිස් ග්‍රෑම් 25ක්, ඩාන්සින් ටැබ්ලට් 44ක් සමඟ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මත්ද්‍රව්‍ය පානය කොට කර සිටි සියලු දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ මොහොතේ අත්අඩංගුවට ගත් 25 දෙනාට අමතරව පසුව මධුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මත පසුගිය 06 වැනිදාද තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ වන විට තිහකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහෙත් මධුෂ්ගේ අනියම් බිරිය තිළිණි සහ සාදයට එක්වූ කංජිපාන ඉම්රාන්ගේ බිරිය දුල්ෆරා සහ දරුවා ඒ අතර නැත. ඇය කෙසේ හෝ වටලන මොහොත වන විට නික්ම ගිය බවට සැල වේ. මේ වන විට නීතිඥයන් සොයමින් මධුෂ්ලා බේරාගැනීමට එරට සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නේ එම කාන්තාවෝ දෙදෙනාය.

2016 දී පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පිරිසට මධුෂ් විසින් සහචරයන් පිරිසක් යොදවා මරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟින් මධුෂ් කොටු කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු අපරාධ නිවාරණයෙහිලා කැපව සිටින සියලු දෙනා එක්ව මෙහෙයුම් රැසක්ම ක්‍රියාත්මක කරමින් තිබුණේ සිවිල් ඔත්තුකරුවන්ද යොදා ගනිමිනි.

එම මෙහෙයුම්වල දිගුවක් ලෙස සියලු ආරක්ෂක අංශ එක් වී කළ සැලැසුම අනුව සිවිල් ඔත්තුකරුවන් දෙදෙනෙකු මීට මාස කිහිපයකට පෙරදී ඩුබායි රාජ්‍යයට යැවුණේ මධුෂ් සිටින ඉසව්ව අනාවරණය කරගනිමින් ඔහුව කොටු කරගැනීමටයි.

එම මෙහෙයුම්ද සාර්ථකව සිදු වෙද්දී මධුෂ් ඩුබායි පොලිසියට කොටු කරදීමට තවත් රහසිගත සුපිරි සැලසුමක් සංවිධානය කරමින් සිටියේ මධුෂ්ට විරුද්ධ පාතාල සාමාජිකයෝ පිරිසකි. එම රහසිගත මෙහෙයුමත් ආරක්ෂක අංශ ඔත්තුකරුවන් දෙදෙනාත් එක්ව සිදු කළ සූක්ෂ්ම මෙහෙයුමෙන් මධුෂ් ඇතුළු පිරිස මේ වන විට ඩුබායි අල් රෆා පොලිසිය බාරයේ තිබෙන එරට විශාලතම බන්ධනාගාරය වන අමිර් බන්ධනාගාරයේ කූරු ගනිමින් සිටිති.

මධුෂ්ගේ විරුද්ධ පාර්ශ්වයන් ඔහුව ආරක්ෂක අංශවලට කොටු කර ගැනීමට සැලැසුමක් දියත් කොට තිබුණේ මීට මාස තුනකට පමණ පෙර මධුෂ් විසින් ඩුබායිහිදීම පවත්වනු ලැබූ එවැනිම සාදයක් අවසානයේය. මධුෂ්ගේ සය හැවිරිදි පුත්‍රයාගේ උපන් දිනයට පැවැති එම සාදයට මෙරට හිටපු ප්‍රබල ඇමැතිවරයෙකු ද සහභාගි වූ බවට අනාවරණය වේ.

එම සාදයෙන් පසුව මධුෂ්ගේ විරුද්ධ පාර්ශ්ව පාතාල සාමාජිකයන් කළ සැලැසුම අපට අනාවරණය වන්නේ මෙසේ ය. ඉදිරි පරීක්ෂණවලට බාධා වන හෙයින් ඔවුනගේ නම් ගම් සඳහන් නොකෙරේ.

පෙර පැවැති සාදය ගැන කන වැකුණු ඩුබායිහි රැඳී සිටින මෙරට කොළඹට තදාසන්න ප්‍රදේශයක් මුල්කොටගත් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පාතාල සාමාජිකයෙකු විසින් සැලැසුම ක්‍රියාත්මක කිරීමට මූලික වී ඇත. ඔහු තම කුඩු අඩවියේ විරුද්ධ පාර්ශ්වකරුවා වන දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අපරාධකාරයාගේ ගෝලයෙකු ඔහුට හොරෙන් තම කණ්ඩායමට එක්කොට ගත්තේය. බන්ධනාගාරගතව සිටින අපරාධකරුවා මධුෂ්ගේ හිතවතෙකි.

සැලසුම ක්‍රියාවට නැංවූ පතාල සාමාජිකයා සිය ප්‍රතිවාදියාගේ ගෝලයා තම පිලට බා ගත් පසු ඔහුව ඩුබායි ගෙන්වා ගත්තේය. අනතුරුව එම පුද්ගලයා මධුෂ්ගේ පාර්ශ්වයට එක් කෙරිණි.

මධුෂ් සිතුවේ ඔහුගේ පාර්ශ්වයට එක් වී කටයුතු කරන මේ පුද්ගලයා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ඔහුගේ හිතවතා දැනුවත්ව පැමිණ ඇති බවය. අවසානයේ ඔහු මධුෂ්ගේ සියලු තතු ඩුබායිහි සිටින මධුෂ්ට එරෙහි පාතාල සාමාජිකයෙකු වෙත ලබා දුන්නේය.

එකී පුද්ගලයාගෙන් මධුෂ්ගේ සියලු තොරතුරු ලබාගත් ඩුබායිහි සිටි මධුෂ්ගේ විරුද්ධ පාර්ශ්ව පුද්ගලයා එම තොරතුරු මධුෂ් කොටු කර ගැනීමේ පාතාල මෙහෙයුමේ මහමොළකරුවා ලෙස කටයුතු කළ තවත් පුද්ගලයෙකුට ලබා දුන්නේය. එම පුද්ගලයා දැනට ඉන්දියාවේ රැඳි සිටින ප්‍රබල ගණයේ අපරාධකාරයෙකි. මෙරට ආරක්ෂක අංශවලටද වසන් වෙමින් ඉන්දියාවේ රැඳී සිටින එම පුද්ගලයා හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකි. ඉන්දියාවේ සිට මෙරටට වැඩිම කේරළ ගංජා ප්‍රමාණයක් සපයනු ලබන්නේ ඔහුය. කොළඹ පාතාලයේ එක් පාර්ශ්වයක් වන පුකුඩුකන්නා සහ පුම්බා පාර්ශ්වයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන එම පුද්ගලයා දැනට වාර්තා වන ආකාරයට පසුගියදා වත්තලදී සිදුවූ ද්විත්ව ඝාතනයටද හිටපු එල්ටීටීඊ සාමාජිකයන් යොදවා තිබිණි.

එසේ ඔහු විසින් ඩුබායිහි සිටින මධුෂ්ගේ විරුද්ධ පාර්ශ්වකරුවා ලබා දෙන සියලු තොරතුරු ඩුබායි පොලිසියට ලබා දෙමින් මේ මෙහෙයුම ඔවුන් ලවා කරවා තිබුණේ අත දිගහැර කෝටි ගණනින් මුදල් වියදම් කරමිනි. ඩුබායි පොලිසිය සමඟ සියලු ගනුදෙනු සිදු කර තිබුණේ එකී ඉන්දියාවේ රැඳි සිටින පුද්ගලයාය.

ඩුබායිහි රැඳි සිටි මධුෂ් විරුද්ධ පාර්ශ්වකරුවා කිසිදු මොහොතක ඩුබායි පොලිසිය සමඟ ගනුදෙනු නොකිරීමට වග බලාගෙන තිබුණේ ඔහුට පසුවට ගැටලුවක් වේ යැයි බියෙනි.

වැටලීමට සියලු වටපිටාව මනාව සැලැසුම් වූ පසුව මධුෂ්ගේ සාදයේ සිටි ඔහුගේ විරුද්ධ පාර්ශ්ව ඉත්තා සූක්ෂ්ම ලෙස ඉන් පලාගොස් සිටියේය. අනතුරුව වැටලීම කළ සැණින් එම වැටලීම කළ පොලිස් නිලධාරින් විසින් එහි සියලු තොරතුරු ඡායාරූප, වීඩියෝ සමඟින් ඉන්දියාවේ රැඳි සිටින පුද්ගලයාට එවනු ලැබීය. ඩුබායි පොලිසියට එම පාතාල සාමාජිකයන් එපමණ ළංව කටයුතු කර තිබිණි. එකී පුද්ගලයා එම ඡායාරූප ඩුබායි සිටින තැනැත්තාටද ලබාදී ඇත. ඔහු විසින් තම හිතවත් පාර්ශ්වකරුවන්ට මෙන්ම ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන්ට ලබා දුන් එම ඡායාරූප තුනක් ඇතැමෙක් සමාජ මාධ්‍ය ජාලාවලට එක් කළහ. එසේ ඡායාරූප ක්ෂණිකවම සමාජ මාධ්‍යයන්ට මුදාහැරීම ගැන ඩුබායි පොලිස් නිලධාරින් නම් මනාපයක් නැති බවට වාර්තා වේ.

වැටලීම සිදුවූ සැණින් කොළඹ අපරාධ කොට්ඨාස පොලිස් කොස්තාපල් ඇමැතූ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවා තමා දින කිහිපයකට පෙර කියූ දේ තහවුරු වූ බව සනාථ කරමින් මධුෂ්ලා කොටු වී සිටි ඡායාරූප රැසක්ද එවා තිබිණි.

ඩුබායි පොලිසිය මධුෂ් ඇතුළු පිරිස කොටු කරගැනීමේ මෙහෙයුමට පාතාල සාමාජිකයන් දැක්වූ සහායට මෙරට බන්ධනාගාරයේ සිටින තවත් පුද්ගලයෙක් සහාය දී ඇති බවකි. දැනට මරණ දණ්ඩනය හිමිව සිටින එකී අපරාධකරු මෙරට ප්‍රබලතම කුඩු ජාවාරම්කරුවා ලෙසද සැලැකේ. ඔහු විසින් මීට සහාය දී තිබුණේ තමා සමයං ඝාතනය කළා සේ බන්ධනාගාර බස් රථයට ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට මධුෂ් විසින් සැලැසුමක් දියත් කොට තිබූ බවට එකී අපරාධකරුවාට අනාවරණය වී තිබීම නිසාය.

ඒ අනුව මෙරට ආරක්ෂක අංශවල ද පූර්ණ සහාය ඇතිව ඩුබායි පොලීසියට අපරාධකාරයන් රොත්තක්ම එක්වර අත්අඩංගුවට ගැනීමට හැකි විණි. එහිදී සාදයට එක් වූ මත්ද්‍රව්‍ය භාවිත නොකර සිටි ඇතැමෙක් ඩුබායි පොලිසිය විසින් මුදාහරිනු ලැබ ඇති බවටද වාර්තා වේ. අමල් පෙරේරා ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය පානය කළාද යන්න තවම නිශ්චිතවම අනාවරණය වී නැත. එහෙත් පුවත්පත මුද්‍රණයට යන මොහොත වන විට අපට අනාවරණය වූයේ ලබාගත් රුධිර සාම්පල අනුව තිස්දෙනෙකු පමණ මත්ද්‍රව්‍ය ලබාගත් බවට සනාථ වී ඇති බවයි.

මේ වනවිට මධුෂ්ගේ විරුද්ධ පාර්ශ්ව දෙස් විදෙස් පාතාල සාමාජිකයෝ දිවා රෑ සව්දිය පුරමින් සිටින බවද වාර්තාවේ.

ටෙලි නාට්‍ය නළු රයන් නමැත්තා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 95ක් සමඟ මෙරට ආරක්ෂක අංශවලට කොටු වූ ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනා සමඟද සබඳතා පැවැත්වූ බව ඇමෙරිකානු ජාතිකයන්ගේ දුරකතන විශ්ලේෂණවලදී අනාවරණය වී තිබිණි. ඒ වට්ස්ඇප් මාර්ගයෙනි.

මධුෂ්ගේ අනියම් බිරිය වන තිළිණි නිශායා තිලකරත්න වැලිකඩ බන්ධනාගාර සිරකරු ප්‍රහාරයේදී මරණයට පත්වූ මහරගම කළු තුෂාරගේ නිත්‍යනුකූල බිරියයි. ඔහුගේ මරණයෙන් පසුව එංගලන්තයට ගිය තිළිණි පසුව ඩුබායි පැමිණ මධුෂ්ගේ අනියම් බිරිය ලෙස මධුෂ් සමඟ වාසය කළාය. ඇයගේ දැඩි පෙරැත්තය මත 2017 මැයි 09 වැනිදා මධුෂ් විසින් මෙරට සිටි සහචරයන් යොදවා පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පිරිසට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කෙරිණි.

එලෙස සියලු දෙනා එක්ව ක්‍රියාත්මක කළ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගැනුණු අය අතරින් අත්‍යවශ්‍යම පුද්ගලයන් වූයේ මාකඳුරේ මධුෂ්, කංජිපාන ඉම්රාන් සමඟ අහුංගල්ලේ බුද්ධි නමැත්තාය. කෙසෙල්වත්තෙ දිනුක සාදයට එක් වීමට සිටියත් ඔහු කොටු කරගැනීමට නොහැකි වූයේ ඩුබායි පොලිස් පුත්‍රයාගේ යෑම්-ඊම්වල තිබූ කාලපරාසවල ගැටලුකාරි බව නිසා බවට හෙළි වේ. එම නිසා දිනුක කොටු කරගැනීම පසෙකට දැමූ මෙහෙයුම ක්‍රියාත්මක කළ අය මේ තිදෙනා ඇතුළු පිරිස කොටුකර ගැනීමට සූක්ෂ්ම වූහ.

Comments