අපේ මල්ටිබැරල් එකට යුක්රේනයෙත් හිත ගිහින් | සිළුමිණ

අපේ මල්ටිබැරල් එකට යුක්රේනයෙත් හිත ගිහින්

සේයාරූ - සරත් පිරිස්
  • වියදම ලක්ෂ 50යිරටින් ගෙනාවොත් ලක්ෂ 1500යි
  • දුරස්ථ පාලකයකින් හැසිරවිය හැකි ලොව එකම ලෝන්චරය

තිස් අවුරුදු යුද්ධය නිසා අපේ රටට අහිමි වූ ජීවිතවල වටිනාකම මුදලින් කියා නිම කළ නොහැකිය. එමෙන්ම සිදුවූ දේපළ හානියද අතිවිශාලය. ‍ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගැනීම පිණිස අවි ආයුධ ගෙන්වා ගැනීමට වැය කළ මුදලද සුළු පටු නොවේ. ජාතික ආරක්ෂක බද්දක් පවා පනවන්නට රජයට සිදු වුණේ ඒ නිසාය. අවි ආයුධ අපට ලැබීම වළක්වන්නට ඇතැම් රටවල් කටයුතු කළ බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

රටේ ප්‍රභූවරුන් මෙන්ම හමුදා නායකයන් ඝාතනයට බෝම්බ යොදා ගැනීම, විශේෂයෙන්ම ක්ලේමෝ බෝම්බ යොදාගැනීම නිසා එය ආරක්ෂක අංශවල‍ට වෙනම අවධානය යොමු කළ යුතු කරුණක් විය.

2005 වසරෙන් පසුව ක්ලේමෝ බෝම්බ භාවිතය ත්‍රස්තවාදීන් විසින් වැඩි වශයෙන් සිදු කළ අතර එයින් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව විශේෂ වූ ගැටලුවක් නිර්මාණය විය.

ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කර කටයුතු කරන්නට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරිණි. එවකට එහි ප්‍රධාන කාර්යය වූයේ ක්ලේමෝ බෝම්බ භාවිතයෙන් සිදු කරනු ලබන හානි වළක්වාලීමට කටයුතු කිරීමයි. සංඥා බලකායේද සහායෙන් ක්ලේමෝ තර්ජනයට සැලකිය යුතු ලෙසින් මුහුණ දීමට ඒ අනුව හැකියාව ලැබිණි.

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව මේ ආයතනයේ කාර්යයන් වෙනත් මඟකට යොමු විය. එසේ වුවත් ඒ සඳහා ස්ථාවර භූමියක් හෝ ස්ථාවර ගොඩනැගිලි කිසිවක් නොවිණි. එහෙත් 2014 වසරේදී එවකට ආරක්ෂක ලේකම්වරයා විසින් ඒ සඳහා හෝමාගම පිටිපන අක්කර දෙකහමාරක භූමි භාගයක් වෙන් කර දුන්නේ මේ කටයුතු ස්ථාවරව ක්‍රමානුකූලව සිදු කිරීම පිණිසය. අවශ්‍ය ගොඩනැගිලි ඉදි කෙරිණි. අවශ්‍ය සම්පත්ද ලබා දෙන ලදි.

2015 වසරේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කෙළේය. ඔහු එහි අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ආචාර්ය ආචාර්ය තිරාන්ද සිල්වා සිල්වා මහතා හමුවිය. ජනාධිපතිවරයා ආරක්ෂාව සම්බන්ධව ඉදිරි කටයුතු ගැන අවධානය යොමු කර අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.

‘ජනාධිපතිතුමා අපේ කාර්යයන් ගැන හොඳින්ම පැහැදුණා, එතුමා අපට උ‍පදෙස් දුන්නා රටේ ඉදිරි ආරක්ෂාව ගැන සලකා නව නිර්මාණ සිදු කරන ලෙස. විශේෂයෙන්ම නවීන තාක්ෂණයෙන් යුතුව නව නිර්මාණ බිහි කරන්නටත් දැනට තිබෙන අවි ආයුධ ඉදිරියේදී භාවිත කිරීමට නොහැකි වීම හා කල් ඉකුත් වීමෙන් පසුව ඒවා භාවිත කළ නොහැකි වීමත් නිසා ජාතික ආරක්ෂාව පිණිස නව ආයුධ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව එතුමා අප වෙත දන්වා සිටියා.

අපට අපේම තාක්ෂණය භාවිත කළ හැකි නම් විදේශ රටවලින් අවිආයුධ ගැනීමට වැය කරනු ලබන අතිවිශාල මුදල අපේ රටේ සංවර්ධනය පිණිස යොදා ගැනීමට හැකි වන බවත් එතුමා පැවසුවා. අපට අවශ්‍ය ඕනෑම කාර්යයක් සිදු කිරීමට එතුමා සහාය ලබා දුන්නා. අවශ්‍ය ගොඩනැගිලි සම්මන්ත්‍රණ ශාලා ඇතුළු අනෙක් පහසුකම් ලබාගැනීමට පමණක් නොව බාහිර උපදේශන හා තාක්ෂණ සහාය ලබාගන්න එතුමා කැබිනට් අනුමැතියද අපට ලබා දුන්නා. මේ නිසා අපට ලොකු ශක්තියක් ලැබුණා. ඒ වන විටත් අප රොකට් එන්ජිමක් හා නියමුවන් රහිත ගුවන් යානයක් නිෂ්පාදනය කර තිබුණා. ඒවා ඉතා සාර්ථක මට්ටමක තිබුණා.

අප තීරණය කළා රොකට් ලොන්චරයක් නිෂ්පාදනය කරන්න. ඒ 2016 වසරේදී. ‘මල්ටි බැරල් රොකට් ලොන්චරයක්‘ විදේශ රටකදී මිලදී ගන්න මිලියන 150ක් 200ක් පමණ අතිවිශාල මුදලක් වැය වනවා. එම නිසා අපට එවන් අවි මිලට ගන්න යන අතිවිශාල වියදම අවම කර ඒ මුදල් රටේ සංවර්ධනය පිණිස යොමු කිරීමේ අවශ්‍යතාව මත දේශීය අමුද්‍රව්‍ය මත රොකට් ලොන්චරය සෑදීම ආරම්භ කළා. පළමුව අපි සෑදුවේ එක් ෂෙල් වෙඩිල්ලක් විදිය හැකි ලොන්චරයක්. එය ඉතාම සාර්ථක වුණා. එයින් පසුව ෂෙල් වෙඩි 4ක් යැවිය හැකි ලොන්චරයක් අපි නිර්මාණය කළා. එයත් ඉතාම සාර්ථක වුණා. අපිට එයින් කිලෝමීටර් 20ක් පමණ දුරකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලැබුණා. ඒ පර්යේෂණ සාර්ථක වූ පසුව අපි යළිත් ෂෙල් වෙඩි 10ක් යැවිය හැකි රොකට් ලොන්චරයක් නිර්මාණය කළා. එයත් අතිසාර්ථකයි. මේ වන විට අපි එකවර ෂෙල් වෙඩි 10ක් යැවිය හැකි ලොන්චරය නිර්මාණය කර අවසානයි. මිලි මීටර් 122 ෂෙල් උණ්ඩ භාවිත කර ප්‍රහාර එල්ල කළ හැකි මේ රොකට් ලොන්චරය අන්තර්ජාතික ප්‍රමිතියෙන්ම යුක්තයි.

මෙවර ජාතික නිදහස් උලෙළේ ප්‍රදර්ශනය කෙළේ එයයි‍. මා මුලින් සඳහන් කළ පරිදි විදේශ රටකින් එවැනි රොකට් ලොන්චරයක් මිල ගැනීමේදී රුපියල් මිලියන 150ක් 200ක් පමණ වැය වන නමුත් අපට පර්යේෂණ ගාස්තු, විද්‍යාඥයන්ගේ ගාස්තු ආදී සියල්ලම සමඟ මේ ලොන්චරයට වැය වුණේ රුපියල් ලක්ෂ 70ක මුදලක් පමණයි.

එමෙන්ම ඊ‍ට යොදවනු ලබන ෂෙල් උණ්ඩය සඳහා අපට තාක්ෂණික උපදෙස් සමඟ වැය වුණේ රුපියල් 25000ක පමණ මුදලක්. එය විදේශ රටකින් මිලට ගත්තේ නම් රුපියල් 145,000ක් 180,000ක් පමණ මුදලක් වැය වනවා.

අපි මේ වන විට පර්යේෂණ කරමින් සිටින්නේ ෂෙල් 20ක රොකට් ලොන්චරයක් නිෂ්පාදනය කිරීමටයි. එයත් ඉතා සාර්ථකව සිදු වෙන බව අපට පේනවා.

එසේම ඒ ඔස්සේ එකවර 40ක් විදිය හැකි ලොන්චරයක් සම්බන්ධවත් මේ වන විට පර්යේෂණ සිදු කෙරෙනවා. එයත් ඉතා සාර්ථක වෙයි කියා අප කල්පනා කරනවා.

අප නිෂ්පාදනය කළ මේ රොකට් ලොන්චරයේ මේ දක්වා හමුදාව භාවිත කළ අවිවලට වඩා නවීන තාක්ෂණයෙන් යුක්තයි. විශේෂයෙන්ම එම ලොන්චරය දුරස්ථ පාලකයක් මඟින් හැසිරවිය හැකි වනවා. මේ දක්වා අපට කිසිදු රටකින් දුරස්ථ පාලකයකින් ක්‍රියාකරවිය හැකි රොකට් ලොන්චර ලබා දී නැහැ.

විශේෂයෙන්ම අවි ආයුධ නිපදවන රටවල් නවීන තාක්ෂණය එසේ එකවර ලබා දෙන්නේ නැහැ. ඔවුන් සැම විටම සිදු කරන්නේ වසර 5කට 10කට පමණ පෙර තිබූ තාක්ෂණයෙන් යුක්තව අවි ආයුධ ලබා දීමයි. ඒ අතින් අප ඉදිරියට ගොස් තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති මේ ආයතනයට ත්‍රිවිධ හමුදාපතිවරුන්ම විශාල සහයෝගයක් දක්වනවා. එයත් අපට ලොකු හයියක්. ‘

මෙහි නිර්මාණ ප්‍රධානී භෞතික විද්‍යාඥ කමාන්ඩර් (විශ්‍රාමික) චන්දන පෙරේරා මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්ගේ දැනුම භාවිතය හා ඔවුන්ගේ ක්‍රියාකාරකම්හි අඩුවක් පවතින නමුත් මේ අවස්ථාවේදී විද්‍යාඥයන් රැසක් එකතුව මේ කටයුතු සිදු කළ බවයි. ඒ විද්‍යාඥයන් සියලුම දෙනා මෙරට විශ්වවිද්‍යාලවලින් බිහි වූ අය බවද ඔහු පැවසුවේය.

එමෙන්ම ත්‍රිවිධ හමුදාවේම තාක්ෂණික ශිල්පීන් රැසක් මේ කාර්යයට සම්බන්ධ වූ බවද ඔහු පැවසීය. මේ සඳහා අපේ රටේම තාක්ෂණයක් භාවිත කළ බවත් මෙහි විශිෂ්ටත්වය එය බවද ඔහු කීවේය. තාක්ෂණය අප සතු නිසා මේ රොකට් ලොන්චරය අපට අවශ්‍ය අයුරින් වෙනස් කරගත හැකි බවද ඔහු කීවේය.

මේ වන විට කාලතුවක්කු අංශයද සමඟ එකතුව කිලෝමීටර් 35ක් දුරට ෂෙල් ප්‍රහාර එල්ල කළ හැකි රොකට් ලොන්චරයක් නිර්මාණය කිරීමේ කටයුතු සිදු කරන බවද ඔහු කීය. එහි වැඩි ප්‍රහාරක වේගයක් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රොකට් ලොන්චරය ගැන ලෝකයේ බොහෝ රටවල් කතා කිරීම අරඹා ඇත. විශේෂයෙන්ම යුක්රේනය වැනි රටවල් මේ වන විට ඒ ගැන දැඩි සැලකිල්ලක් දක්වා ඇති බවද වාර්තා වේ. අතීතයේ රජදරුවන් මෙන්ම පසුව මෙරට යටත් කරගත් බටහිර ජාතීන්ට විරුද්ධව මෙරට ජනතාව සටන් කෙළේ උරුමයට හුරු වූ අපේම තාක්ෂණයෙන් බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

සම්පූර්ණයෙන්ම දේශීය තාක්ෂණය උපයෝගී කරගෙන දේශීය විද්‍යාඥයන්ගේ දැනුමින් පෝෂණය වූ මේ බර අවි ඔස්සේ අපට ඉතිරි වන විදේශ විනිමය ගැන මෙහිදී විශේෂයෙන්ම අප අවධානය යොමු කළ යුතුම වේ.

තාක්ෂණික උපදෙස් පරීක්ෂණ ක්‍රම ආදිය සඳහා වැය කළ මුදල් සමඟ ලක්ෂ 70ක පමණ වියදමකින් නිම කළ මේ රොකට් ලොන්චරයක් නිපදවීමට ඉදිරියේදී ලක්ෂ 50කට අඩු මුදලක් වැය වනු ඇති බව අපට දැන ගත හැකි විය. විදේශ රටකින් මිලදී ගැනීමේදී මිලියන 150ක් එනම් ලක්ෂ 1500ක් 2000ක් පමණ වැය කළ යුතු අවියක් අපට ලක්ෂ 50කට පමණ වියදමකින් එනම් ලක්ෂ 1450ක් 1950ක් පමණ ඉතිරි කර ගන්නට එක් අවියකින් හැකි වී ඇත. එවැනි අවි 20ක් 30ක් පමණ ආනයනය කෙළේ නම් අපට වැය කරන්නට වන මුදල ගැන අපට අමුතුවෙන් කතා කළ යුතු නැත.

යුද්ධයක් නැතත් රටක ආරක්ෂාව යන්න සුළුවෙන් තැකිය යුතු නොවේ. එය අභ්‍යන්තරික මෙන්ම බාහිර වශයෙන්ද සුරක්ෂිත විය යුතුය. ඒ සදහා ත්‍රිවිධ හමුදාවේද දායකත්වයෙන් සිදු කෙරෙන මෙවන් දායකත්වයන් රටේ සංවර්ධනය කරා යන්නට ඔවුන් විසින් සපයනු ලබන මහත්ම වූ අත්වැලකි.

අපට අවශ්‍ය අවි ආයුධ සියල්ල අපේ රටේම සාදාගන්නට හැකි වුවහොත් නෞකා අපිටම හදා ගන්නට පුළුවන් වුවහොත් එයින් ඉතිරි වෙන මුදල් සියල්ල අපේ රටේ සංවර්ධනයට විශේෂයෙන්ම අධිවේගී මාර්ග සෑදීමට පවා යෙදවිය හැකිය. එසේ කරන්නට හැකිවුවහොත් විදේශ රටවල කොන්දේසිවලට යටත් නොවී අපේ මාර්ග පද්ධතිය පවා අපටම සාදා ගත හැකි වනු ඇත.

ඒ සදහා ලබා දී ඇති මේ දායකත්වය අපි ඉහළින්ම අගය කළ යුතුමය.

අදහස්